(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දූෂණයට එරෙහිව ලැබුණු ජන වරම බලශක්ති අමාත්‍යවරයා විසින් පාවාදී තිබෙන්නේ යැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත්.පී පෙරේරා (ස.ජ.බ)මහතා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.

එහිදී අජිත්.පී.පෙරේරා මහතා මෙසේද කීය.

මහජන විශ්වාසය පලුදු කරමින් මහජන සම්පත් නාස්තිය පිළිබඳව අද ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා.මන්ත්‍රීවරුන් සෑම විටම ඔවුන් කෙරෙහි තබා ඇති පොදු විශ්වාසයට අනුගත විය යුතුයි.බලශක්ති ඇමතිවරයා ඒ විශ්වාසය කඩ කර තිබෙනවා.එමෙන්ම  ඔහු අමාත්‍යධුරයේ මූලික වගවීම් ඉටු කිරීමට අපොහොසත් වී තිබෙන බව නිරීක්ෂණය වෙනවා.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ගුණාත්මක ගල් අඟුරු ප්‍රසම්පාදනයේදී බලශක්ති අමාත්‍යවරයා මූලික රාජකාරිය ඉටු කිරීමට අසමත් වී තිබෙන බව කිව යුතුයි.එමෙන්ම ඔහු ලංකා පොහොර සමාගමේ සමාගමේ කළමනාකරු ලෙස සේවය කරමින් සිටියදී දූෂණ ක්‍රියාවක් සිදුකිරීම ගැන ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ වරද සඳහා චෝදනා ලැබ කොළඹ මහාධිකරණය විසින් විධිමත් ලෙස අධි චෝදනා ගොනුකර තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.