මිය ගිය අලි හත් දෙනාගේ සිද්ධිය ගැන පරීක්ෂණ ඇරැඹේ


(සුජිත් හේවාජූලිගේ)


පොළොන්නරුව තුම්මෝදර ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වන අලි හත් දෙනෙකු ම‍ඩේ එරී මියෑමේ සිද්ධිය ගැන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී. සූරියබණ්ඩාර මහතාගේ නියමයෙන් අද(03) විශේෂ විමර්ශනයක් ඇරඹිණි.


මේ සඳහා විශේෂ විමර්ශන නිලධාරීහු කණ්ඩායමක් පොළොන්නරුවට ගොස් සිටිති.


විමර්ශනයේදී හෙළිවන කරුණු අධිකරණයට ද වාර්තා කිරීමට බලාපොරොත්තුවන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී. සූරියබණ්ඩාර මහතා පැවැසීය.


මඩේ එරුණු අලි පස් දෙනෙකුගේ සිරුරු ඉකුත්  1වැනිදා සොයා ගැනුණු අතර තවත් අලි දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුණේ ඊයේ(02) දිනයේදීය.


අලි මඩේ එරී මිය ගොස් ඇත්තේ ආහාර සොයා රාත්‍රී කාලයේ ගම් වැදුණු වන අලින් හත්දෙනෙකු බව වනජීවී නිලධාරීහු පවසති.