මාතර-කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනයක්


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

සෞඛ්‍ය බලධාරීන් විසින් මාතර ගාලු පාරේ ධාවනය වන බස් රථ පානදුර දක්වා පමණක් සීමා කිරීමට විරෝධය පල කරමින් මාතර කොලඹ පෞද්ගලික බස් රථ හිමියන් අද (02) උදෑසන සිට සේවයෙන් ඉවත් වී වැඩ වර්ජනයක නිරත විය.

විශේෂයෙන්ම මේ නිසා ගාලු පාර ඔස්සේ කොළඹ යාමට පැමිණී මගීන් දැඩි දුෂ්කරතාවයකට පත් වූහ.

බස් රථ ධාවනය පානදුර දක්වා සීමා කිරීම තුලින් මගීන්ගේ විශාල අඩුවක් පවතින බවත් පානදුරදී තමන් විවිධ පිරිස් වල තර්ජනයන්ට මුහුණ දෙන බවත් වැඩවර්ජනයේ නිරත බස් රථ සේවකයින් පැවසූහ.

තවද කොලඹ දක්වා යන මගීන් අතරමගදී බස්සා වෙනත් බස් රථ වලට නංවා යැවීම තුලින් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටලු මතු වන බවට ඔවුන් චෝදනා කලේය.

ඒ අනුව පෞද්ගලික බස් රථ මාතර ප්‍රධාන බස් නැවතුම්පොළේ නතර කර තිබෙන අයුරු දැක ගත හැකි විය.

මේ සම්බන්ධව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂක වත්තගේ රෝහණ මහතාගෙන් විමසූ විට කියා සිටියේ සෞඛ්‍ය නිර්දේශ මත තම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලබා දී ඇති උපදෙස් මත පමණක් ක්‍රියා කරන බවයි.

ඒ අනුව බස් රථ ධාවනය කල හැක්කේ පානදුරට දක්වා පමණක් බවද ඊට විරුද්ධව ධාවනය වන බස් රථ වලට එරෙහිව නීරෝධායන නීති රීති කඩ කිරීම යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.