හංගපු දේපළක් තියෙනවා නම් කරුණාකරලා අල්ලස් කොමිසමට කියන්න


අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න

තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශය සැමරීමේ ජාත්‍යන්තර දිනය හෙවත් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දිනය අද(28දා)යි. එම අයිතිය ශක්තිමත් කළ යුතුව ඇති අතර ඒ වෙනුවෙන් හඳුන්වාදුන් නව නීති ප්‍රතිපාදනයක් පිළිබඳ මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.

දූෂණ විරෝධී පනත හඳුන්වාදීමෙන් පසුව එහි නීති ප්‍රතිපාදන අනුව වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමත් සමග විවිධ පුද්ගලයන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබේ. මෙම නීතියට අනුව වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන්නේ කෙසේද? එසේ ලබා නොදුන හොත් නීත්‍යානුකුල ක්‍රියාමාර්ග කෙලෙස සිදුකරන්නේද? යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීම පිණිස දූෂණ විරෝධී පනත් කෙටුම්පත් කිරීමට අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න සමග සාකච්ඡා කළෙමු. 

? නව දූෂණ විරෝධී පනත යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු පුද්ගලයෝ කවරහුද?

මීට පෙර තිබුණු  අල්ලස් දූෂණ නීතියේ අඩුපාඩු, හිදැස් තැන් බොහොමයක් තිබෙනවා. ඒ සියල්ලම සකස්කරමින් තමයි අල්ලස, දූෂණය, වත්කම්, බැරකම් මේ සියල්ලටම අලුත් දුෂණ විරෝධී පනත 2023 දී  හඳුන්වා දුන්නේ.  වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුුතු බොහෝ පිරිස්   මුල් පනතෙන් මගහැරිලා තිබුණා. ඒ අනුව වත්මන් පනත යටතේ මහජන නියෝජිතයන්, කැබිනට් අමාත්‍යවරුන්, ලේකම්වරුන්, විධායක නිලධාරීන්ට අමතරව රටේ ජනාධිපතිවරයා, පළාත් පාලන ආයතනවල සාමාජිකයන්, මහජන නියෝජිතයන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල,ස්වාධීන කොමිෂන් සභාවල සමාජිකයන් තමතමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුයි. මේ අයට වත්කම් බැරකම් ලබාදීමට කලින් නීතියක් තිබුණේ නැහැ. ප්‍රායෝගිකව සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් බැරකම් කැඳවන්න බැහැ. විශේෂයෙන්ම විධායක මට්ටමේ නොවන ඊට පහළ නිලධාරීන් අල්ලසට නැඹුරුවක් ඇතිවෙන අනතුරුදායක තනතුරු හොබවන අය සිටින බොහෝ රාජ්‍ය ආයතන තිබෙනවා. මේ නිසාම අවදානම් සහගත තනතුරු හොබවන නිලධාරීනුත් වත්කම් බැරකම් ලබාදිය යුතුයි කියලා අපි අලුත් නීතියට ඇතුළත් කළා. රේගු දෙපාර්තමේන්තුව හා මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. මෙවැනි තනතුරු මොනවද කියලා අල්ලස් කොමිසමේ අය තීරණය කළාම අමාත්‍යවරයාට පුළුවන් ගැසට් පත්‍රයක් මගින් එය ප්‍රකාශයට පත්කරන්න. විධායක මට්ටමේ නොවුණත් එම නිලධාරිනුත් වත්කම් බැරකම් ලබාදෙන්න බැඳෙනවා.

? ඒ ආකාරයට ගැසට් පත්‍රයක් තවම ප්‍රකාශයට පත්කර නැහැ නේද?

තවම නැහැ. කාලයාගේ ඇවෑමෙන් ඒදේවල් සිදුවිය යුතුයි.

? වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු ක්‍රමවේදය කුමක්ද?

අපි 2004 දී එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය අත්සන් කළ විට ඔවුන් පුනපුනා කිව්වේ ලංකාවේ වත්කම් බැරකම් නීතියේ තිබෙන හිදැස් හදාගන්න කියලා. නමුත් 1994 සිට එම නීතියට කිසිදු සංශෝධනක් ගෙනත් තිබුණේ නැහැ.  එ් නිසා තමයි 2008 වසෙර්දී අපි අලුත් නීතියක් හදන්න පටන්ගත්තේ.

මීට පෙර පැවති ක්‍රමය වුණේ තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අතින් ලියලා තමන්ගේ ආයතන ප්‍රධානියාට භාරදෙන යල්පැනගිය ක්‍රමයක්. මේ නිසාම ඇතැම් විට රාජ්‍ය නිලධාරීන් මේ කටයුත්තට කම්මැලිවෙලා තිබුණා. 

ඒවගේම ආයතන ප්‍රධානියාට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් විට එය රෙජිස්ටර් කළ යුතුයි හෝ ලේඛනයක් පවත්වාගෙන යායුතුයි, රිසිට්පතක් ලබාදිය යුතුයි කියා කිසිවක් නීතියේ තිබුණේ නෑ.  මේ නිසා බොහෝ වත්කම් බැරකම් නඩු අසාර්ථකවෙලා තිබුණා. 

මේ සියල්ල අවබෝධ කරගෙන අල්ලස් කොමිෂන් සභාව විසින් වත්කම් බැරකම් ලබාදෙන්න එකම ස්ථානයකුත් එය ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් මගින් ලබාදීමේ ක්‍රමයකුත් හඳුන්වා දුන්නා. ඒ අනුව අල්ලස් කොමිෂන් සභාවේ වෙනම අංශයක් ඇති කර තිබෙනවා, සියලු දෙනාගේ  වත්කම් බැරකම් ලබාදීම සඳහා. මේ සඳහා අවශ්‍ය මෘදුකාංග අල්ලස් කොමිසම විසින් නිර්මාණය කරගත යුතු වෙනවා.

දැන් ආයතන ප්‍රධානියාට භාරදිය යුතු නැහැ. හැබැයි යම් ආයතනයක නිලධාරියෙක් වත්කම් ප්‍රකාශ ලබාදෙන විට අදාළ නිලධාරියාට වත්කම් ප්‍රකාශ ලබාදී ඇති බවට දැනුම්දීමක් අල්ලස් කොමිසමෙන් ආයතන ප්‍රධානියාට යොමුකරනවා. ඒ අනුව තමන්ගේ ආයතනයේ සිටින වත්කම් ප්‍රකාශ ලබාදී නොමැති පුද්ගලයන් කවුද කියලා එම ආයතන ප්‍රධානීන් සොයාබැලිය යුතුයි. එ් අයගේ ලේඛනයක් අල්ලස් කොමිසමට ආයතන ප්‍රධානියා යොමුකළ යුතුයි.

වත්කම් බැරකම් තුළ තමන්ගේ ආදායම් වියදම් වගේම තිබෙන වෙනත් බැඳීම් මොනවාද කියලත් අනාවරණය කළ යුතුව තිබෙනවා. මීට පෙර වත්කම් බැරකම් නීතියෙන් ආවරණය නොවුණ බොහෝ දේවල් නව නීතිය යටතේ ආවරණය කරලා තියෙනවා

? සම්පූර්ණ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරනවාද?

මීට පෙර නීතියට අනුව වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් විට එය කාටවත්  නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් අල්ලස් කොමිසමට තිබෙන ප්‍රධාන අභියෝගයක් තමයි වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් විට අදාළ පුද්ගලයා සියලුම වත්කම් ප්‍රකාශ අනාවරණය කරලා තියෙනවද කියලා පරීක්ෂා කිරීම. 

ඒ වෙනුවෙන් කරන එක් ක්‍රමවේදයක් ලෙස පරීක්ෂා කළ යුතු ආයතනවලට ඔන්ලයින් සම්බන්ධවෙලා පරීක්ෂාකිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. 

ඒ වගේම වත්කම් බැරකම් ප්‍රකාශ මහජනතාවට විවෘත කරන්න අපි මේ හරහා නීති සකස් කළා. නමුත් එලෙස කළ විට යම් අනතුරක් තිබෙනවා. ඔවුන්ට අනතුරු, කරදර වෙන්න පුළුවන්. මේවත් අවධානයට ලක්කරමින් වත්කම් බැරකම් ප්‍රසිද්ධකිරීම සම්බන්ධයෙන් තුලනයක් සිදුකළා. 

ඒ අනුව වත්කම් බැරකම් ලබාදුන් පසුව අල්ලස් කොමිසම විසින් සංස්කරණය කළ විස්තරයක් ප්‍රසිද්ධියට පත්කරනවා.  හැඳුනුම්පත් අංක, ගමන්බලපත්‍ර අංක ආදිය ලබාදෙන්නේ නැහැ. නමුත් ඔහුට තිබෙන වත්කම් විස්තර පමණක් ලබාදෙනවා. ඇත්තටම එය වත්කම්වල වටිනාකම නොවෙයි, විස්තරය පමණයි. වැදගත් වෙන්නේ වටිනාකම නෙවෙයි, අදාළ විස්තරය. වටිනාකම දැක්වූ විට මහජනතාව ඉතාම ආකර්ෂණය වෙනවා, හැඟීම්බර වෙනවා. එම වටිනාකමට ඔහුට ආදායමක් තිබුණද නැද්ද කියලා හොයන එක අල්ලස් කොමිසමේ වැඩක්. වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරන්නේ මහජනතාව කුලප්පු කරන්න නෙවෙයි. එම වත්කම් බැරකම් ප්‍රකාශය නිරීක්ෂණය කරලා  අදාළ පුද්ගලයා හංගපු දේපළක් තියෙනවා නම් කරුණාකරලා අල්ලස් කොමිසමට කියන්න කියන පණිවුඩය තමයි එමගින් ලබාදෙන්නේ. අල්ලස් කොමිෂන් සභාවට ඕනෑම කෙනෙකුට පැමිණිලි කිරීමේ අවස්ථාව තිබෙනවා. හැබැයි බොරු පැමිණිලි කරන්න බැහැ. කරන පැමිණිල්ල සත්‍ය එකක් විය යුතුයි.

? වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන්නොත් හෝ වැරදි තොරතුරු සහිතව ලබාදුන්නොත් මොකද වෙන්නේ?

වැදගත්ම දේ තමයි අල්ලස් කොමිෂන් සභාවට සත්‍ය තොරතුරු දුන්නේ නැතිනම්, තොරතුරු නොදී හිටිය නම්, අසම්පූර්ණ තොරතුරු දීලා තියෙනවා නම් එවැනි ක්‍රියාවනුත් මේ පනත යටතේ වරදක් විදිහට හඳුනාගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් සිරදඬුවම් නියම කර තියෙනවා.

වත්කම් බැරකම් ලබාදීමට නියමවී සිටින සියලු දෙනාම පෙර වසරේ අප්‍රේල් 01 සිට මේ වසරේ මාර්තු 31 දක්වා වසරක කාලයට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශය ලබාදිය යුතු වෙනවා. ජුනි මස 30 දාට ප්‍රථම එය ලබාදිය යුතුයි.  ජුනි 30 වන විට ලබාදී නොමැති නම් ඔවුන්ට තව මාසයක කාලයක් ලබාදෙනවා වගේම ඔවුන්ගේ මාසික වැටුපට සරිලන අධිභාරයක් නියම කරනවා. දෙවැනි මාසයේත් දුන්නේ නැතිනම් මාසික වැටුප මෙන් හය ගුණයකට සමාන අධිභාරයක් පනවනවා. එහෙම නොකළොත් විමර්ශනයක් ආරම්භකරනවා. ඒ වගේම මිලියන දෙකකට වඩා සිදුවෙන සියලුම ගනුදෙනු පිළිබඳ අදාළ පුද්ගලයන්ට යාවත්කාලීන කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයෙන් ඉවත්වෙලා වසර දෙකක් යන තුරු වත්කම් බැරකම් ලබාදීම සිදුකළ යුතුයි. 

? මෙම ප්‍රකාශ ලබාදීමට අදාළ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය තවමත් ආරම්භකරලා නැහැ නේද?

ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය ඉක්මණින් සකස් කරගන්න අවශ්‍යයි. ඒ සඳහා අල්ලස් කොමිසම ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමද අවශ්‍යයි. මෙවැනි කටයුතු ඉක්මන් කරන්න ආණ්ඩුවේ දේශපාලන අභිලාෂය වැදගත්වෙනවා. ඔවුන් වේදිකාවේ හඬනගන තරමටම ඒ අභිලාෂය පෙන්නුම් කළ යුතුයි. අල්ලස් කොමිෂන් සභාවට උදව් කළ යුතුයි. එය සකස් වන තුරු ලිඛිතව වත්කම් බැරකම් ප්‍රකාශ යොමුකිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

? ඔබ දකින ආකාරයට නව දුෂණ පනත ක්‍රියාත්මක වීමෙන් පසුව මේ වනවිට අල්ලස් කොමිෂන් සභාවට තිබෙන අභියෝග මොනවාද?

මේ පනත ගෙන ඒමේ අභිලාෂය අල්ලස් කොමිෂන් සභාව ස්වාධීන කිරීම. එයින් අදහස් වෙන්නේ දේශපාලන බලපෑම් සිදුකිරීම පමණක් නොවෙයි. පත්කිරීම් සියල්ල සිදුකරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවල කොමසාරිස්වරුන්. අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීමට අදාළ සුදුසුකම් නුසුදුසුකම් පෙන්වාදී තිබෙනවා.  ඒ වගේම අල්ලස් කොමිෂන් සභාවට මූල්‍යමය පහසුකම් ලබාගැනීමේ ප්‍රශ්නයක් තිබෙනවා. දැන් පෙනෙන්නට තිබෙන ආකාරයට අල්ලස් කොමිසමේ පරමාර්ථ අභිමතාර්ථ ඉෂ්ට කරන්නට මහභාණ්ඩාගාරයෙන් ඉඩදෙන්නේ නැති තත්ත්වයක් තිබෙනවා. ඔවුන්ට කෙනෙහිලි කරනවා. ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවත් මේකට වහාම මැදිහත් විය යුතු වෙනවා. පනතක් සම්මත කළ පමණින් එය ක්‍රියාත්මක කරන්න බැහැ. එයට විශේෂඥයන් බඳවාගත යුතුයි. වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම සියලු දෙනාට උත්තේජනයක් වුණා. 

නමුත් මේ සම්බන්ධයෙන් විමර්ශන කරන්නට දක්ෂ විමර්ශකයන් බඳවාගෙන නැත්නම්, එයට පහසුකම් සපයන්නේ නැතිනම් එය සිදුකරන්න බැහැ. දැනටමත් මෙය ප්‍රමාදවෙලා තිබෙන්නේ.  ඒ වගේම පනතට අදාළ රෙගුලාසි සහ රීති සැදිය යුතුව තිබෙනවා.  මෙම කටයුතු මේ වනවිට සිදුවිය යුතුව තිබුණා.  රජය අල්ලස් කොමිසමට කකුල් මාට්ටු දානවා කියලා මම තවම කියන්නේ නැහැ. නමුත් අල්ලස් කොමිසමේ ක්‍රියාකාරිත්වයට සහයෝගය දෙනවා වෙනුවට ඔවුන්ගේ නිහඬ බව තුළ යමෙකුට හැඟෙන්න පුළුවන් කකුල් මාට්ටු දානවා කියලා. අල්ලස, දූෂණය තුරන්කරන්න වේදිකාවේ හඬ නැගීම වගේම ප්‍රායෝගිකව භාවිතයේ යෙදීමත් වැදගත්වෙනවා. අල්ලස් කොමිසමේ ආරක්ෂාවට මහජනතාවගේ සහයෝගයත් අවශ්‍යයි. කොමිෂන් සභාවේ ප්‍රගතිය මාධ්‍ය මගින් ජනතාවට කියන්නත් හැකියාව තිබෙනවා.

? අල්ලස් දූෂණ වරද සම්බන්ධයෙන් මෙන්ම වත්කම් බැරකම් සම්බන්ධයෙන් මහජතාවට ලබාදෙන පණිඩුඩය කුමක්ද?

ජනතාව හැඟීම් බරවෙන්න එපා. අල්ලස් හෝ දූෂණ පනතේ ආදීනව හොයලා බලන්න. ඒ වගේම මේ පනතේ අල්ලස දූෂණය නිවාරණයට ලොකු ඉඩකඩක් වෙන් කරලා තියෙනවා. සෑම රාජ්‍ය ආයතනයකම දූෂණ විරෝධී ක්‍රම අනුගමනය කරනවද කියලා හොයලා බලන්න.  එවැනි කටයුතු වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් හඬක් නැගිය යුතුයි. මහජතාව ඒ වෙනුවෙන් වැඩි වැඩියෙන් උනන්දු විය යුතුයි කියලා මම හිතනවා. ඒ වගේම මහජනතාව අවදියෙන් ඉඳලා සැබෑ තොරතුරු අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න. දරුවන්ගේ හරයන් වැඩිකිරීමට උනන්දු වන්න. පන්තිභාර ගුරුතුමියට, විදුහල්පතිවරුන්ට අල්ලස් දෙන්න දරුවන් හුරුකරවන්න එපා. අල්ලසින් දූෂණයෙන් තොර පාසලක් හදන්න ගුරුවරුන් විදුහල්පතිවරුනුත් කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ වගේම අල්ලස් ගන්න රාජ්‍ය ආයතනවලට එරෙහිව ප්‍රතිචාර දක්වන්න. හාල්මැස්සන් වගේම තෝරු මෝරු අල්ලන්නත් ඔබේ තොරතුරු අවශ්‍යයි. ඒ නිසා සත්‍ය තොරතුරු අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන්න.

 

චාමර සම්පත් විදානගේ