වියානා ඇලේ ආරක්ෂක වැටේ ඉදිකිරිම් අවසන්


නිශාන්ත කුමාර
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක්  මත ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගය අතරතුර පිහිටි මහවැලි මහ ඇලේ වියානා ඇල ආරක්ෂක වැටේ ඉදිකිරිම් කටයුතු මේ වන විට මුළුමණින්ම අවසන් කර ඇතැයි මහියංගණ ප්‍රාදේශීය විධායක ඉංජිනේරු ඒ ලිංගේෂ්වරන් මහතා පැවැසීය.


මෙම ඉදිකිරිම් සඳහා ගතවූවේ මසකටත් අඩු කාලයක් බවද ලිංගේෂ්වරන් මහතා කීය.


ආරක්ෂක වැටේ ඉදිකිරිම් කටයුතු නිමා කිරිමත් සමඟම එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ඇල මාර්ගයට හා ජලාශවලට ඇද  වැටීමෙන් සිදුවන ජීවිත අනතුරු යළිත් වාර්තා නොවනු ඇතැයි ද ඉංජිනේරුවරයා පැවැසීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂක ටී කේ එම් ගලප්පත්ති මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ක්‍රියාත්මක වූ ආරක්ෂීත වැට ඉදිකිරිමේ ව්‍යාපෘතිය සඳහා රජය මගින් වැයකළ මුළු මුදල රුපියල් ලක්ෂ 540 කි. ඉදිකරන ලද ආරක්ෂිත වැටේ දිග මීටර් 4650 කි.


වැට ඉදිකිරීමට අමතරව කිලෝමිටර් අටක් වන මෙම මාර්ග කොටස තුළ වේග සීමා ඉරි, අනතුරුදායක  බව දැක්වෙන නාමපුවරු මෙන්ම විවිධ මාර්ග සංඥා පුවරු සවිකිරීමටද පියවර ගෙන ඇතැයි ලිංගේෂ්වරන් මහතා වැඩිදුරටත් පැවැසීය.


මහියංගන බදුල්ල ප්‍රධාන මාර්ගය අතරතුර  පිහිටි වියානා ඇල මාර්ගයට සමාන්තරව දිවෙන කිලෝමීටර් අටක පමණ මාර්ග කොටස තුළ ගමන් ගන්නා වාහන විටින් විට එම ඇල මාර්ගයට පෙරළීමෙන් පසුගිය කාලය තුළ විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කළ ජනාධිපතිවරයා ඇල මාර්ගයට වාහන ඇද වැටීම වැළැක්වීම පිණිස මාර්ගය දෙපස අනාරක්ෂිත වැටක් ඉදිකරන්නැයි මාර්ග සංවර්ධන අධීකාරියට නියෝග කරනු ලැබුවේ මීට මාස කීපයකට පෙරය.