පොලිස් නිලධාරියකුගේ යතුරුපැදිය හොරොයින් ගන්න විකුණලා


(ජයකාන්ත ලියනගේ  )

අම්පේගම, කුසල්කන්දවත්තේ පදිංචි පොලිස් නිලධාරියෙකුට අයත් යතුරු පැදියක් සොරකම් කර එය හෙරොයින් පැකට් 05 කට විකුණන ලදැයි කියන සැකකරුවන් තිදෙනකු අද (04) බද්දේගම පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
 
මෙසේ අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් අද (04) සවස බද්දේගම මහේස්ත්‍රාත් පැල්පොළ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
 
සැකකරුවන් විසින් සොරකම් කර ඇත්තේ ඩිස්කවරි, 125 වර්ගයේ යතුරු පැදියකි. එය කුඩු ජාවාරම්කරුවෙකුට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම යතුරු පැදිය වසර 13 ක් පමණ පැරණි එකක් බවත් එය මේ වන විට රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුක්ත වන බවත් බද්දේගම පොලීසිය කියයි.
 
සැකකරුවන් අධික ලෙස හෙරොයින් වලට ඇබ්බැහි වී ඇති බවත් ඔවුන් විසින් සොරකම් කරන ලද යතුරු පැදිය විකුණා ඇත්තේ රුපියල් 5000 ක වටිනා කමකින් යුත් හොරොයින් පැකට් 05 කට බවත් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි බද්දේගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
 
සැකකරුවන් විසින් හෙරොයින් මිළ දී ගැනීම සදහා කරන ලද තවත් හොරකම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය