ගජමුතු හතරක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට


(ඩබ්.ඒ  පියතිලක)

ලක්ෂ 50 කට අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි ගජමුතු හතරක් සමඟ පුද්ගලයෙකු  හිගුරක්ගොඩ ප්‍රදේශයේදී අද (21) අත්අඩංගුවට ගත්බව පොළොන්නරුව කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පැවසීය.

පොළොන්නරුව කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය භාරයට ගත් ගජමුතු තවමත් ගජමුතු දැයි හඳුනාගෙන නොමැති අතර ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමෙන් පසු තහවුරු කරගන්නා බව එම ඒකකයේ නිලධාරියෙක් පැවසීය.

මැදිරිගිරියේ සිට හිගුරක්ගොඩ පුද්ගලයෙකුට අලෙවි කිරීම සඳහා ගජමුතු  හතරක් රැගෙන එන බවට පොලොන්නරුව කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් එකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු බව පොලිසිය පවසයි.  

අත්අඩංගුවට ගත් ගජමුතු සහ සැකකරු හිගුරක්ගොඩ පොලිසියට භාරදුන් බව පොළොන්නරුව කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කීය.