කුකුල් මස් අපද්‍රව්‍ය වළ දැමීමට පැමිණි පුද්ගලයන්ට ගම්වාසීන්ගෙන් විරෝධය


බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

අත්‍යවශ්‍ය ලේබලයක් ප්‍රදර්ශනය කරමින් කල් ඉකුත් වූ අවසර ලිපියක් යොදාගෙන කුකුල් මස් අපද්‍රව්‍ය  වළ දැමීමට  ඉංගිරිය පෝරුවදන්ඩ මැද ගේට්ටුව පාර  වත්තකට ලොරි රථයෙන් පැමිණි  පුද්ගලයන් දෙදෙනෙකුට ගම්වාසීහු අද  (2) විරෝධය දැක්වවුහ.

එය වළක්වා ගැනිමට ඉංගිරිය පොලිසියට සහ ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලයට දැනුම් දීමට පියවර ගත් ගත්හ.

බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ ගොවිපළක සිට පැමිණ තිබූ මෙම ලොරියේ රියදුරු සන්තකයේ පානදුර දකුණ පොලිසියේ ඉකුත් මාර්තු 25 වැනි දිනට පමණක්  අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ලබා දී තිබූ අවසර ලිපියක් හමු වූ බව පොලිසිය කියයි .

අපද්‍රව්‍ය වළ දැමීම සඳහා අවසර දී තිබූ  වත්තේ හිමිකරුට   ග්‍රාම සේවා නිළධාරි ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිසියේ දැඩි අවවාද කළහ .

ලොරියේ රැගෙන ආ අපද්‍රව්‍ය දැඩි දුර්ගන්ධයකින් පැවති අතර  මැස්සන් විශාල ප්‍රමාණයක් ලොරියේ  වසා සිටියහ .

මෙම ලොරි රථයෙන්ද  පෝරුවදණ්ඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලකට විකිණීම සදහා කුකුල් මස් ද රැගෙන ආ බව මෙහිදී අනාවරණය විය. 

අපද්‍රව්‍ය රැගෙන ආ ලොරි රථය සහ සැකකරුවන් පොලිස් භාරයට ගත් අපද්‍රව්‍ය තොගය වෙනත් ලොරි රථයකින්  නැවත ගොවිපල කරා පිටත් කර හැරියහ.

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .