(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල කණ්ඩලම ජලාශයේ ජලය මේ වන විට පිරී ඇතැත් වැව යටතේ වගා කර ඇති කුඹුරු සහ ගොඩ බෝග වලට ජලය නිකුත් කිරීම සිමා කිරීම හේතුවෙන් ගොවිතැන් බත් සියල්ල විනාශවීමේ අවදානමකට ලක්ව ඇතැයි ගොවීහු චෝදනා කරති.
මේ වන විට කණ්ඩලම වැව යටතේ ඇති කුඹුරු සහ ගොඩ ඉඩම් සඳහා 40% ක වගා කිරීමට ජලය ලබාදෙන බව මහවැලි අධිකාරිය පැවසූ බව ගොවීන් කියති.
එහෙත් පැවැති අධික වර්ෂාවත් සමඟ කණ්ඩලම වැව සම්පූර්ණයෙන්ම පිරී තිබෙන බවත් වාන් දැමීම ආසන්නම මට්ටමට පිරී ඇති බව ගොවීන් කියති . ගොවීන් තම කුඹුරු වල වී ගොවිතැනත් සෙසු ප්‍රදේශ වල වෙනත් බෝග වගා කොට තිබේ.
මහවැලි අධිකාරිය යටතේ පවතින කණ්ඩලම ජලාශයේ ජලය වී වගාව සඳහා ලබා නොදී දින දහයකට වරක් පැය 24 ක පමණ කාලයකට සීමා කිරීම නිසා මේ වන විට වගා කර ඇති ගොඩ බෝග සහ වී වගාව සම්පූර්ණයෙන් ම විනාශ වීමේ තර්ජනයකට ලක්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති.
මේ වන විට කණ්ඩලම වැව ආසන්නයේ ම වගා කළ කුඹුරුවල පැලපත පවා මහ පොළොව ඉරිතලා වීනාශ වී ඇති අයුරු එහි ගිය අපට ද දැක ගැනීමට හැකි විය. එමෙන්ම මෙවර බිලුනු වගාව ද දඹුල්ල ප්‍රදේශිය ආරම්භ කොට තිබේ .ඒ සඳහා ද ප්‍රමාණවත් ජලය ලබා නොදීම කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක් බව ගොවීන් චෝදනා කරති .
කලට වේලාවට ජලය ලබා නොදී සිටින්නේ මහවැලි අධිකාරියේ වෙනත් කුමන්ත්‍රණකාරී තත්ත්වයක් මත බව ගොවීහු චෝදනා කරති .දැඩි ලෙස මහවැලි අධිකාරිය විවේචනයට ලක් කිරීම ගොවීන් විසින් සිදුකරන අතර ඔවුන්ට දෙස් දෙවොල් තබමින් කෑකෝ ගැසීමද ද ඔවුහු අමතක නොකළහ. ගොවීන් සිය හිස මත අත තබා ගෙන ඉරි තලා ගිය ගොයම් පැළ පතේ සිට මහවැලි නිලධාරීන්ට දෙස් තබති.
ඇතැම් ගොවීන් කියා සිටින්නේ ඉදිරියේදී රට තුළ වී හිගයක් ඇති කොට විශාල ව්‍යාපාරිකයන් ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා මහවැලි නිලධාරීන් ඉතා සූක්ෂම ලෙස වී වගාවන් ලුණු වගාවන් විනාශ කිරීම සිදු කරන බවය.
අප මේ පිළිබඳව මහවැලි විෂයභාර සිටි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගෙන් දුරකථනය හරහා විමසුවෙමු. ඒ මහතා විනාඩි කිහිපයක් ඇතුළත නැවතත් ඇමතුමක් ලබාගෙන මහවැලි අධ්‍යක්ෂක ජෙනරාල් බි .ඒ .සුනිල් එස් පෙරේරා මහතා සම්බන්ධ කිරීම සිදු කළේය.
මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ තමා සෑම ප්‍රදේශයකටම ගොස් ගොවීන් සමග සහ නිලධාරීන් සමග සාකච්ඡා කොට අවශ්‍ය ප්‍රමාණයට ජලය නිකුත් කරන ලෙස දැනුම් දී ඇති බව ය. කෙසේද කන්ඩලමජලාශය යටතේ වගා කර ඇති කුඹුරු වලට ජලය නිකුත් නොකරන්නේ මන්දැයි යන්න සොයා බලන බවත් ගොවීන්ට යම් කිසි ප්‍රශ්නයක් ඇත්නම් තමාව ලිකිතව දැනුවත් කරන ලෙස ඒ මහතා ඉල්ලීමක් කළේය..