යතුරු පැදි සොරකම් කළැයි 4 ක් රිමාන්ඩ්


(ඩී.ජී.සුගතපාල)

දකුණු පළාතේ විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද එකම වර්ගයේ යතුරු පැදි 27ක් සමග අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුලු සැකකරුවන් හතර දෙනෙකු ලබන මස 8වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(25) නියෝග කලේය.
 
යතුරු පැදි සොරකම් කිරිම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුද  එම සොරබඩු ලඟ තබා ගැනිම හා සොර බඩු බැහැර කිරිම සම්බන්ධයෙන් අනෙක්  සැකකරුවන් තිදෙනාද ඇතුලු සැකකරුවන් සිව් දෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.
 
සැකකරුවන් සියල්ලෝම ගිංතොට පදිංචිකරුවෝ වෙති.
 
ප්‍රධාන සැකකරු ගාල්ල,මාතර,අම්බලන්ගොඩ,කරාපිටිය, හබරාදුව,අහංගම,රත්ගම ,හික්කඩුව ආදි ප්‍රදේශවලින් මෙසේ එකම වර්ගයකට අයත් සැහැල්ලු යතුරු පැදි පමණක් සොරකම් කර ඒවා රුපියල් දස දහසක් වැනි මුදලකට අලෙවි කර තිබේ.
 
අත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තිදෙනාද වැඩි මිලට අලෙවි කිරිම සඳහා යතුරු පැදි තුන හතර බැගින් ගෙන  ලඟ තබාගෙන සිට ඇත.

පොලිසිය පැවසුවේ සැකකරු තවත් යතුරු පැදි රැසක් සොරකම් කර ඇති බවය.තමන්ගේ සැහල්ලු යතරු පැදි නැතිවු අය සිටි නම් ගාල්ල පොලිසියට පැමිණ ඒවා හඳුනා ගන්නා ලෙසද පොලිසිය  ඉල්ලා සිටි.

ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දිනේශ් නිශාන්ත මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.