(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කඩා වැටුනු සංචාරක ක්ෂේත්‍රය සඳහා රජය සහන ලබාදී ඇති බව පැවසුවත් මේ දක්වා කිසිඳු සහනයක් ලැබී නොමැති බව සංචාරක බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති නීල් ජයතිස්ස මහතා ලංකාදීපයට පැවැසීය.
මේ හේතුවෙන් ණය වාරික සහ ලීසිං ගෙවා ගැනීමට නොහැකිව සංචාරක බස්රථ හිමියන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයිද ඔහු සඳහන් කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ සංචාරක ක්ෂේත්‍රය කඩා වැටීම හේතුවෙන් වසරක කාලයක් සඳහා සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට ණය වාරික සහ ලීසිං ගෙවා ගැනීමට සහන ලබා දී ඇති බවට රජය පැවසුවත් එවැනි කිසිඳු සහනයක් ලැබී නොමැති බවද ජයතිස්ස මහතා කීවේය.
ලීසීං වාරික ගෙවා ගැනීමට නොහැකි වූ සංචාරක බස්රථ වාරික නොගෙවීම මත ලීසිං සමාගම් විසින් රැගෙන යාමට කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
සංචාරක කර්මාන්තය යථාතත්වයට පත්වීමට මේ වසරේ නොවැම්බර් මාසය පමණ ගත වන බැවින් එතෙක් කාලය තුළ සහන ලබාදෙන ලෙසට නව රජයෙන් ඉල්ලා සිටින බවද ජයතිස්ස මහතා පැවැසීය.
එමෙන්ම සංචාරක බස්රථ හිමියන් මුහුණ දෙන ගැටළු ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

