කුඩා ධීවර බෝට්ටුවලට ධීවර කටයුතුවලට අද සිට අවසර


තුසිත කුමාර ද සිල්වා

පැවැති වැසි සහිත කාලගුණික හා කුණාටු තත්වය හේතුකොට ධීවර කටයුතු සඳහා තහනම් කර තිබූ කුඩා ධීවර යාත්‍රා සඳහා යළි අද (25) සිට මසුන් ඇල්ලීමේ කටයුතු වලට අවස්ථාව ලබාදීමට ධීවර දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළහ.

දිස්ත්‍රික්ක මට්ටමින් ඇති ප්‍රාදේශීය ධීවර කාර්යාල හරහා අදාළ අවසරය ලබා දීමට කටයුතු කරන බව ධිවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වන විට පැවැති අයහපත් කාලගුණික තත්ත්වය යම් තරමක් පහව ගොස් යහපත් තත්ත්වයක් ධීවර කටයුතු සඳහා පෙන්නුම් කරන බැවින් එම අවසරය ලබා දීමට තීරණය කර ඇති බව ධිවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි බේරුවල ධීවර වරාය කළමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා සඳහන් කළහ.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශවලට ගසා ගෙන ගොස් තිබූ ශ්‍රී ලංකා බහුදින යාත්‍රා යළි ගොඩබිමට රැගෙන එමින් පවතින බව ධීවර අමාත්‍යංශය පවසයි.

ඉන්දුනීසියානු මුහුද ප්‍රදේශයට ශ්‍රී ලාංකික බහුදින යාත්‍රා 30ක් කුණාටු තත්ත්වය හේතුවෙන් ගසාගෙන ගොස් තිබූ අතර ඉදිරි දින හතර ඇතුළත එම යාත්‍රා මෙරට ධීවර වරායන් වෙත ළඟා වනු ඇති බව වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.