(පද්මා කුමාරී කංකානම්ගේ)
වනජීවී සංරක්ෂණ පනතට අදාළ වගකීම් සහ රාජකාරී කල්පිටිය අර්ධදීපය තුළ ක්‍රියාතමක වීමේදී ඇතිවන ජනතා ගැටලු පිළිබඳව සොයා බැලීම අරමුණු කරගත් සංචාරයකට තිරසාර සංවර්ධන වන ජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා අද (2)දවස පුරා එක්විය.
කල්පිටිය කන්දකුලිය පිහිටි වනජීවී දෙපාර්තුමේන්තුවට අයත් ගල් මල් සමුද්‍ර අභය භූමිය හෙවත් බාර් පරය මේ වන විට කිලෝ මීටරයකට සීමා වී ඉතිරි කොටස් මිය යාමේ සංසිද්ධිය අමාත්‍යවරයාගේ අවධානයට ලක්විය.
මෙම ගල් මල් උයන 1992 විශේෂ ගැසට් නිවේදනයක් මගින් අභය භූමියක් බවට ප්‍රකාශ කොට ඇති අතර,එවකට එහි වපසරිය කිලෝ මීටර 307 ක්,වූ අතර කොරල් පර විශේෂ 136 සහ මත්ස්‍ය විශේෂ 400 ජීවත් විය.
මෙම ගල් මල් සමුද්‍ර අභය භූමිය විනාශ වීමට හේතු වශයෙන් ජනතාව පවසා සිටියේ ස්වභාවිකව මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළයාම සහ කල්පිටිය සයුරේ සිදු කරන නීතිවිරෝධී දැල් පන්න භාවිතය බවයි.
ලයිලා නැමැති තහනම් දැල් හා ඒ ආශ්‍රිතව ඩයිනමයිට් නම් පුපුරණ ද්‍රව්‍ය යොදා ගැනීම ඊට බලපා ඇති බව ජනතාව සඳහන් කළහ.මෙම ගැටලුව කෙරෙහි වනජීවී නිලධාරීන්ගේ , නාවුක හමුදාවේ සහ ධීවර දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසත් එම ආයතන වලට සාමුහිකව මෙම ගැටලුව විසදීමට මැදිහත් වන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ඉලන්තඩිය ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් සඳහා බීට්ටු කාර්‍යාලයක් ඉදිකිරීම , එලන්තඩිය ප්‍රදේශයේ ඩොල්පින් නැරඹීමට ඇති යාත්‍රා සඳහා ජෙටියක් ඉදි කිරීම යන කරුණු පිළිබඳව ඉදිරියේ දී සලකා බලන බව ඇමතිවරයා පැවසුවේය.