(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර පුදබිමේ පිහිටි ජේතවන දාගැබ ඉරිතලා ඇති බව ජේතවන විහාරාධිකාරී ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නායක ස්වාමීන් වහන්සේ අද (09) පැවසූහ.
හතරැස් කොටුවේ සිට ගර්භයේ උතුරු දිසාවෙන් , දකුණු දිසාවෙන් සහ බටහිර දිසාවලින් පහළට මෙම ඉරිතැලීම් විහිදෙමින් තිබෙන බවද උන්වහන්සේ සඳහන් කළහ.
මෙම ඉරිතැලීම් දිගින් දිගටම සිදුවන්නේදැයි පරීක්ෂා කර තමන්ට දැනුම්දෙන ලෙස ජේතවන ව්‍යාපෘති නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද උන්වහන්සේ පැවසූහ.
මෙම ඉරිතැලුනු කොටස් සේම කොත් කැරැල්ල මුදුණේ හා හතරැස් කොටුවේ ඇති පැලීම් තුළින් ගර්භය තුළට වැසි ජලය ඇතුළුවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මෙම ඉරිතැලීම් තවදුරටත් වර්ධනය වේ දැයි නිරීක්ෂණය කර තමන් වෙත දැනුම් දෙන ලෙසත් ජේතවන දාගැබ සංරක්ෂණ ක්‍රියාවලියේ ආරම්භයේ සිටම උපදේශකයකු ලෙස සේවය කළ ඉංජිනේරු විද්‍යාජෝති ගැමුණු සිල්වා මහතා පසුගිය 07 වැනිදා මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්ට දැනුම් දී තිබේ.
මෙම ඉරිතැලීම් දිනෙන් දින වර්ධනය වන බවත් වර්තමාන විහාරයට ඉහළින් පිහිටි ගර්භයේ ඉරිතැලුනු කොටස් දැඩි අවදානම් තත්වයක පවතින බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේය.
ක්‍රි.ව. 4 වන සියවසේ මහසෙන් රජතුමන්ගේ නිර්මාණයක් වන ජේතවන දාගැබ ලෝක උරුම ස්ථානයක් ලෙසට යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් ඓතිහාසික ස්ථානවලින් ප්‍රධාන ස්මාරකයක් සේ සැළකෙන ජේතවන දාගැබ ක්‍රි.ව. 10 වන ශත වර්ෂයේ සිට වල්වැදී රූස්ස ගස්වලින් වැසී තිබී 80 දශකයේ මුල් භාගයේ මධ්‍යම සංස්කෘතික අරමුදල ස්ථාපනය කිරීමෙන් පසුව සංරක්ෂණය කර 2009 වසරේ මැයි මස 15 වන දින දෙස් විදෙස් ජනතාව සඳහා විවෘත කර තිබේ.


