වසන්ත චන්ද්‍රපාල
මහානාගපුර ගම්මානය ඇතුලු ගම්මාන කිපයකට පානීය ජලය ලබාදෙන ලෙස ඉල්ලා ගම්මානයේ වැසියෝ පන්නල්ගම අම්පාර මාර්ගය අම්බලන්ඔය වැව් බැම්ම අසලින් අවහිර කරමින් විරෝධතාවයක නිරතවූහ.
පසුගිය රජය සමයේ මෙම ගම්මානවලට ජලය ලබාදීම සඳහා ප්‍රධාන මාර්ගයේ බට එලා අතුරු මාර්ගවලට බට එලිම සඳහා අවශ්‍ය බට ගෙනවිත් දමා තිබූ බවත්, ආණ්ඩු පෙරළියෙන් පසුව එම බට නැවත රැගෙන ගිය බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
අද පෙරවරු හයට ආරම්භ කරන ලද මෙම විරෝධය නිසා පන්නල්ගම - අම්පාර මාර්ගයේ ගමනා ගමන කටයුතු මුලුමනින්ම අඩාල විය. මෙම විරෝධතාවය නිසා පන්නල්ගම සිට අම්පාර බලා ධාවනය වෙන ලංගම බස්රථ සහ පෞද්ගලික බස් රථ ධාවන නොවීම නිසා මෙම ප්‍රදේශවලින් අම්පාර නගරයේ පාසැල් වලට යන දරුවන්ට පාසැල් යෑමටද නොහැකි විය.
පැය හයක කාලයක් මාර්ගය අවහිර කරමින් මෙම පිරිස විරෝධතාවයේ යෙදුන අතර එම ස්ථානයට පැමිණි දමන සහකාර ප්‍රදේශයේ ලේකම් එම්.ඒ.සී.ඒ. සාපීර් මහතා සහ දමන ප්‍රාදේශිය සභාවේ මහින්ද මංගල ගුණවර්ධන මහතා විරෝධතාකරුවන් සමග මෙම ගැටලුව පිළිබඳ සාකච්ඡා කළහ.
පානීය ජලය නොමැතිකම නිසා තමන් විඳන පිඩාව පිළිබඳව ගම්වැසියෝ ඔවුන්ට කරුණු පැහැදිලි කළහ. මෙම ජල යෝජනා ක්‍රමය සඳහා රුපියල් මිලියන 15 ක මුදලක් දිසාපති කාර්යාලයට ලැබීමට නියමිත බවත්, එය ලැබුණු විගස මෙහි බට එලීම සිදුකරන බවත් සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.