
ඕස්ට්‍රේලියාවේ අපනයන ණය සමාගමකට ගෙවිය යුතුව තිබුණ ණය පොලිය පරිගණක අපරාධයකට ගොදුරු වී ඇත. කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරයා තමන් ඒ ගැන වැඩිදුර නොදන්නා බව පිළිගෙන තිබේ. මහජනතාව මහත් විමතියකට පත්ව සිටී. මහපරිමාණ හොරු ගැන ආන්දෝලනයක් ඇතිකර බලයට පත් වූ වත්මන් ආණ්ඩුව හැකරුන්ට ගොදුරුවීම සුළුකොට තැකිය නොහැක. මහාභාණ්ඩාගාරයේ කිහිපදෙනකුගේ වැඩ තහනම් කර ඇත. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට හා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ද පැමිණිලි කර තිබේ. පසුගිය මාස ගණනාව තුළ සිදු වූ මෙම විදේශ විනිමය අපහරණය බරපතළ අපරාධයකි. එන්.ඩී.බී. බැංකුවේ පරිගණක පද්ධති ඔස්සේ කරන ලද වංචාව තිබියදී ආණ්ඩුව ඇතුළෙන් ද එවැනිම සිද්ධියක් වාර්තාවීම ද විශේෂ තත්ත්වයකි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වසර අනූ හතරකි. මහජනතාවට අධික බදු පනවන ආණ්ඩුව විශාල ආදායමක් උපයාගත් බව උද්දාමයෙන් ප්‍රකාශ කරමින් සිටී. මහජන ධනය ඩිජිටල් ආර්ථිකයේ සිදුරු ඔස්සේ ගිලා බසින බව පැහැදිලිය. ශ්‍රී ලංකා මහ බැංකුව, මහා භාණ්ඩාගාරය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හෝ රාජ්‍ය ණය කළමනාකාර කාර්යාලය සුළු පටු ඒකක නොවේ. යකඩ මල්ලට ගුල්ලන් ගැසූ පසු සහල් මල්ල ගැන සොයන්නට එපා යැයි පැරණි කියමනක් තිබේ. එවැනි තැනකට රට තල්ලුවීම වැළැක්වීමට ආණ්ඩුව විශේෂයෙන් වගබලා ගත යුතුය.
ඩොලර් ලක්ෂ විසිපහක් අහිමිවීමේ අභ්‍යන්තරය
විදේශ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලියේ දී නොදන්නා පුද්ගලයකුගේ ගිණුමකට රජයේ මුදල් බැර වී ඇති බව කථානායකවරයාට යොමු කෙරුණු ලිපියකින් පළමුවරට හෙළි විය. “ෆ්‍රී ලෝයර්ස්” නමැති සංවිධානය වෙනුවෙන් ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න ලියන ලද එම ලිපියට අනුව - 2025දෙසැම්බර් මාසයේ සිට මෙම වසරේ ජනවාරි දක්වා ගෙවන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් නොදන්නා තැනකට යොමු වී තිබේ.
එම අක්‍රමිකතාව නිලධාරීන් සහ ආණ්ඩුව හඳුනාගෙන ඇති බව පැහැදිලිය. පසුගිය මාර්තු මාසයේ අග මෙම සිද්ධියේ අභ්‍යන්තරය සොයා බැලීම සඳහා තාක්ෂණික විමර්ශන කමිටුවක් පත් කර තිබේ. එය ද කථානායකවරයාට ලියන ලද ලිපියේ දක්වා තිබේ.
විදේශ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලය ඉතා සංකීර්ණ තැනක පසුවන බව පිළිගත යුතුය. රටවල්වලින් හා ආයතනවලින් ලබාගත් ණයවලින් සැලකිය යුතු කොටසක් ප්‍රතිව්‍යුහගත කර තිබේ. සංවර්ධන බැඳුම්කරවල පවා ආපසු ගෙවීමේ ක්‍රමවේද හා ඒවාට ගෙවන පොලිය ගැන තාක්ෂණික තීරණ ගනිමින් තිබේ. ආර්ථික ආර්බුදයට පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් අනුව මෙම ක්‍රියාවලිය සිදුවේ. ඇතැම් ණය පද්ධති ආපසු ගෙවීම 2028 වසරේ දී ආරම්භ කෙරේ. කෙසේ නමුත් තාවකාලිකව ලබාගත් ණය වලින් කොටස් ගෙවීම ආරම්භ කර ඇත. එය වෙනම ඒකකයට භාර කොට තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තිබුණ ණය පරිපාලන අයිතිය මුදල් අමාත්‍යංශය යටතේ ඇති අලුත් ඒකකයකට පවරා ඇත. මහ බැංකු පනත සංශෝධනය කරන ආණ්ඩුව ණය ආපසු ගෙවීමේ පහසුව තකා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් ස්ථාපිත කරන ලදී.
ඕස්ට්‍රේලියානු අපනයන ණය සමාගමට ගෙවිය යුතුව තිබුණ ඇමෙරිකානු ඩොලර් මිලියන22.9 ක හා එහි පොලිය ගැන ලිපි ගනුදෙනු මෙම ඒකකය ඔස්සේ සිදු වූ බව සැක කළ හැකිය. හැකර්වරයකු සමග ලිපි හුවමාරු කරගෙන අවස්ථා කිහිපයකදී එම මුදලින් කොටසක් ගෙවා ඇති බව දැනට ප්‍රකාශ වී ඇත. ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් බව කියැවෙන නමුත් පරීක්ෂණ අවසානයේ දී අභ්‍යන්තරය නිවැරදිව ප්‍රකාශයට පත් කෙරෙන්නට ඉඩ තිබේ.
ඩිජිටල් ප්‍රහාර ගැන ආණ්ඩුව නොදැන සිටියේ නොවේ.
සයිබර් ආක්‍රමණ ඉදිරියේ දැවැන්ත වන්දියක් ගෙවන්නට සිදුවන බව ශ්‍රී ලංකාවේ බලධාරීන් නොදැන සිටියා නොවේ. ඩිජිටල් යුගයට ඇතුළුවන ආකාරය ගැන කරුණු පැහැදිලි කරන සමුළුවක් පසුගිය වසරේ අග භාගයේ කොළඹ දී පැවැත්විණි. ආසියානු සංවර්ධන බැංකුව එය සංවිධානය කළේය. ඩිජිටල් යුගයේ දී සයිබර් ප්‍රහාරවලින් ගැලවීම සඳහා දැනුම්වත් කිරීම ද එහි අරමුණක් විය. එහි දී හෙළි වූ කරුණු අනුව ශ්‍රී ලංකාව සයිබර් ගොදුරක් විය හැකිය. කල් තබා තීරණ ගැනීමෙන් පසු සයිබර් අපරාධවලින් ගැලවීම සඳහා පියවර ගත යුතු බව උපදේශනය කෙරිණ. ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසිය පනහ හෝ බිලියනය අතර ගණනක් සයිබර් අපරාධවලින් ගැලවීම සඳහා වසරකට රටට අවශ්‍ය වනු ඇතැයි එහි දී ප්‍රකාශ වූ තවත් කරුණකි. ආණ්ඩුව මාස ගණනකට කලින් ලැබූ උපදේශය තිබිය දී හැකර්වරු එය තම වාසියට හරවාගෙන ඇත. හුදෙක් මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් ගෙවීමේ සිද්ධියට වඩා විශාල අභ්‍යන්තරයක් පවතින බව ආණ්ඩුව මතක තබාගත යුතුය.
සයිබර් අපරාධ ගැන අවධානය වැදගත්ය. පසුගිය වසරේ අග භාගය වන විට මෙරට රජයේ ආයතන ගණනාවක පද්ධති අගුළු වැටී තිබුණි. රජයේ වෙබ් අඩවිය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණාලය, පොලිස් ඩිජිටල් පැමිණිලි අංශය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සිද්ධි ඒ අතර තිබේ. කුඩා දරුවකු හිටපු ජනාධිපතිවරයකු ගේ වෙබ් අඩවියක් අත්පත් කරගත් අවස්ථාව ද මතක් කළ යුතුය.
ඩිජිටල් යුගය ගැන ජනතාව දරන මතය කෙසේ වෙතත් එයින් ඇති කරන විනාශය සුළු පටු නොවේ. ඉකුත් කාලයේ දී බැංකුවල ගනුදෙනු කිහිපයකට ඇති වූ බාධා ඇති විය. 2025 වසරේ දී පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය 12,650 කි. ඩිජිටල්කරණය මගින් හැබෑ වාසියක් අත්පත් කරදෙන අතර තුර අතරමැදි පිරිස් බලහත්කාරයෙන් කඩා වැදී කරන විනාශය සරල කොට තැකිය යුතු නැත. දත්ත පලුදු කිරීම හෝ විකෘති කිරීම මගින් සිදුවන හානි වළක්වාගැනීමට පියවර ගත යුතුය.
මුරපද ගැන ජනතාවට කරන අවවාද තිබිය දී
සිවිල් අපරාධ හා සමානව පරිගණක අපරාධ ව්‍යාප්ත වෙමින් තිබේ. ඇතැම් විද්‍යාර්ථීන් දක්වන කරුණු අනුව ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇත. ගෙවිය යුතු ණය, ඒවා ගෙවන දිනය, ලැබිය යුතු නිවැරදි පුද්ගලයන් ගැන දත්ත සම්බන්ධ ගැටලු තිබේ. දිනපතා යාවත්කාලීන වේ. පද්ධතිවල අභ්‍යන්තරය දන්නා පිරිස්වලට ඒවායේ පැතිකඩ වෙනස් කරන නොදන්නා ගිණුම්වලට පහසුවෙන්ම මුදල් එහා මෙහා කිරීමට බැරිකමක් නැත. ඉතා සූක්ෂම බාහිර පුද්ගලයන්ට ද දැවැන්ත සිද්ධි ඇති කරන හැකියාව ලැබී තිබේ. ඩිජිටල් ක්‍රමවේ ද පමණක් විශ්වාස කරන හා ලිපිගොනු නිසි පරිදි නඩත්තු නොවන අවකාශයක් තුළ ඒවායේ හැසිරීම භයානකය.
එන්.ඩී.බී. බැංකුවේ මුදල් නොදන්නා ගිණුම්වලට බැර කර වංචා කිරීම සොයා ගැනීම අපහසු හා සමානව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ මෙම ගෙවීම ලබාගත් දේශීය හෝ ජාත්‍යන්තර හැකර්වරයා හෝ හැකර් කණ්ඩායම සම්බන්ධ පරීක්ෂණ පහසු නැත. මෙම අවස්ථාවේ දී ආණ්ඩුව අපරාධකරුවන් අල්ලාගැනීමට සිය උපරිම උත්සාහය යෙදිය යුතුය. ශ්‍රී ලංකාව වැනි රටකට මෙම ඩිජිටල් දූෂණ සොයාගැනීමට තාක්ෂණික මෙවලම් ලබා ගැනීම පහසු නැත. නමුත් කලාපයේ හෝ මිත්‍ර රටවල් මෙහි දී සහාය කරගත හැකි වේ. ශ්‍රී ලංකාව පසුවන ස්ථානය ගැන සලකා බලන පසු වෙළෙඳ හෝ ආයෝජන ගිවිසුම් හා සමානව පරිගණක ආශ්‍රිත අපරාධවල දී එකතු වී ක්‍රියා කළ හැකි පරිදි කලාපීය යාන්ත්‍රණයක් ගොඩනගා ගත යුතුවේ.
ශ්‍රී ලංකාව පරිගණක අපරාධවලට ගොදුරු වෙමින් පවතින බව තහවුරු වී ඇත. පරිගණක අපරාධ පනත 2007 වසරේ දී සම්මත කරගෙන තිබේ. 2022 වසරේ දී පුද්ගල දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණ. මෙරට වාණිජ බැංකු කිසිම තුන්වැනි පාර්ශ්වයකට මුදල් හුවමාරු මුරපද හෝ කාඩ්පත් රහස්‍ය අංක කවර හේතුවක් හෝ නිසා ලබා නොදෙන ලෙස නිතර අවවාද කරමින් සිටී. එවැනි පරිසරයක් තුළ රජයේ නිලධාරීන් හා රජයේ වගකිවයුතු දෙපාර්තමේන්තුවක් හැකර්වරු සමග ගනුදෙනු කර තබෙන බවට වාර්තාවීම කිසිසේත් සාධාරණ තත්ත්වයක් නොවේ.
මහජනතාව ගෙවන වන්දිය තක්සේරු කිරීම
සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තිබේ. තමන්ට ලැබිය යුතු මුදල වෙනත් පාර්ශ්වයකට ගෙවීමෙන් පසු එය අත්හරින්නට ඕස්ට්‍රේලියානු සමාගම සූදානම් නැත. නිසි පරිදි ණය හා පොලී වාරික ගෙවන්නට සිදුවේ. අතපසුවීමකින් හෝ සංකීර්ණ භාවය දැනගෙන විශාල වංචාවක් ලෙස මෙම සිද්ධිය සිදුවිය හැකි නමුත්, මෙම ධනය රටට අහිමි වී තිබේ. හෙජිං ගිවිසුම, වැට්බදු වංචා, බැඳුම්කර සිද්ධිය, ගල්අඟුරු අලාභය, එන්.ඩී.බී. කොල්ලය හෝ මෙම සඳහන් කරන ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක ගෙවීම පවා අවසානයේ දී මහජන ධනය බව මතක තබා ගත යුතුය. රජයේ අයවැය පියවන අතර සිදුවූ සියලු අවාසි එක පැත්තකට එකතු වේ. ඒවා පියවන්නට ධනය සොයාගැනීමට සිදුවේ. ගල්අඟුරු සිද්ධියේ අවාසි ආවරණය කිරීම සඳහා විදුලිය ගාස්තු වැඩිකරන හා සමානව මෙම මුදල් වෙනුවෙන් යම් යම් තීන්දු ඉදිරියේ දී ගැනෙනු ඇත. මහජනතාවට බරක් නොකරන හෝ අලුතින් මුදල් අච්චු නොගසන හෝ ණය නොගන්නා බව හෝ ප්‍රකාශ විය හැකි නමුත් අභ්‍යන්තරය එසේ නොවේ.
ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි ලෝකයේ සයිබර් අපරාධ සම්බන්ධ ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 10.5 ක් දක්වා ඉහළට ගොස් ඇත. පරිගණක අපරාධ සම්බන්ධ හානිය වසරක් පාසා අවම වශයෙන් සියයට දහයකින් ඉහළ යන බව දැක්වේ. 2020-30 වන විට එය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 20-30 අතර ගණනක් විය හැක. ශ්‍රී ලංකාවේ තරම හඳුනාගත යුතුය. මෑත කාලීන සිද්ධි හා ඉදිරියේ දී වාර්තාවන සිද්ධි සලකා ඒවා වළක්වාගැනීම අවශ්‍යය. වැරදි සම්බන්ධයෙන් උපරිම දඬුවම් අවශ්‍ය කෙරේ. දුප්පත් ජනතාව මැද පෙරදිග ඇතුළු රටවල සේවය කර එවන ඩොලර් හා සංචාරකයන්ට මග පෙන්වා ලබන ඩොලර් හැකර්වරුන්ට පිරිනමා අත පිසදා ගන්නා ආර්ථිකයකින් රටට පලක් නැත.
මෙවැනි සිද්ධි සැහැල්ලුවෙන් කල්පනා කර සුළුකොට තැකීමෙන් තවත් වරදක් සිදුවේ. වගකිව යුතු පිරිස් පමණක් නොව වගකීම උසුලන පිරිස් තමන්ගේ හෘද සාක්ෂියට අනුව තීරණ ගත යුතුව තිබේ. ලෝකයේ නොයෙක් තැන්වලින් තමන්ගේ අතපසුවීම් පිළිගෙන ඉල්ලා අස්වන මහජන හිතකාමී සිද්ධි වාර්තා වේ. මෙරට එවැනි නිහතමානීත්වයක් නැත. ඕනෑම දුෂ්ක්‍රියාවක් වචන හරඹ මගින් කාගේ හෝ පැත්තට හරවා - තමන් නිදොස් කොට හැසිරෙන නායකත්ව වෙතින් උදාර අනාගතයක් අපේක්ෂා කරන්නේ කෙසේ ද?
සාරා කන්දෙගොඩ

