(මොහොමඩ් ආසික්)
අංකුඹුර නගරයේ බස් නැවතුම්පොළේ ඉදි කිරීමේදී ඉවත් කරනු ලැබු තමන්ගේ කඩ කාමර හතර වෙනුවට කඩ කාමර හතරක් තමන්ට ටෙන්ඩර් නොකර ලබා දෙන ලෙස ඉල්ලමින් පිරිසක් අද 19 වනදා දහවල් මහනුවර නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපිටදී නිහඩ විරොධතාවයක නිරත වූහ.
මෙම විරෝධතාවයට එක් වූ පිරිස සඳහන් කළේ, අංකුඹුර බස් නැවතුම්පොළ ඉදි කිරීමට පෙර දළඳා මාළිගාව මගින් තමන්ට ලබා දුන් ඉඩම් කොටස්වල කුඩා කඩ කාමර හතරක් ඉදි කර වෙළඳාම් කරමින් සිටි බවත්,නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම ස්ථානයේ බස් නැවතුම්පොළ ඉදි කිරීමේදී තමන්ගේ කඩ කාමර ඉවත් කළ බවත් නව කඩ කාමර ඉදි කිරීමෙන් පසුව තමන්ට කඩ කාමර හතර ලබා දෙන බවට පොරොන්දුවූ බවත්ය .
කෙසේ නමුත් මේ වන විට කඩ කාමර ඉදි කර අවසන් කර ඇති නමුත් පූජාපිටිය ප්‍රාදේශිය සභාව මගින් මෙම කඩ කාමර අටම ටෙන්ඩර් කිරීමට තීරණය කර තිබීම නිසා තමන්ට විශාල අසාධාරණයක වන බවද ඔවුහූ කීහ.
එම නිසා තමන්ට දළඳා මාළිගාවෙන් ලබා දී තිබූ ඉඩමේ ඉදි කර තිබූ කඩ කාමර වෙනුවට පොරොන්දු වූ නව කඩ කාමර හතර ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඔවුහූ කීහ.