ඩබ්ලිව්.ඒ. අසේල
දෙල්තොට ලෙවලන් වත්තේ තේ දලු ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් සූනියන්කාඩු ප්‍රදේශයේද අද (30) සවස ප්‍රපාතයකට පෙරළීමෙන් එම රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ රිය සහායක ප්‍රතිකාර සදහා පේරාදෙණිය රෝහලට ඇතුලත් කර ඇත.
රථය පෙරලෙන මොහොතේ අවට කිසිවෙකු සිට නොමැති අතර පැය දෙකකට පමණ පසු තේ වත්තේ වැඩ කරන පිරිසක් එම ස්ථානයෙන් ගමන් කිරීමේදී සිද්ධිය දැක ඇති අතර ඔවුන් වහාම මේ බව ගලහ පොලසියට දැනුම් දී ඇති අතර ට්‍රැක්ටර් රථයට යටවී සිටි රියදුරු හා සහායක ඉවතට ගෙන රෝහල කරා රැගෙන ගොස් ඇත.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ දෙල්තොට වත්තේ පදිංචිව සිටි තේසවන් වාසුදේවන් නැමති වයස අවුරුදු හතලිස් දෙකක් වන දෙදරු පියෙකි.
මියගිය අයගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේ කිරීම සඳහා ගලහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
ගලහ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් මහගෙදර මහතාගේ උපදෙස් පරිදි ගලහ පොලීසියේ නිලධාරී කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.