ලක්ෂ 80 ක් වංචා කළ අයකැමිවරියක් රිමාන්ඩ්


(කාංචන කුමාර ආරියදාස)

රුපියල් ලක්ෂ 80ක මුදලක් වංචා සහගත ලෙස ලබා ගත්තේ යැයි චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත්  දඹුල්ල පෞද්ගලික මුල්‍ය ආයතනයක අයකැමිවරිය  ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර ඉලංග බණ්ඩාර මහතා අද (12) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත දීන කිහිපයක් දඹුල්ල ප්‍රදේශයේ රැඳී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මෙම අයකැමිවරිය අත්අඩංගුවට ගෙන දඹුල්ල පොලිසියට බාරදී අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු කළ බව දඹුල්ල පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි හිටපු නාවික හමුදා සෙබලිය වන වරුණි බුද්ධිමා නැමැති අයෙකු බව පොලිසිය කියයි.

පෞද්ගලික මුල්‍ය ආයතනයක ජනතාව විසින් ලබාදෙන මුදල් සටහන් නොකර ඉතා සූක්ෂම ලෙස ජනතාවගේ සහ  මුල්‍ය ආයතනයේ මුදල් ලබාගෙන ඇති බවට ලද තොරතුරක් මත පරික්ෂා කිරීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇතැයි පොලිසිය කියයි.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇය රුපියල් ලක්ෂ 80 ක ට වඩා වැඩි මුදලක් මෙයාකාරයෙන් වංචා කර ඇති බව යි. තවදුරටත් පැමිණිලි සහ මුදල් වංචා කර ඇත්දැයි යන්න පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු සඳහන් කළේ ය.