තේ කම්හල් ගණනාවක් බිඳ මුදල් සොරකම් රැසක් කළ අයෙක් අත්අඩංගුවට


(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි තේ කර්මාන්ත ශාලා බිඳ රුපියල් ලක්ෂ ගණනාවක මුදල් සොරකම් කරණ ලද පුද්ගලයෙක් අද (21) උඩුගම පොලිස් වසමේ තුම්මෝදර, තලංගල්ලේදී අත් අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය කියයි.

වඳුරඹ පිහිටි ඖෂධ ශාලාවක් බිඳ එහි මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී නාගොඩ,බද්දේගම,වඳුරඹ,අකුරැස්ස සහ කහවත්ත යන ප්‍රදේශවල තේ කර්මාන්ත ශාලා බිඳ මුදල් සොරකම් කිරීම් පිලිබඳ අනාවරණය කර ගත් බව පොලීසිය කියයි.

සැකකරුට විරුද්ධව මීට පෙර විවිධ ප්‍රදේශයන්හි අධිකරණ ගණනාවක විභාග වූ නඩු 22 ක් පැවති බවද පොලීසිය කියයි.

තේ අක්කර 05 ක් සහ වාහන දෙකක් පරිහරණය කරමින් ඉතාමත් සුඛෝපභෝගී ජිවිතයක් සැකකරු ගත කර ඇති බවද පොලිසිය සිදුකල විමර්ෂණයේදී අනාවරණය කර ගෙන තිබේ.

උඩුගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අයි.ඩී.සී.ක්‍රිෂාන්ත මහතාට ලැබුණු බුද්ධි තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

35 හැවිරිදි සැකකරු හෙට (22) උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

උඩුගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අයි.ඩී.සී.ක්‍රිෂාන්ත, පොලිස් පරික්ෂක ජී.ඒ.ඒ.පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල්වරුන් වන 45332 විජේනායක,84733 පුබුදු,90163 චන්ද්‍රසේකර යන නිලධාරින් සැකකරු අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුමට එක්වී තිබේ.