අලුත් අවුරුද්දට පෙර සුළු පන්න ධීවරයන්ට සහන මල්ලක්


(නිමල කොඩිතුවක්කු)

සිංහල හා හින්දු  අලුත් අවුරුද්දට පෙර සුළු පන්න ධීවර ජනතාවට සහන මල්ලක් සමඟ  සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය  අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

ඉදිරි මාස හතර  ඉලක්ක කර මෙම සහන වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක  කරන ලෙසට දිලිප් වෙදආරච්චි මහතා ධීවර අමාත්‍යාංශයේ සමාජ සංවර්ධන අංශයේ ප‍්‍රධානීන්, ධීවර දෙපාර්තමේන්තුවේ අංශ ප‍්‍රධානින් සහ ජාතික ධීවර මහා සම්මේලනයේ නියෝජිතයින්  සමඟ අද (3) පැවැති සාකචඡාවකදී උපදෙස් ලබා දී ඇත.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ධිවර ජනතාව සඳහා කඩිනම් සහන සැලසීමට අදාළ යෝජනා 13 ක් ඇතුළත් යෝජනාවලියක් මෙහිදී ඉදිරිපත් කර ඇත.

ධීවර ජනතාවගේ නිවාස ඉදිකර ගැනීමට, ධීවර ආම්පන්න ලබා දීම, ධීවර කාන්තාව සවිබල ගැන්වීම සදහා ස්වයංරැකියා අත්වැලක් ලෙස ආධාර හා උපකරණ මෙන්ම පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම එයට ඇතුළත් වේ.