යුගයේ වීරයකුගේ අවසන් ගමන ගෲප් කැප්ටත් නිර්මාල් සියඹලාපිටිය


පශ්චාත් උපාධිය දෝතින් රුගෙන ජීවිතය ජය ගන්න බලාපොරොත්තුවෙන් සිටි වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටියගේ නිසල දේහය මත ඔහුගේ උපාධි කිරුළ තැන්පත් කිරීම මිහිමත ජීවත්වන කිසිදු හදවත් ඇත්තකුට දරාගත නොහැකි වේදනාවකි.

මිතුරු මිතුරියන් සමඟ රතු ලෝගුව පැලඳ ජයග්‍රාහී මාවත වෙත ළඟා වීමට ගත්තා වූ අප්‍රමාණ වෙහෙස හොඳාකාරවම දන්නේ ඔහු සහ  බිරිඳ පමණි . එම උගත්කම ජීවිතයට ලැබෙන පශ්චාත් උපාධිය පිරිනමන  දිනයේම කොළඹ  විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක අතින් ඔහුගේ බිරිඳ වෙත ප්‍රදානය කරද්දී ඇගේ වේදනාව වචන හා මුසුකිරීමට නොහැකිය. ජීවත්ව සිටියදී උපයා ගැනීමට උත්සාහ කළ තනතුරු ජීවිතයෙන් සමුගත් වින්ග්  කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටියට ලැබිණ. ඒ ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය  යනුවෙන් උසස් නිලයට පත් වීමෙනි.

”‍අපි ආව බය වෙන්න එපා ”‍ සංඥාව  නිකුත් කරමින් ගුවනේ සිට ප්‍රතිචාර දක්වමින්  අසරණ මිනිසුන්ගේ  බලාපොරොත්තු සුරක්ෂිත කරමින් බෙල් 212 යානය එදින ගුවනේ සැරි සරන්නට විය. දිනපතා රාජකාරියෙන් ඔබ්බට ගොස් ජීවිතය  ඉල්ලා හඬන මිනිසුන්ගේ පණ නළ රැක දෙන්නට දිවා රෑ වෙහෙසි සිදුකළ මෙහෙයුමම වින්ග්  කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටියගේ ජීවිතයේ අවසාන පරිච්ඡේදය  ලියා වි යැයි කිසිවකු නොසිතන්නට ඇත.

මහා ජල කඳ මැදට වට වී සිටි පීඩාවට පත් බොහෝ දෙනා බේරාගැනීම වෙනුවෙන් හා  ඇඳිවත පමණක් රැගෙන  සියල්ල අතහැර දමා කොහේ හෝ සහන කඳවුරක රැඳී සිටී අසරණ මිනිසුන්ට කුසට අහර ලබා දීමට ගොස් උපන් ගමේදීම මෙලොව හැරයාමට සිදුවීම නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දෛවයේ සරදමකි. ඔහු විටෙක වාසනාවන්තය. රාජකාරිය සෑම දෙනාටම උපන් ගමේ මිනිසුන් වෙනුවෙන් කළ හැක්කක් නොවේ.  ඒ අය  වෙනුවෙන් ඔහු ජීවිතයම පූජා කළේය. 

අහසේ පියාසර කර කරමින් සිටියදී අනතුර පිළිබඳ වූ බරපතළකම හඳුනාගත් මොහොතේ සිට වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය සහාය ගුවන් නියමු හා සෙසු ගුවන් හමුදා සාමාජිකයන් සමඟ ලු‍ණුවිල පාලම ආසන්නයේ අහසේ සැරි සැරුවේ හෙලිකොප්ට‍ර් යානය පොළොව මතට රැගෙන ඒමටය. පොළොවට ආසන්න අහසේ සැරි සැරූ හෙලිකොප්ටර් යානය දුටු බොහෝ දෙනා ජංගම දුරකථන ඔස්සේ වීඩියෝ කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටියහ. 

තත්පර කිහිපයක් තුළ යානය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ගුවන් නියමුවාට  සිදුවිය. ඒ අනුව අනෙකුත් නිලධාරීන්ගේ ජීවිත බේරාගැනීමේ අරමුණු ඇතිව ගිංඔය දෙසට පියාසර කර, මොහොතකින් ඔවුන් රැගත් හෙලිකොප්ටර යානය මහා ජලකඳ පසාරු  කරගෙන පහළට ගලා යන ගිංඔය පතුලට කිඳාා බැසිණ.

හදවත් මොහොතකට කම්පා කරමින් සිදුවූ මෙම ඛේදනීය තත්ත්වය  දුටු වෙන්නප්පුව ප්‍රදේශවාසීන් හා පොලිසිය වහාම ක්‍රියාත්මක වී පිරිස මුදා ගෙන  රෝහල් ගත කළද  මෙහෙයුමට දායක වූ සහය ගුවන් නියමුවා  ඇතුළු අනෙකුත් ගුවන් හමුදා සාමාජිකයන් සියලු‍ දෙනාම අතහැර දමා නිර්මාල් සියඹලාපිටිය මෙලොවින් සමු ගත්තේය.

වෙන්නප්පුව ජෝසප් වාස් මහා  විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන ලැබ  උසස් අධ්‍යාපනය අවසන් කොට 2005 ජුලි 06 දින ගුවන් හමුදා සේවයට එක්වූ නිර්මාල් සියඹලාපිටිය විසි වසරක අත්දැකීම් බහුල දක්ෂ ගුවන් නියමුවෙකි. රාජකාරිය කරන අතරතුර ඔහු පසුගිය 03 වෙනි දින කොළඹ විශ්ව විද්‍යාලයේ  පැවති පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයේ රතු ලෝගුව හැඳ පශ්චාත් උපාධිය ලබා ගන්නට පෙරුම් පිරෑ සිසුවෙක් ද  විය.  එය විශේෂ සංවේදී සිද්ධියක් බවට පත්විය. ඔහුටත් හොරෙන් ඒ සිහිනය ගිංඔය පතුළේ සැඟවිණ. 

කොළඹ විශ්ව විද්‍යාලයේ ඔහුට අධ්‍යාපනය ලබා දුන් ආචාර්යවරුන් මහාචාර්යවරුන් පවසා ඇත්තේ මෙම දක්ෂ ගුවන් නියමුවා කාර්යබහුල ජීවිතය අතරතුර අධ්‍යාපන  කටයුතු සාර්ථකව මැනවින් ඉටු කළ සිසුවෙකු බවය. 

අනතුරෙන් මියගිය ප්‍රධාන ගුවන් නියමු නිර්මාල් සියඹලාපිටිය ගුවන් හමුදාවට බැඳී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව හා එක් වීමේ අරමුණෙනි.ගුවන් හමුදාවේ සාමාන්‍ය රාජකාරි දෙපාර්තමේන්තුවේ ගුවන් නියමයකු ලෙස ගුවන් හමුදා සේවයට එක්ව ඇති නිර්මාල් සියඹලාපිටිය  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර පැය 3000 ක් ඉක්මවා විවිධ වර්ගයේ හෙලිකොප්ටර් හා ගුවන් යානා පදවා ඇති අතිදක්ෂ නිලධාරියකු බව ගුවන් හමුදාව සඳහන්  කරයි. දේශීය සහ විදේශීය පුහුණු සැසි රැසකට සහභාගි වී ඇති ඔහු එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පිළිබඳවද  විශේෂ පුහුණුවක් ලබා සිටින ගුවන් නියමුවෙකු බව සඳහන්ය. ගුවන් නියමු හා ජාත්‍යන්තර සබඳතා යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඔහු වැඩිදුර අධ්‍යාපනය හදාරා තිබේ.

කීර්තිමත් විසි පස් වසරක ගුවන් නියමු ජීවිතය තුළ 48 වැනි ආධුනික කැඩෙට් නිලධාරී පාඨමාලාව හදාරා ගුවන් නියමු නිලධාරීවරයෙක් වශයෙන් අධිකාරි ලබමින් නිර්මාල් සියඹලාපිටිය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පුහුණුවෙන් පසු ගුවන් යානා අංශයේ හෙලිකොප්ටර් උසස් පුහුණු පාඨමාලාව හැදෑරුවේය. බෙල් 206, බෙල් 212, බෙල් 412, එම් අයි 17 පුහුණුව ලබා ජෙට් රේන්ජර් ගුවන් යානාවල පියාසර පැය 3000 කට වැඩි ප්‍රමාණයක් පියාසරකර ඇති බව සඳහන්ය.ගුවන් ගමන් දහසකට  වැඩි ප්‍රමාණයක් පියාසර කර ඇති ඔහු වී වී අයි පී මාස්ටර් ග්‍රීන් ශ්‍රේණිගත නියමයකු ලෙස ඇගයීමටද ලක්ව තිබේ. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව හා මානසික මෙහෙයුම් සඳහා දැක්වූ සහාය වෙනුවෙන් ඔහු නැගෙනහිර මානුෂීය, උතුරු මානුෂීය පදක්කම, ස්වර්ණ භූමි 75 වැනි නිදහස්, සේවා අභිමානී, එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකා ඇතුළු පදක්කම් රැසක් හිමිකරගෙන තිබේ. දකුණු සුඩාන සම්මාන උලෙළකදී ද ඔහු පිදුම් ලබා ඇත.

හෙලිකොප්ටර් යානා ප්‍රභූ ප්‍රවාහන බලකායේ ගුවන් නියමුවකු වූ සියඹලාපිටිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන්ගේ රාජකාරි කටයුතු සඳහා යාමේදී ගුවන් නියමුවෙකු ලෙස විශේෂ අවස්ථාවක් ලැබූවෙකි. ඒ ඔහු  ගුවන් හමුදාවේ විශ්වාසවන්ත වගේම දක්ෂ පළපුරුදු ගුවන් නියමුවෙකු වීම  නිසාවෙනි. ඉන්දියාව හා චීනය පුහුණු ලබා එක්සත් ජාතීන්ගේ සාම බලකායේ ගුවන් නියමුවෙකු ලෙසද සියඹලාපිටිය කටයුතු කර තිබේ.

ඔහු දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමයා විය. පවුලේ අය අතර ඔහුට ලැබුණේ විශේෂත්වයකි. 1984 පෙබරවාරි මස 02 දා උපත ලද  නිර්මාල්, වෙන්නප්පුව ලු‍ණුවිල, කිරිමැටියාන ,තුලාවල ප්‍රදේශයේ පදිංචිව  සිටි කාලයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව තිබේ. හතළිස් එක් හැවිරිදි  වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලපිටියට වයස අවුරුදු පහක පුතෙක් සිටී.

තමා ශිෂ්‍යයකු කාලයේ අධ්‍යාපනය ලැබූ  පාසල පිහිටි වෙන්නපුව පොලිස් වසමේ ගිංතොට ඔයට තමා විසින් පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානය කඩා වැටී ජීවිතක්ෂයට පත්වීමද දෛවයේ සරදමකි. හුරු පුරුදු ගිංඔයම නිර්මාල් සියඹලාපිටියගේ ජීවිතය අයැද සිටියේ ඔහු කළ වරද කුමක්ද යන්න නොදැනය. උපන් ගමේ දී තම ඥාතීන් මිතුරන් අතහැර දමා දැයෙන් සමුගත් ඔහු මිය යන විට රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටියේය.

“මම මැරුණත් උඹලට හරි ගංවතුරින් කොටුවෙලා ගොඩබිමට  වෙලා අපෙන් පිළිසරණක් බලාපොරොත්තුවෙන් සිටින අයට උදව් කරන්න ඕනෑ. ගමේ අයට කිසිම අනතුරක් සිදු වෙන්න මම ඉඩ තියන්නේ නැහැ” යැයි කියා ගුවන් නියමු සියඹලාපිටිය හෙලිකොප්ටර් යානය ගිංඔය දෙසට හරවා තිබෙන බවද සඳහන්ය.

ගුවන් හමුදාපතිගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණක් ආරම්භ කර  ඇතැයිද සහාය ගුවන් නියමුවරයා ඇතුළු සිව්දෙනා මේ වන විට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබන බවද ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද ගුවන් හමුදාව සඳහන් කළේය.

වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටියගේ මිතුරියක් සමාජ මාධ්‍යයට ඔහුගේ මියයෑම සම්බන්ධයෙන් සටහනක් එක් කර තිබුණි. 

“දිට්වා නොපැමිණියේ නම් හෙට ඔබ රතු ලෝගුව හැඳ කොළඹ පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයේදී මා හට මුණගැසීමට ඉඩ තිබුණා. විපතට පත්වූවන්ගේ ජීවිත බේරා ගැනීමට උත්සාහ දැරූ වින්ග් කමාන්ඩර් නිර්මාල්  සියඹලාපිටිය අන්තර්ජාතික සබඳතා පිළිබඳ විෂයෙහි පශ්චාත් උපාධිය ලබා ගැනීමට සිටි ශිෂ්‍යයෙක්. එම  පුවත මා කම්පනයට පත් කළා. මෙය මට දරා ගැනීමට අසීරු දෙයක්.”

ගුවන් යානයේ සහායක ගුවන් නියමු ලු‍තිනන් චාමර ඒකනායක අනතුර සම්බන්ධයෙන් සඳහන් කළේ මෙවැන්නකි.

“ගංවතුරට කොටුවෙලා සහ කන්න නොමැතිව සිටි අයට සහන සැලසීමේ මානුෂීය මෙහෙයුමක අපි නිතර වෙලා සිටියා. හෙලිකොප්ටර්  යානයේ නියමුවා වූයේ සියඹලාපිටිය මහත්තයායි.වෙන්නප්පුව ලු‍ණුවිල ප්‍රදේශයේ විපතට පත් වූවන්ට පිහිට වෙමින් සිටියදී හෙලිකොප්ටරයේ  හදිසි කාර්මික දෝෂයක් ඇති වෙලා ගිං ඔයට කඩා වැටුණා.

අපි ජීවිත බේරගත්තත්  සියඹලාපිටිය මහත්තයගේ ජීවිතය  බේරගන්න අපිට පුළු‍වන් වුණේ නෑ. අඩි විස්සක් පමණ ගැඹුරට හෙලිකොප්ටර යානය කඩා වැටුණා. සියඹලාපිටිය මහත්තයා උඩට ගන්න  විට සිහිය තිබුණේ නෑ. අනික් අය  පිටතට අවා. පිරිසක් ලොකු ලෑලි දෙකක් වතුරට දැම්මා අපි සියඹලාපිටිය මහත්තයා ලෑල්ලේ තියාගෙන අරගෙන එද්දී තවත් තරුණයින්  පිරිසක් තාප්පයක් මතට ගොඩ වී අප දෙසට කඹ විසි කළා. ඒක දිගේ අපි දෙමහල් නිවසක උඩුමහලට ගොඩ වුණා .සියඹලා පිටියේ මහත්තයට අවශ්‍ය මූලික ප්‍රථමාධාර එම නිවසෙහිදී ලබා දීමෙන් ලබාදී පසුව 1990 ගිලන් රථයකින් රෝහලට අරගෙන ගියා. වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා  පැවසුවා ඔහු මියගිය බව.

අපි ඒ දින ටිකේම මීගමුව, කොච්චිකඬේ, වෙන්නප්පුව, නිකවැරටිය, පුත්තලම, හලාවත, ප්‍රදේශවල විපතට පත් වූ අයට පිහිට වුණා.”

නිර්මාල් සියඹලපිටියගේ බිරිද වන බුද්ධිකා ලක්මිණී ගුණරත්න ඉතා සංවේදීව මෙසේ කීවාය.

“මට මහත්තයා පසුගිය 27 වෙනිදා දුරකථනයෙන් කීවා පුත්තලම පාලවිය ප්‍රදේශයේ අවතැන් වූ අයට ආහාර අරගෙන යනවා කියලා. ඊට පස්සේ දුරකථනවල සිග්නල් නැතුව වැඩ කළේ නෑ. රාත්‍රී හතට පමණ ගුවන් හමුදා කඳවුරෙන් කිව්වා මගේ මහත්තයා නැතිවුණා කියලා.  විසි හත්වැනිදා මහත්තයා රාජකාරි කටයුතු සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුරට ගියා. එදාම සවස මට කතා කරලා කිව්වා දැන් සහන සලසමින් ඉන්නේ කියලා.  වෙනදාට එයා කවදාවත් ෆ්ලයි කරනකොට කතා කරන්නේ නෑ. ගුවන් යානය නතර කළාම තමයි කතා කරන්නේ .හැම වෙලාවෙම පුතා ගැන අහන්න අමතක කරන්නේ නෑ. ”

“මහත්තයා අනතුරකට පත්වෙලා ජීවිතක්ෂයට පත්වුණා කියලා ආරංචි වුණාම මට දරාගන්න බැරුව ගියා. මහත්තයා රට වෙනුවෙන් කරපු සේවය ගැන ආඩම්බර වෙනවා. ඒක විතරයි මගේ සැනසීමකට තියෙන්නේ. මහත්තයා පුතාට හරිම ආදරෙයි. එයා මොන දේ කළත් රාජකාරිය කරන ගමන් අපට කතා කරන්න අමතක කරන්නේ නෑ. අප ගැන හොයා බලනවා. ඒ හැම දේටම එයා රාජකාරිය බාධාවක් කරගන්නේ නෑ. පුදුමාකාර කැපවීමකින් එයා රාජකාරිය කරන දක්ෂ නිලධාරියෙක්. පහුගියදා පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී එයා ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට නියමිතව සිටියා. මට ඒ සිද්ධියක් කිසි සේත්ම දරා ගන්න පුළුවන්කමක් නැහැ”

මේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර එකී විමර්ශන ප්‍රගතිය දැක්වෙන වාාර්තාවක් අධිකරණ ඉදිරිපත් කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත්  දිනිඳු සමරසිංහ මාරවිල  මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිට පසුගිය 01 දා නියෝග කළේය. ඊට අමතරව මහේස්ත්‍රාත්වරයා ගුවන් හමුදාපතිවරයාට නියෝග කළේ මෙම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින්ද වෙනම  විමර්ශනය සිදු කරන ලෙසය. ගුවන් අනතුරෙන් මිය ගිය වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටියගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා මෘත දේහය ඥාතීන්ට භාරදෙන ලෙසද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මෙම ප්‍රධාන ගුවන් නියමුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව සහිතව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය.

වින්ග් කමාන්ඩර්  නිර්මාල් සියඹලාපිටියගේ මරණය සම්බන්ධයෙන්  මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි දෙසැම්බර් 08 දින මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලිණ හෙට්ටිආරච්චිට නියෝග කළේය.

නිර්මාල් සියඹලාපිටියගේ නිසල දේහය ලු‍ණුවිල කිරිමැටියාන, තුලාවල ප්‍රදේශයේ  නිවසේ තැන්පත් කර පසුව වෙන්නප්පුව  ශාන්ත ජෝසප් වාස්  විද්‍යිලයට රැගෙන ගොස් කතෝලික ආගමික වතාවත් වලින් අනතුරුව ඔහු පදිංචිව සිටි රත්මලාන නිවස වෙත රැගෙන එනු ලැබීය. පසුගිය 04 වැනි දින ඔහුගේ අවසන් කටයුතු පවුලේ ඥාතීන්ගේ සහ ගුවන් හමුදා උත්ත්තමාචාරය මත සිදු කෙරිණ.

මහව සජීවා කෝට්ටගොඩ,
අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද