(විමුක්ති එස් රුද්‍රිගු)

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සම්ප්‍රදායික අවුරුදු කැවිලි මේසයේ මිල පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සියයට හතකින් ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

පසුගිය වසරේදී අවුරුදු කැවිලි මේසය සඳහා පවුලකට රුපියල් 5,414 ක් වැයවී ඇති බවත් එය මෙම වසරේදී රුපියල් 5,795 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම ආයතනය පැවැසුවේය.

අවුරුදු කැවිලි පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ඉහළ ගොස් තිබීම එයට හේතුව බවද එම ආයතනය පැවැසුවේය. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයට පෙර 2019 වසරේදී කැවිලි මේසයක් සඳහා වියදම් වූ මුදලට සාපේක්ෂව මෙම වසරේ කැවිලි මේසයක් සඳහා වියදම් කළ යුතු මුදල 2.5 ගුණයකින් වැඩිවී ඇතැයිද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

කැවිලි වර්ග අටෙන් හයකම මිල මෙම වසරේ ඉහළ ගොස් ඇතැයිද එම ආයතනය පැවැසුවේය. ප්‍රධාන වශයෙන් මිල ඉහළ යාමට බලපා ඇත්තේ පොල්තෙල් සහ සහල් පිටි මිල ඉහළ යාම බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.