පොලිස් අනුරූ සොරකම් කළ තරුණයන් දෙදෙනෙක් රිමාන්ඩ්


 


( එච්. චන්දන  )

පුත්තලම කොළඹ මාර්ගයේ  පාලවිය- වන්තිව් ප්‍රදේශයේ  වේග මීටරය සහිත පොලිස් නිළධාරින්ගේ  සමාන රුව සහිත අනුරුව  ස්ථානයෙන් ගලවා ගෙන  නිවසට රැගෙන ගිය  තරුණයින් දෙදෙනකු  ලබන 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත් කරන ලද්දේ පුත්තලම රත්මල්යාය අල්කාසිම් සිටි පදිංචිව සිටි රපීක් මොහොමඩ් සරාජ් , නොරොච්චෝලේ පදිංචි උෂ්නතම්බි වහබ්ජීදීන්  යන  දෙදෙනාය.

රිය ධාවනයේදී  සිදුවන අනතුරු අවම කිරීමේ වේගය පාලනය අරමුණින්  පුත්තලම පොලිස් කොට්ඨාශයේ  - පුත්තලම පොලිස් වසමේ අනතුරු බහුල ප්‍රදේශවල පොලිස් නිළධාරින්ට සමාන රුව සහිත ආකෘති  තබා තිබුණි.

මේ අකාරයෙන් පාලවිය ප්‍රදේශයේ තිබූ මෙම ඩමිය 30 උදෑසන එම ස්ථානයේ  නොමැති බවට පුත්තලම පොලීසියේ රථ වාහන අංශයේ නිළධාරින්ට දැනගත් අතර  කළ පොලිස් පරීක්ෂණ අනුව මෙම  අනුරුව හා එය රැගෙන ගිය ලොරි රථය පුත්තලම - තිල්අඩිය අල්කාසිම් සිටි ප්‍රදේශයේ  නිවසක සිටියදී  මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.