මැතිවරණ නීති උල්ලංඝනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට


(එස්. ඩි.කොඩිකාර )

සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය නොකර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අපේක්ෂකයින් සිව් දෙනෙකුගේ නම් සඳහන් අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත් පත්‍රිකා 3507 ක් සහ ඒවා ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයක් සමඟ අද (14) අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය කියයි.

වෙනත් අපේක්ෂකයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු පොලිසියට කළ දැනුම්දීමක් මත කොටපොළ ඌරුබොක්ක මාර්ගයේ කොස්මෝදර ප්‍රදේශයේදී  මෙම සැකකරුවන් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු  26 ත් -48 ත් අතර වයස් වන පසුවන වලස්ගල සහ ඌරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.

මොවුන් කොටපොළ ඌරුබොක්ක හරහා කඹුරුපිටිය මාර්ගයේ  මාවරල දෙස සිට අදාළ ත්‍රී රෝද රථයෙන් මහජනතාව නිරන්තරයෙන් ගැවසෙන ස්ථානවල මෙම අත් පත්‍රිකා මහමග දමා  ජනතාවට බෙදමින් ගමන් කරමින් සිටින අතරතුර අත්අඩංගුවට ගෙන තිබුණි .

අත් පත්‍රිකා මුද්‍රණය කළ මුද්‍රණාලය අදාල අත් පත්‍රිකා වල මුද්‍රණය නොකර තිබීම  සම්බන්ධයෙන්  පොලිසිය කළ විමසීමකදී ඔවුන් ව්‍යාජ මුද්‍රණාලයක නම පැවසූ බව පොලිස්  නිලධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් , ත්‍රීරෝද රථය සහ අත් පත්‍රිකා සමඟ  මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.