පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ යුවළක් රිමාන්ඩ්


( ටෝනි කරුණානායක )
 
කසිප්පු වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ,එක නිලධාරියෙකුට මන්නයකින් කොටා තුවාල සිදු කර නිල ඇදුම ඉරා අනර්ථයක් සිදු කළ අඹුසැමි යුවලක් ලබන 10 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතාඅ ද( 29)  වෙනිදා නියම කළේය.

ගම්පහ මාකෙවිට වැලිකඩ ප්‍රදේශයේ පදිංචි ඩබ්.සමන් පෙරේරා සහ ජානකී ප්‍රියන්ති අධිකාරිමැණිකේ යන යුවලව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
 
සැකකාර යුවලගේ නිවසේ නීතිවිරෝධීව කසිප්පු කලවම් කරමින් සිටින බවට ලද තොරතුරක් මත කල වැටලීමේදී ගම්පහ පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට මෙසේ බාධා කර ඇති බවත් සැකකරු විසින් මන්නයකින් පහර දීම නිසා තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ සහ  පො.කො. සුරංග (81859) යන නිලධාරීහූ පැමිණිල්ල මෙහයවමින් අධිකරණය හමුවේ පැවසූහ.