(ක.ග.කරුණාරත්න)
රාජකාරී කටයුත්තක් සඳහා ගොස් ආපසු සිය සේවා ස්ථානය බලා යතුරුපැදියකින් යමින් සිටි පොලිස් සැරයන්වරයකු යුද හමුදා ට්‍රක් රථයක ගැටී මියගොස් ඇතැයි මින්නේරිය පොලීසිය කියයි.
පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ ජයන්තිපුර නගරයට ආසන්නයේ දී සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ ගල්ඔය, හතරැස්කොටුව පොලීසියේ රාජකාරී කළ කන්තලේ,ගන්තලාව, පදිංචිව සිටි දංකොටුවේ ගෙදර හේරත් මුදියන්සේලාගේ රංජිත් ප්‍රියන්ත නැමැති 51 හැවිරිදි තිදරු පියෙකි.
යුද හමුදා ට්‍රක් රථය මින්නේරිය දෙස සිට පොලොන්නරුව දෙසට ගමන් ගනිමින් තිබී ඇති අතර පොලිස් සැරයන්වරයා සිය සේවා ස්ථානයේ සිට රාජකාරී කටයුත්තක් සඳහා පොලොන්නරුව,නවනගරයට ගොස් ආපසු සිය සේවා ස්ථානය බලා යමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.
මිය ගිය පොලිස් නිලධාරියාගේ මරණය සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද(11)දිනයේ පොලොන්නරුව මහ රෝහලේදී පැවැත්වීමට නියමිතය.
යතුරු පැදියේ ගැටුණු යුද හමුදා ට්‍රක් රථය පැදැවූ බව කියන හමුදා සෙබළකු වන රියැදුරා පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.