රෝගීන්ගේ ජංගම දුරකතන සොරකම් කළ අයෙක් අත්අඩංගුවට


(එම් .සුසිල් ප්‍රියන්ත )

ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව සිටින රෝගීන්ගේ ජංගම දුරකතන සොරකම් කළ අයෙකු අද (17) අත්අඩංගුවට ගත්බව කරාපිටිය රෝහල් පොලිසිය පැවසීය.

නේවාසික රෝගියෙකුගෙන් සොරකම් කරන ලද රුපියල් 40,000 ක් පමණ වටිනා ජංගම දුරකතනයක්ද සැකකරු සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය කීය.

කරාපිටිය රොහලේ නේවාසිකව අසාධ්‍ය තත්ත්වයෙන් සිටින රෝගීන්ගේ පෞද්ගලික කුලී උපස්තායකයකු  ලෙස සේවය කරමින් සැකකරු මෙම ජාවාරම කාලයක සිට කරගෙන ගොස් තිබෙන බවත් සැකකරු මෙලෙස නේවාසික රෝගීන්ගේ ජංගම දුරකතන රැසක්ම සොරකම් කර තිබෙන බවත් පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු තංගල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් පොලිසිය කීය.

සොරකම් කරන ලද ජංගම දුරකතනය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ගාල්ල පොලිසියට භාරදෙන බවෙ කරාපිටිය රෝහල් පොලිසිය පැවසීය.