(හොරොව්පොතාන පැතුම් දර්ශන)
ඉඩම් ගැටලු විසඳීම සඳහා සංවිධානය කර තිබූ ඉඩම් කච්චේරියකට පැමිණ ග්‍රාම නිලධාරිනියන් දෙදෙනෙකුට බලපෑම් කළ බව කියන හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට සහ මන්ත්‍රීවරියකට අද (18) දැඩි ලෙස අවවාද කළ බව හොරොව්පොතාන පොලීසිය කියයි.
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිළධාරිනියන් දෙදෙනෙකු විසින් ඊයේ (17) කළ පැමිණිල්ලක් අනුව මෙලෙස අවවාද කළ බව පොලිසිය වැඩිදුරටත් කියයි.
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීම සඳහා ඊයේ (17) හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම ඉඩම් කච්චේරිය සංවිධානය කර තිබී ඇති අතර ඒ සඳහා කොට්ඨාශයේ දහසකට ආසන්න ජනතාවක් සහභාගී වී තිබේ.
ඉඩම් ගැටලු විසඳා ගැනීම සඳහා පැමිණි තම පාක්ෂිකයන්ට ප්‍රමුඛස්ථානය ලබා නොදුන් බව පවසමින් අදාළ මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය තමන්ට බැන වැදුන බව ග්‍රාම නිලධාරිනියන් විසින් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
බලපෑම් කළ බව කියන මන්ත්‍රීවරියගේ පියා අවස්ථා දෙකකදී පැමිණ පිරවූ අයදුම්පත් සහිත ෆයිල් එකක් ගෙනැවිත් එහි වැඩ කටයුතු ඉක්මණින් කරදෙන ලෙස තමන්ට බලපෑම් කළ බවත් එය එසේ සිදුකළ නොහැකි බව තමන් පැවසූ විට අදාල මන්ත්‍රීවරිය පැමිණ අයදුම්පත්‍ර මේසය මතට දමා ගැසූ බවත් එක් ග්‍රාම නිලධාරිනියක් කළ පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.
තම පාක්ෂිකයෙකු බව කියන පුද්ගලයෙකු සමඟ පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ඉක්මණින් වැඩේකරලා දෙන්න යැයි පවසමින් තමාට බැණ වැදුණු බව අනෙක් ග්‍රාම නිලධාරිනිය විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව පාර්ශව දෙකම පොලිසියට කැඳවූ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා මන්ත්‍රීවරයාට සහ මන්ත්‍රීවරියට දැඩි ලෙස අවවාද කොට ඇත්තේ නැවත එවැනි හැසිරීම් සිදු නොකරන ලෙසත් මහජන නියෝජිතයින් ලෙස ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් පවසමින්ය.

