ආදායම් අහිමිවිමෙන් දකුණු පළාත් සභාව මුදල් අර්බුදයක


ඩී.ජී.සුගතපාල

ඇඳිරි නීතිය පැනවිමත් සමග ආදායම් මාර්ග අහිමිවිම නිසා දකුණු පළාත් සභාව උග්‍ර මුල්‍ය අර්බුදයකට මුහුණපා ඇති අතර මැයි මාසයේ වැටුප් ගෙවිමේද ගැටළු මතුව ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් විමසුවිට කියා සිටියේ දකුණු පළාත් සභාවෙන් වැටුප් ලබන 48600ක පමණ පිරිසක් සිටින බවය.

එම නිලධාරියා වැඩි දුරටත් මෙසේද කිය.

රජය විසින් ජාතිය ගොඩනැගිමේ බද්ද අහෝසි කිරිම නිසා ජනවාරි මාසයේ සිට මසකට රුපියල් මිලියන දෙසියක පමණ ආදායමක් අහිමිවෙලා.එයට අමතරව ඇඳිරි නීතිය නිසා මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දකුණු පළාත් සභාවට සාමාන්‍යයෙන් මසකට ලැබෙන රුපියල් මිලියන අසුවක පමණ ආදායමක්ද මුද්දර ආදායමෙන් මසකට මිලියන එකසිය පනහක පමණ ආදායමක්ද උසාවි දඩ මුදල්වලින් මසකට රුපියල් මිලියන පහළොවත් විස්සත් අතර ආදායමක්ද අනෙකුත් බදු වලින් ලැබෙන ආදායමත් සමග මසකට රුපියල් මිලියන හාර සීයක පමණ ආදායමක් අහිමිවෙලා.

මෙය පළාත් සභාවේ වියදම්වලට බලපානවා. එපමණක් නොව පළාත් පාලන ආයතනවලටද මුදල් දිමට හැකියාවක් නැති වෙලා.ආදායම් අහිමිවිම නිසා සේවකයින්ගේ වැටුපෙන් අයකර ගන්නා ලද රුපියල් මිලියන පන්සිය පනහකට අධික මුදලක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ අධ්‍යාපන සේවකයින්ගේ සමුපකාර ණයදෙන සමිතියට යැවිමට නොහැකිවෙලා.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මාර්තු මාසයේ සිට අතිකාල දිමනා ගෙවලා නැහැ.ඒ සඳහා රුපියල් මිලියන දෙසියක් අවශ්‍යයි.

දැනට දකුණු පළාත් සභාවෙන් වැටුප් ලබන ස්ථිර සේවකයින් හතළිස් තුන් දහසක්ද අධිකාරිවල 600 ක්ද පළාත් පාලන ආයනවල සභිකයින් සමග පන් දහසක්ද ඇතුළු හතළිස් අට දහසකට අධික පිරිසක් සිටිනවා.ඔවුනට වැටුප් ගෙවිමට මසකට මිලියන දෙදහස් අට සීයක් අවශ්‍ය වෙනවා.එයින් රජයෙන් ලැබෙන්නේ මිලියන දෙදහස් හයසියක් පමණයි.ඒ අනුව මිලියන දෙසියක අඩුවක් තිබෙනවා.එය ලොකු ගැටළුවක් වි තිබෙනවා.