මෙය “ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම: ණය සහ යහපත් පාලනය” යන මැයෙන් 2025 ජූනි 16 දින දී පැවති සමුළුව පාදක කරගෙන පළකරනු ලබන ලිපි පහකින් සමන්විත ලිපි මාලාවක තෙවැන්නයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව දැනට ක්‍රියාත්මක කෙරෙන විස්තීර්ණ ණය පහසුකම හා සම්බන්ධ ප්‍රතිසංස්කරණ වැඩ සටහනේ පළමු අර්ධයේ අවසන් වීම සනිටුහන් කරමින් - මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකාබද්ධව 2025 වසරේ ජූනි මස කොළඹ දී සමුළුවක් පවත්වන ලදී. එම සමුළුවේ දී ණය තිරසාර භාවය යළි ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව මග පාදා ගත් ආකාරය සම්බන්ධයෙන් පැවති විද්වත් මණ්ඩල සාකච්ඡා සැසිය ඇසුරෙන් මෙම ලිපිය සැකසී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවෙහි අංශ ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්, පැරිස් සමාජ ලේකම් කාර්යාලයේ සම සභාපති විලියම් රූස්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ආර්ථික උපදේශක දේශාල් ද මැල්, සිටි බැංකුවේ නැගී එන වෙළෙඳපොළ පිළිබඳ ප්‍රධානී ජොහානා චුවා සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනයෙහි ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධ හවුල්කරු ලෙස කටයුතු කරන ඩෙබොරා සැන්ඩ්ස්ට්රා මෙම විද්වත් මණ්ඩල සාකච්ඡා සැසිය සඳහා සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙහි අවශ්‍යතාව
2022 වසරේ දී ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ඉතිහාසයේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය සනිටුහන් විය. දිගුකාලීන රාජ්‍ය මූල්‍ය අසමතුලිතතා, අඛණ්ඩ අයවැය හිඟයන්, ප්‍රතිපත්තිමය වශයෙන් ගත් වැරදි තීරණ මෙන්ම ප්‍රමාද වූ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, මෙම සාර්ව ආර්ථික බිඳවැටීමට ප්‍රධාන වශයෙන් හේතු විය. 2022 වසරට පෙර මතු වෙමින් තිබූ මෙම අර්බුදකාරී තත්ත්වය ගැඹුරු ව්‍යුහාත්මක ගැටලුවක් ලෙස නොව තාවකාලික ද්‍රවශීලතා ගැටලුවක් ලෙස බලධාරීන් විසින් සුළු කොට හඳුනා ගත් බව පෙනී යයි. ඒ හේතුවෙන්, කොවිඩ් වසංගත තත්ත්වය තුරන් වූ පසු සංචාරක ව්‍යාපාරය සහ ප්‍රේෂණ ලැබීම් යථා තත්ත්වයට පත් වීමෙන් විදේශීය අංශය නැවතත් ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කරමින් ද්විපාර්ශ්වික ණය සහ මුදල් හුවමාරු ඇතුළු කෙටි කාලීන මූල්‍යකරණ විකල්ප හරහා මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයෝ උත්සාහ දැරූහ. කෙසේ වුවත් 2022 වසරේ දී උග්‍ර වූ අර්බුදකාරී තත්ත්වයට මුහුණ දීම සඳහා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතූ අතර, එම සහාය ලබාගැනීම සඳහා රජය මගින් සැලකිය යුතු ප්‍රතිසංස්කරණ සිදුකිරීමට මෙන්ම රාජ්‍ය ණය දරාගත හැකි මට්ටමේ තිරසාර මාවතකට යොමු කිරීම අරමුණු කරගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මකට යොමු වන බවට කැපවීමක් අවශ්‍ය විය. මේ වන විටත් රජය විසින් අන්තර් කාලීන පියවරක් ලෙස, තෝරා ගන්නා ලද ද්විපාර්ශ්වික සහ වාණිජ ණය ගැනීම් සඳහා විදේශ ණය සේවාකරණය තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනය කර තිබුණි. මින් පෙර අවස්ථාවල දී මෙන් නොව, අර්බුදයේ බරපතළකම හේතුවෙන් පුළුල් හා දුෂ්කර ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා සමාජීය පෙලඹවීම නිර්මාණය වී තිබුණි.
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහනෙහි අරමුණු සහ ඉලක්ක
ස්වෛරීත්ව ණය තිරසාර භාවය ඇතිකරගැනීම මෙන්ම විදේශීය අංශයේ ප්‍රමාණවත් ස්වාරක්ෂක ගොඩනැගීම යන ප්‍රධාන අරමුණු ළඟාකරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි. ඒ සඳහා ණය සහන ලබා ගැනීම, සාර්ව ආර්ථික ගැළපුම් ක්‍රියාත්මක කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රියාමාර්ගවල පුළුල් සංකලනයක් අවශ්‍ය විය. ආදායම් පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩ සටහනක් දියත් කළ ද, ණය ප්‍රතිව්‍යුහගතකරණ ගැළපුමකින් තොරව ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය තිරසාර මට්ටමකට යොමු කළ නොහැකි විය. ඒ අනුව, ණය පවත්වාගෙන යාමේ හැකියාව, සාර්ව ආර්ථික අස්ථාවරත්වය සහ ණය පිළිබඳ ඓතිහාසික දත්තවල හැසිරීම යනාදිය සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ස්වෛරීත්ව අවදානම් සහ ණය තිරසාර රාමුවට අනුව ශ්‍රී ලංකාවේ තත්ත්වයට නිශ්චිතව ගැළපුම්ගත කෙරුණු ක්‍රමවේදයක් තුළින් දිගුකාලීන ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ණය සහනවල ප්‍රමාණය සහ ස්වරූපය තීරණය කෙරුණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදුකරන ලද ඉහත සඳහන් ණය තිරසාරත්ව විශ්ලේෂණයට අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා පහත ඉලක්ක ළඟා කර ගත යුතුය.
- 2032 වසර වන විට නොපියවූ රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයෙහි (දළ දේශීය නිෂ්පාදනයෙහි) ප්‍රතිශතයක් ලෙස සියයට 95කට වඩා පහළ මට්ටමකට අඩු කිරීම.
- 2027 සිට 2032 වසර දක්වා කාලය තුළ දී මධ්‍යම රජයේ දළ මූල්‍යන අවශ්‍යතාවයේ සාමාන්‍යය දළ දේශීය නිෂ්පාදනයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 13කට වඩා අඩු අගයක පවත්වා ගැනීම.
- මධ්‍යම රජයේ විදේශ මුදලින් නාමනය කරන ලද ණය සේවාකරණ ගෙවීම් 2027 සිට 2032 වසර දක්වා යන කාලයේ දී ඕනෑම වසරක් තුළ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 4.5කට වඩා අඩුවෙන් පවත්වා ගැනීම.
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන පවතින කාල සීමාව තුළ ගෙවුම් ශේෂයේ මූල්‍ය පරතරයන් තබා නොගැනීම.
පෞද්ගලික බැඳුම්කර ණය හිමියන් සමග සාකච්ඡාවලදී සාර්ව ආර්ථික පුරෝකථන සඳහා සලකා බලන ලද උපකල්පනවලට බැඳුම්කර හිමියන් එකඟ නොවූ අතර, ඒ හේතුවෙන් ආර්ථික කාර්ය සාධනය අනුව ආපසු ගෙවන ණය ප්‍රමාණය වෙනස් වන ආකාරයේ ණය උපකරණයක් ඉදිරිපත් කිරීමට යෝජනා විය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් විය. විදේශීය වශයෙන් ද්වි පාර්ශ්වික, බහු පාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන් මෙන්ම දේශීය ණය හිමියන් ඇතුළු විවිධ පාර්ශ්ව සමග සම්බන්ධීකරණය අභියෝගාත්මක විය. එපමණක් නොව, මෙම ක්‍රියාවලිය තුළින් සාර්ව ආර්ථික ස්ථායීතාව ළඟා කර ගන්නා අතර සමාජයීය හා මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම ද රජයේ වගකීමක් ලෙස සැලකිණි. ඒ අනුව, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට බලධාරීන් ගේ ප්‍රවේශය ප්‍රධාන උපාය මාර්ගික අරමුණු තුනක් සහිතව සිදු විය. එනම්, ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සහ ආයෝජකයින් ගේ විශ්වාසය ගොඩනැගීම සඳහා මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීම, ණය හිමියන් සහ රජය අතර පවතින ණය ගිවිසුම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කරන ලද ණය තිරසාරත්ව විශ්ලේෂණයෙහි පරාමිතීන් සමග ගැළපුම්ගත කිරීම සහ සියලුම ණයහිමි කණ්ඩායම් වෙතින් බලාපොරොත්තු වන ණය සහන සංසන්දනාත්මකව එකිනෙකාට අවාසි සහගත නොවන මට්ටම්වල පවත්වා ගැනීම තහවුරු කිරීම යනාදී වශයෙනි.
විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය
ආරම්භයේ සිටම විශේෂඥයන්ගේ උපදෙස් ලබාගැනීමේ අවශ්‍යතාව හඳුනාගත් බලධාරීන් විසින් මෙම ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා ජාත්‍යන්තර නීති සහ මූල්‍ය උපදේශකයන් පත්කර ගන්නා ලදී. සියලුම ණය හිමියන් නිසි ලෙස හඳුනාගැනුණු අතර මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් කටයුතු කරන බවටත් ණය හිමියන් අතර ණය ප්‍රතිව්‍යුහගතකරණයේ බර සාධාරණව බෙදී යෑම පිළිබඳව සහතික වන බවටත්, ණයහිමියන් වෙත විවෘත සන්නිවේදනයක් සිදු කෙරුණි. ඉතිහාසය දෙස බැලුව ද, ද්විපාර්ශ්වික ණය හිමියන් අතර සම්බන්ධීකරණය ගැටලු සහගත වූ අතර, 1956 වසරේ දී පැරිස් සමාජය ඇති කර ගැනීමට මෙම ගැටලු ප්‍රධාන හේතුවක් විය. 2022 වසර වනවිට, කොවිඩ් 19 වසංගතය හමුවේ අඩු ආදායම්ලාභී රටවල වැඩි වූ ණය අවදානම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා කණ්ඩායම සහ පැරිස් සමාජය විසින් ණය සම්බන්ධ පොදු රාමුව’ ස්ථාපිත කර තිබිණි. කෙසේ වෙතත්, මැදි ආදායම්ලාභී රටක් ලෙස පොදු රාමුව’ යොදාගැනීම සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් නොලැබුවේය. ඒ වෙනුවට ශ්‍රී ලංකාවට තමන්ගේ ම මාවතක් සකසා ගැනීමට සිදු විය. ඒ අනුව ක්‍රියාකාරී රාජ්‍යතාන්ත්‍රික සහ ආයතනික සම්බන්ධතා තුළින් - ප්‍රංශය, ජපානය සහ ඉන්දියාව සම-සභාපතිත්වයෙන් යුත් නිල ණය හිමියන් ගේ කමිටුව පිහිටුවා ගන්නා ලදී. චීනය මෙම කණ්ඩායම සමග නිල වශයෙන් එක් නොවූව ද ඔවුන් හා සම්බන්ධ වී කටයුතු කළේය.
මේ අතර ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් නියෝජනය වෙනුවෙන් විදේශීය ණය හිමියන් සහ දේශීය බැංකු නියෝජනය කරන එකිනෙකට වෙනස් ණය හිමි කමිටු දෙකක් එම ණය හිමියන් විසින්ම පිහිටුවා ගැනීම හේතුවෙන් පෞද්ගලික ණය හිමියන් සමග කටයුතු කිරීම සාපේක්ෂව පහසු විය. මෙම කණ්ඩායම් හොඳින් සංවිධානය වී පැවති අතර ඔවුන්ගේ ඉලක්කය වූයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ඔවුන්ට දරාගැනීමට සිදුවන අලාභය අවම මට්ටමක පවත්වා ගැනීමය. ඒ අතර රාජ්‍ය මූල්‍ය අංශයේ අතවශ්‍ය ගැළපුම් සිදු කිරීම මෙන්ම, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන්ගේ පාඩු අවම කිරීම සඳහා විශ්වසනීය ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් ක්‍රියාත්මකකිරීම සම්බන්ධයෙන් ද ඔවුන්ගේ අවධානය යොමු වී තිබිණි. එලෙසම රාජ්‍ය මූල්‍ය අංශයේ ධනාත්මක ප්‍රාථමික ශේෂයක් ළඟාකරගැනීම ඇතුළු අභියෝගාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව ඔවුන්ට සැකයක් පැවතුණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව කෙටි කාලයක් තුළ පෙන්නුම් කළ සුවිශේෂී ප්‍රගතිය ණය හිමියන්ගේ විශ්වාසය ගොඩනැගීමට උපකාරී විය.
පෞද්ගලික බැඳුම්කර ණය හිමියන් සමග සාකච්ඡාවලදී සාර්ව ආර්ථික පුරෝකථන සඳහා සලකා බලන ලද උපකල්පනවලට බැඳුම්කර හිමියන් එකඟ නොවූ අතර, ඒ හේතුවෙන් ආර්ථික කාර්ය සාධනය අනුව ආපසු ගෙවන ණය ප්‍රමාණය වෙනස් වන ආකාරයේ ණය උපකරණයක් ඉදිරිපත් කිරීමට යෝජනා විය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේ සැලකිය යුතු නවෝත්පාදනයක් වූයේ මෙම ආර්ථික කාර්ය සාධනය හා සම්බන්ධ බැඳුම්කර හඳුන්වා දීමයි. සාම්ප්‍රදායිකව මෙවැනි බැඳුම්කර සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් වැඩි පිළිගැනීමක් නොතිබිණි. නමුත් ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ මෙම නව බැඳුම්කර සාර්ව ආර්ථික තත්ත්වය අපේක්ෂිත වර්ධන මාවතට වඩා යහපත්ව හෝ අයහපත්ව වර්ධනය වනවිට ලැබෙන ණය සහනය වෙනස් වන ආකාරයේ උපකරණයකි. විශේෂයෙන්ම, දළ දේශීය නිෂ්පාදනයෙහි වර්ධනය සහ විනිමය අනුපාතික උපකල්පන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන ලද පුරෝකථන පිළිබඳව බැඳුම්කර හිමියන්ට පැවති ගැටලුකාරී තත්ත්වයට මෙම උපකරණය විසඳුමක් ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවට තමන්ගේම මාවතක් සකසා ගැනීමට සිදු විය. ඒ අනුව ක්‍රියාකාරී රාජ්‍යතාන්ත්‍රික සහ ආයතනික සම්බන්ධතා තුළින් - ප්‍රංශය, ජපානය සහ ඉන්දියාව සම-සභාපතිත්වයෙන් යුත් නිල ණය හිමියන්ගේ කමිටුව පිහිටුවා ගන්නා ලදී. චීනය මෙම කණ්ඩායම සමග නිල වශයෙන් එක් නොවූව ද ඔවුන් හා සම්බන්ධ වී කටයුතු කළේය.
එමෙන්ම ණයහිමියන් වෙතින් බලාපොරොත්තු වන ණය සහනය සංසන්දනාත්මකව එකිනෙකට අවාසි සහගත නොවන මට්ටමක පවත්වා ගැනීමේ අවශ්‍යතාව පොදුවේ පිළිගනු ලැබුවද, රහස්‍යතා වගන්ති වැනි ප්‍රායෝගික සීමා හේතුවෙන් ණය හිමියන් අතර තොරතුරු හුවමාරුව අභියෝගාත්මක විය. නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීනය මෙම ක්‍රියාවලිය තුළ වැඩ පත්‍රිකා හුවමාරු කරගත් අතර ණය සහන ලබාදීම සම්බන්ධයෙන් චීනය විසින් යෝජිත කොන්දේසි නිල ණය හිමියන් විසින් යෝජිත කොන්දේසිවලට බොහෝ දුරට අනුරූප විය. වඩාත් විවාදාත්මක කාරණය වූයේ මෙම ක්‍රියාවලිය සිදුවන අනුපිළිවෙළ හඳුනා ගැනීමය. සාමාන්‍යයෙන් පෞද්ගලික ණය හිමියන් සමග ගිවිසුම්වලට පෙර නිල ණය හිමියන් සමග ගිවිසුම් ඇති කර ගනී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණයෙන් විශාල කොටසක් බැඳුම්කර හිමියන් සතුව තිබූ බැවින්, ඔවුන් මෙම ක්‍රියාමාර්ගය අතරතුර සමාන්තර මැදිහත්වීමක අවශ්‍යතාව පෙන්වා දුන්නේය. අවසානයේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කොන්දේසි සහ ණය සහනයෙහි බර ණය හිමියන් අතර සංසන්දනාත්මකව අවාසි නොවන මට්ටමක පවත්වා ගැනීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව නිල ණය හිමියන් සහ පෞද්ගලික ණය හිමියන් සමග සමාන්තර සාකච්ඡා පැවැත්වූයේය.
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩ සටහනෙහි අවශ්‍යතාව
විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා යම් සහන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වුවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි තිරසාර ණය විශ්ලේෂණයෙහි සඳහන් ඉලක්ක සම්පූර්ණයෙන්ම සපුරාලීමට එය ප්‍රමාණවත් නොවීය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණයෙන් අඩකට වඩා දේශීය වශයෙන් ලබාගත් ණයවලින් සමන්විත වන බැවින්, දළ මූල්‍යන අවශ්‍යතා ඉලක්ක සපුරාගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වපසරියට දේශීය ණය ඇතුළත් කිරීමට බලධාරීන්ට සිදුවිය. දේශීය බැංකු අංශය ඒ වන විටත් රජයේ සුරැකුම්පත්වලට දැඩි ලෙස නිරාවරණය වී තිබූ අතර, ප්‍රතිව්‍යුහගත කිරීමේ බලපෑම අවශෝෂණය කරගැනීමට ප්‍රමාණවත් ප්‍රාග්ධන ස්වාරක්ෂක බැංකු සතුව තිබෙනවා ද යන්න පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් පැවතිණි. ඊට අමතරව දේශීය ණයෙන් සැලකිය යුතු කොටසක් විශ්‍රාම වැටුප් අරමුදල්, විශේෂයෙන් සේවක අර්ථ සාධක අරමුදල විසින් දරනු ලැබූ අතර, ඕනෑම ණය කප්පාදුවක් පුද්ගලික විශ්‍රාමික ඉතුරුම් වලට අහිතකර ලෙස බලපාන හෙයින්, මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට පමණක් නොව සමාජ ස්ථාවරත්වයට ද යම් බලපෑමක් ඇති විය හැකි බවට පෙනී ගියේය. එබැවින්, දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන මගින් දේශීය බැංකු වෙත ඇතිවන බලපෑම අවම කෙරුණු අතර විශ්‍රාම වැටුප් ඇතුළු අනෙකුත් දේශීය ණය හිමියන් සම්බන්ධයෙන් කටයුතුකිරීමේ දී ණය කප්පාදුවක් වෙනුවට කල්පිරීම දීර්ඝ කිරීම් සහ පොලී අනුපාතික වෙනස්කිරීම් හරහා සහනයක් ලබාගැනීමට කටයුතු කෙරුණි.
දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය අතරතුර බහුලව කතාබහට ලක් වූ මතයක් වූයේ මෙම ක්‍රියාවලිය හරහා සේවක අර්ථසාධක අරමුදල මත යම් බරක් පැටවෙන බව පෙනෙන්නට තිබෙන බවත් සහ එය මහජනතාවගේ විශ්‍රාම ප්‍රතිලාභවලට බලපෑම් කළ හැකි බවත්ය. විදේශීය ණය හිමියන්ට ලබා දුන් ආර්ථික කාර්ය සාධනය හා බැඳී ඇති බැඳුම්කරවලට සමාන උපකරණයක් විශ්‍රාම වැටුප් අරමුදල්වලට ද හඳුන්වා දීමෙන් හෝ වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙන් එම බලපෑම අඩු කර ගන්නට තිබූ බවට මතවාද ඉදිරිපත් විය.
නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීනය මෙම ක්‍රියාවලිය තුළ වැඩ පත්‍රිකා හුවමාරු කරගත් අතර ණය සහන ලබා දීම සම්බන්ධයෙන් චීනය විසින් යෝජිත කොන්දේසි නිල ණය හිමියන් විසින් යෝජිත කොන්දේසිවලට බොහෝ දුරට අනුරූප විය. වඩාත් විවාදාත්මක කාරණය වූයේ මෙම ක්‍රියාවලිය සිදුවන අනුපිළිවෙළ හඳුනා ගැනීමය.
කෙසේ වෙතත්, එවැනි උපකරණ සාමාන්‍යයෙන් අපේක්ෂිත මට්ටමට වඩා ශක්තිමත් සහ දුර්වල සාර්ව ආර්ථික කාර්ය සාධන යටතේ දී මූලික පුරෝකථනවල දී අපේක්ෂා කරන ප්‍රතිලාභවලට වඩා පිළිවෙළින් වැඩි සහ අඩු ප්‍රතිලාභ ණය හිමියන් වෙත ලබා දිය හැකිය. ඒ අනුව, යම් හෙයකින් ඉදිරි කාලයේ දී ළඟාකර ගන්නා සාර්ව ආර්ථික කාර්ය සාධනය අපේක්ෂිත මට්ටමට වඩා දුර්වල වුවහොත් ණය හිමියන් වෙත ඇතිවන බලපෑම් වැඩිවීම හරහා විශ්‍රාම වැටුප් අරමුදලට අපේක්ෂිත මට්ටමට වඩා අඩු ප්‍රතිලාභ ලැබීම, සාමාජයීය වශයෙන් ගැටලුකාරී වන බැවින් එවැනි උපකරණයක් ප්‍රායෝගිකව ඉදිරිපත් කිරීමට නොහැකි බව අවධාරණය කෙරුණි.
සාරාංශය
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නවෝත්පාදනය, අනුවර්තනය වීමේ හැකියාව මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකභාවය නිසි ලෙස යොදාගැනීම පිළිබඳ ඉතා හොඳ උදාහරණයක් වේ.
ආයතනික සීමා සහ සංකීර්ණ ණය හිමියන් සමූහයක් සමග කටයුතු කරමින් නව උපකරණ ඉදිරිපත් කිරීම මෙන්ම - ණය කපා හැරීම්, පොලී අනුපාතික වෙනස් කර ගැනීම සහ කල්පිරීම් දීර්ඝ කර ගැනීම වැනි සහන ලබා ගැනීමේ ගැළපුම් කිහිපයක්ම යොදාගනිමින් විවිධ ණය හිමියන් අතර සංසන්දනාත්මක තත්ත්වය ද පවත්වා ගැනීමේ අභියෝගය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. ඒ අනුව ණය අර්බුද සඳහා ස්ථාපිත ගෝලීය රාමුවලට අයත් නොවන ණය අර්බුදයන්ට මුහුණ දෙන අනෙකුත් මැදි ආදායම් ලබන රටවලට ශ්‍රී ලංකාවේ අත්දැකීම් වටිනා ආදර්ශයක් සපයයි.
මෙම ලිපි මාලාවේ මුල් ලිපිය “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන” යන මැයෙන් සහ දෙවන ලිපිය “ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය සහ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්කර ගැනීම” යන මැයෙන් පිළිවෙළින් 2025.07.17 දින සහ 2025.08.03 දින ඉරිදා ලංකාදීප පුවත් පතෙහි පළ විය.