රිදීමාලියද්දේ පවුල් 100ක් පානීය ජල හිඟයක


(නිශාන්ත කුමාර)
 
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඳුගොඩ, වීරගොල්ල දෙමටගොඩයාය  ගම්මානවල පවුල් 100ක පමණ ජනතාව  මේ වන විට උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති.
 
වැසි දිනවලදී ගමේ වළවල් හාරා ජලය ලබාගත්තද, මාස දහයකට ආසන්න කාලයක් ඒවා සිඳී යාම හේතුවෙන් ලොග්ගල්ලා ඔයේ අපවිත්‍ර ජලය පානය කිරීමට සිදුව ඇතැයිද ඔවුහු කියති.
 
හේන් වගාවත් කුලී වැඩත් ජීවනෝපාය කරගත් තමන්ට ළිඳක් කපා ගැනීමට හෝ  ජලනල පද්ධතියක් ඉදිකර ගැනීමටවත් වත්කමක් නැති බවද ගම්මු කියාසිටිති.
 
පානීය ජල හිඟය හේතුවෙන් ගමේ දරුවන් මෙන්ම වැඩිහිටියන් ද  පාචනය ආදී   රෝගී තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරුවන බවද ඔවුහු සඳහන් කරති.
 
මේ සම්බන්ධයෙන් රිදීමාලියද්ද ප්‍රාදේශීය  සභාවේ සභාපති නිශාන්ත ජයසුන්දර මහතා මෙසේ කීය.
 
 “පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතාගේ නායකත්වයෙන් අපි මේ වන විටත් මෙම   ගම්මානවල   පානීය ජල හිඟය විසඳීමට වැඩපිළිවෙළක්   ක්‍රියාත්මක කර තිබෙනවා.
 
මීට දින කිහිපයකට පෙර අපි ජලසම්පාදන මණ්ඩලය කැඳවා මෙම කොට්ඨාසයේ පානීය ජලගැටලු තිබෙන සෑම ප්‍රදේශයක්ම ආවරණය වන සැලැස්මක් සකස් කිරීමට පියවර ගනු ලැබුවා.
 
ඉන්පසුව එම පිරිස්වලට කඩිනමින් ජලය සපයා සැපයීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමටත් සැලසුමක්  සකස් කළා. ඒ අනුව ඉදිරි කාලයේ දී අපට මෙම ගම්මානවලට ඉතා කඩිනමින් පානීය ජල සැපයුමක් ලබාදීමට හැකිවේවි” යැයිද කීය.