සිංහරාජයේ අලි දෙදෙනාට නැවතත් ජීවිත තර්ජන



 
(බිඟුන් මේනක ගමගේ) 
 
සිංහරාජ වනාන්තරයේ අලි දෙදෙනාගේ ජීවිත නැවතත් තර්ජිත තත්ත්වයට පත්ව ඇතැයි ද විධිමත් ක්‍රමවේදයකින් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ යැයි ද සඳහන් කරමින් වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.
 
මෙම අලි දෙදෙනා සිංහරාජ උතුරු මායිමේ රක්වාන 4 කණුව ප්‍රදේශයෙහි මේ දිනවල දකින්නට ඇතැයි ද පසුගිය කාලයේදී අලි දෙදෙනා මුහුණ පෑ තත්ත්ව සැළකිල්ලට ගැනීමේදී මේ ප්‍රදේශයේදී අනතුරක් වීමට ඉඩ ඇතැයි ද එම නිවේදනයෙහි සඳහන් වේ.
 
අලින් වාර්ෂිකව හෙක්ටයාර 11000 ක භූමි භාගයක සැරිසරන නමුත් හිටපු වනජීවී ඇමැතිවරයා මෙම අලි දෙදෙනා හෙක්ටයාර 30 ක කුඩා භූමියකට කොටු කිරීමට උත්සාහ කළැයි ද එයින් සිදුවන්නේ උන් දෙදෙනා තවත් ප්‍රචණ්ඩකාරී වීම යැයි ද වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය පවසයි. 
 
මෙම පියවර කඩිනමින් අනුගමනය නොකළහොත් තවත් දැවැන්තයකුට නිරපරාදේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.