පෙරියාරු ගඟේ එරී මිය ගිය අලි 7 දෙනාගේ සිරුරු ගොඩගනී


ක.ග.කරුණාරත්න
 
පොළොන්නරුව  ඕනෑගම පුදුර් ප‍්‍රදේශයේ පෙරියාරු ගඟේ තුම්මෝදර කොටසේ වගුරු බිමක එරී මිය ගොස් සිටි අලීන් 7 දෙනාගේ මළ සිරුරු අද (3) වනජීවි නිලධාරින් විසින් ගොඩගනු ලැබීය.

එම අලි මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම මේවන විට ආරම්භ කර තිබේ.

පොළොන්නරුව, ති‍්‍රකුණාමල ප්‍රදේශය භාර වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් වෛද්‍ය චමීර කලිඟු ආරච්චි මහතා ප‍්‍රමුඛ කණ්ඩායමක් විසින්  අලි මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරනු ලබයි.
 
බැකෝ යන්ත‍්‍රයක ආධාර ඇතිව අලි මළ සිරුරු ගොඩ ගැනීම සිදු කළ අතර ඒ සඳහා මහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවිය.

වනජීවි හා තිරසර සංවර්ධන ඇමැති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන්ද අලින්ගේ අකල් මරණ සිදුවී තිබෙන ස්ථානයට පැමිණ සිටියහ.

 සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ විසූ මේ සද්ධන්තයින් රාතී‍්‍ර කාලයේ ආහාර සොයා යමින් සිටියදී මේ අහඹු අනතුරට ගොදුරු වන්නට ඇතැයි වනජීවී නිලධාරින්හු කියති.
 

ඡායාරූප - ඩබි ඒ පියතිලක