චාපා මධුභාෂිණී
ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පෙරියආරු ගඟේ තුම්මෝදර ප්‍රදේශයේ දී අලි 7දෙනෙකු දියේ ගිලී මරණයට පත්වීමත් සමඟ එහි පාසි ඉවත් කිරීමේ කටයුතුවල යෙදුණු වනජීවී නිලධාරීන්ට අද (04) දින දහවල් 2.00 පමණ තවත් අලියෙකුගේ පසුපස ගාත් දෙක පමණක් හමු වූ බව පොළොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.
මෙලෙස දියේ ගිලී මරණයට පත් වූ වල් අලියාගේ අවසන් කටයුතු අද දින සවස වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයේ සිදු කිරීමට නියමිතය.
පරිසරවේදීන්ගේ ඉල්ලීම මත ස්කවේරයක් ආධාරයෙන් මෙම ප්‍රදේශයේ පාසි ඉවත් කිරීමේ කටයුතු සිදුකිරීමේදී අඩි 5 පමණ උසින් යුත් තවත් වල් අලියකුගේ පසුපස ගාත් දෙක පමණක් හමුව ඇත.
මෙම වල් අලියාගේ ඉතිරි ශරීර කොටස් කිඹුලන් කාදමන්නට ඇතැයි නිලධාරීහු විශ්වාස කරති.
මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ ආහාර සහ ජලය සොයා පැමිණි මෙම වල් අලි ජපන් ජබරවලින් පිරී පැවති මෙම ස්ථානයෙන් ගඟට වැටී නැවත ගොඩට ඒමට නොහැකිව දියේ ගිලී මිය යන්නට ඇතැයි වනජීවී නිලධාරීහු සැක පළ කරති.
පසුගිය 1 වැනි දා සහ 2 වැනි දා මෙම ස්ථානයේදීම වල් අලි හත් දෙනෙකුගේ ශරීර කොටස් ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබිණි.
ඡායාරූප - ඩබ්.ඒ.පියතිලක