තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කරයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම කඩයාකුලම් ප්‍රදේශයේ පුද්ගලකු තියුණු ආයුධ වලින් ඇණ ඝාතනය කිරිමේ සිද්ධියට සැකකරුවකු අද (10) පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම කඩයාකුලම් ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.

සුරතලයට ඇති කරන ලද පරවියන් සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් පසුව කඩයාකුලම් ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පිරිසක් පොලු මුගුරු වලින් හා තියුණු ආයුධ වලින් පහර දීමෙන් මරණයට පත්ව තිබේ.

පොලිසිය පවසන්නේ මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පලා ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් අනුබල දිමේ චෝදනාවට හා මනුස්ස ඝාතනයක් කිරිමේ චෝදනාවට අදාළ සැකකරුගේ පියා අත් අඩංගුවට ගත් බවයි.