කොටි වළ දැමු රන් සෙවූ පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට


(සිතුම් චතුරංග)

කොටි සංවිධානය විසින් මුලතිව් , පුදුකුඩිරිප්පු , ආනන්දපුරම් හි වළදමා තිබෙන බවට රත‍්‍රං සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයින් හත්දෙනකු අත්අඩංගුවටගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය කියයි.

පුජාවන් පවත්වමින් එල්.ටි.ටි.ඊ සංවිධානය සඟවා ඇතැයි කියන රත‍්‍රං සොයා කැණීම් කරන පිරිසක් පිළිබඳ  පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානය වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවටගත් සැකකරුවන් විසින් රත‍්‍රං සොයා කැණීම් කළ උළුද , සවල් හා පූජා භාණ්ඩ ඇතුළු උපකරණ තොගයක්ද පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

ආනන්දපුරම් හි නිවසක් අසළ තවත් නිවසක් ඉදිකිරීම සඳහා අත්තිවාරම කපන මුවාවෙන් මෙම කැණීම් සිදුර ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

පොලිසිය පැවසූයේ පසුගිය යුද සමයේ පලායන කොටි ත‍්‍රස්තවාදීන් සිවිල් වැසියන්ගෙන් කොල්ලකෑ රන්භාණ්ඩ , මහවිරු පවුල් වල සමාජිකයින්ගේ සහ ත‍්‍රස්තවාදීන්ගේ බැංකු තුල තිබූ රත‍්‍රං අදාල ස්ථානයේ වළදමා ඇති බවට තිබෙන සැකයක් මත මෙම කැණීම් සිදු කර තිබේ.


අත්අඩංගුවටගත් සැකකරුවන් මාතර, කල්පිටිය, මන්නාරම හා පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.