දස වසරකට පසු ස්ත්‍රී දූෂණයෙක් අත්අඩංගුවට



 
 
(ජේ.කේ.එල්.චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
 
කාන්තාවක් දුෂණය කර වසර දහයකට අධික කාලයක් තිස්සේ  තම හැඩරුව වෙනස් කර ගනිමින් සැඟවී සිටි  ත්‍රී රෝද රථ රියදුරකු අද (1)  ගාල්ල කොටුවේ පිහිටි නීතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


ගාල්ල නගරයේ දී සැකකාර ත්‍රී රෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.   සැකකරු විසින්  2008 වර්ෂයේ මැයි 18 වැනි දා මෙකී කාන්තාව ගාල්ල නගරයේ පිහිටි ලැගුම්හළකට රැගෙන ගොස්  දුෂණයට ලක්කර ඇති බව පොලිසිය කියයි. 


සැකකාර ත්‍රී රෝද රථ රියදුරු මෙම කාන්තාව සමඟ ප්‍රේම සම්බන්ධතාවයක්  පවත්වාගෙන ගොස් තිබේ. 
එම සම්බන්ධතාවයෙන් දින කිහිපයකට පමණ පසුව  ඇය ලැගුම්හලක් වෙත  රැගෙන ගොස් කාන්තාවගේ දැඩි අකමැත්තෙන්  දුෂණයට ලක්කර තිබේ. 


පසුව මේ ගැන අදාළ කාන්තාව ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබේ. පසුව සැකකරු පානදුර ප්‍රදේශයට පලා ගොස් එහි සැඟවී සිට තිබේ. 


වසර 7කට පමණ පසුව  එම ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වී හබරාදුව ප්‍රදේශයට පැමිණ පදිංචිව සිට තිබේ. 

ඔහු තම හැඩරුව වෙනස්කර ගනිමින්  ත්‍රී රෝද රථයක් තබාගෙන කුලී ගමන් ගොස් ඇති බවද පොලිසිය කියයි.  


මීට මාස දෙකකට පමණ ඉහතදී ගාල්ල නගරයට පැමිණ ත්‍රී රෝද රථය තබාගෙන කුලී ගමන් ගොස් තිබේ. නීතිය බලගැන්වීමේ ඒකකයේ බුද්ධි අංශ නිලධාරින් විසින් මොහු ගැන තොරතුරු අනාවරණය කරගැනීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.