පුද්ගලයන් බියගන්වා මුදල් ගත් 8 ක් නාරාහේන්පිටදී අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසල රැඳී සිටිමින් එම දෙපාර්තමේන්තුව කරා විවිධ අවශ්‍යතා සඳහා පැමිණෙන පුද්ගලයන් බිය ගන්වමින් මුදල් ලබාගත් අට දෙනෙකු අද (06) අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

යාපනයේ ප්‍රදේශයේ තරුණයෙක් වාහනය ලියාපදිංචි කරගැනීමට පැමිණි අවස්ථාවේ මෙම පුද්ගලයන් එම තරුණයාව පාලු ස්ථානයකට රැගෙන ගොස් ඔහු සන්තකයේ තිබූ රුපියල් 3000 ක් බලෙන් ලබාගෙන පලාගොස් ඇත.

මේ සම්බන්ධව බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබුණ බවත් ඒ අනුව සිදුකළ පරීක්ෂණ වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් බොරැල්ල පොලිසිය සඳහන් කළේය.

මෙම සැකකරුවන් දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන පුද්ගලයන්ට විවිධ ව්‍යාජ ලේඛන සකස් කර දී ඇති බවත් අඩුපාඩු සහිත ලේඛන සකස් කර දෙන බව පවසා පාලු ස්ථාන වලට රැගෙන ගොස් ඔවුන් සතු මුදල් සහ අනෙකුත් වටිනා භාණ්ඩ කොල්ල කා පලා ගොස් ඇති බවත් අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දාබරේ පෙදෙස සහ ඇල්විටිගල පදිංචි පුද්ගලයන් බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව බොරැල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.