
ලංකාවේ ජාතික මූලික අධ්‍යයන ආයතනයට (NIFS) සම්බන්ධ විද්‍යාඥයන් හතර දෙනෙක් 2025 දී ලොව ඉහළම විද්‍යාඥයන් අතරට එක්ව සම්භාවනාවට ලක්ව තිබෙන බව එම ආයතනය නිවේදනය කර ඇත.
එම විශිෂ්ටයන් හතර දෙනා ලෙස න්‍යායාත්මක භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය කීර්ති තෙන්නකෝන්, ජනවිකාස විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක, පරිණාමය, පරිසර විද්‍යාව සහ ජෛව විවිධත්වය පිළිබඳ මහාචාර්ය සුරේෂ් පී. බෙන්ජමින්, ක්ෂුද්‍ර ජීවී ජෛව තාක්‍ෂණය සහ කෘෂිකර්මය පිළිබඳ මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න යන වියත්හු මෙම පිළිගැනීමට ලක්වූහ. මෙම පිළිගැනීම ලංකාවේ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්‌යේෂණවල ජාත්‍යන්තර බලපෑම අවධාරණය කරන අතර මූලික හා ව්‍යවහාරික විද්‍යාව දියුණු කිරීම සඳහා අපගේ විද්‍යාඥයන්ගේ කැපීපෙනෙන දායකත්වය පිළිබිඹු කරයි.
ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එල්සෙවියර්- විශ්ලේෂණය අනුව ඔවුන් මෙම තෝරා ගැනීමට ලක්ව ඇත්තේ ලොව පුරා ඉහළම විද්‍යාඥයන් 100,000 ක් අතරිනි. ඔවුන් ඉදිරි පත් කළ 2024 පර්‌යේෂණ පත්‍රිකා සලකා බලමින් කෘත්‍රිම බුද්ධිය මගින් ලබාදෙන ලද ලකුණු අනුව මෙම තෝරාගැනීම කර ඇත.
මහාචාර්ය කීර්ති තෙන්නකෝන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජාතික මූලික අධ්‍යයන ආයතන පාලක මණ්ඩල සාමාජිකයෙකි. ඔහු ද්‍රව්‍ය සැකසුම් සහ උපාංග නිෂ්පාදනය පිළිබඳ අනුබද්ධ මහාචාර්යවරයාය. ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ මැටිකොටුමුල්ල ගම්මානයේ උපත ලැබූ කීර්ති තෙන්නකෝන්, වේයන්ගොඩ රජයේ මධ්‍යම විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබීය. ඔහු 1964 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව සහ ගණිතය පිළිබඳ සාමාන්‍ය විද්‍යාවේදී උපාධියක් ලබා ගත්තේය. උපාධිය ලැබීමෙන් පසු ඔහු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර ගුරුවරයෙකු ලෙස සේවය කළ අතර, ඔහුට හවායි විශ්වවිද්‍යාලයේ නැගෙනහිර-බටහිර මධ්‍යස්ථානයෙන් ශිෂ්‍යත්වයක් පිරිනමන ලදී. එහිදී ඔහු 1972 දී න්‍යායාත්මක භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත්තේය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකාවේ රුහුණ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු විය. ඔහු 1988 දී මූලික අධ්‍යයන ආයතනයේ ස්වාභාවික විද්‍යාව පිළිබඳ සුමනසේකර දායාද කළ පුටුවට පත් කරන ලද අතර දශකයකට වැඩි කාලයක් එහි අධ්‍යක්ෂවරයා ලෙසද සේවය කළේය. ඔහු ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ ජපානය යන රටවල පර්‌යේෂණ තනතුරු රාශියක් දරා ඇත. වර්තමානයේ ඔහු ජෝර්ජියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ අනුබද්ධ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි. ප්‍රකාශන 300 කට අධික සංඛ්‍යාවක් රචනා කර ඇති ඔහු දක්ෂ ශාස්ත්‍රඥයන්, පර්‌යේෂකයන් සහ විධායක නිලධාරීන් රැසකගේ පශ්චාත් උපාධි පර්‌යේෂණ සඳහා උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.
මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක ඝන ද්‍රව්‍ය භෞතික විද්‍යාව සහ ඝන අවස්ථා රසායනය සම්බන්ධව භෞතික විද්‍යාව අංශයේ ඉහළම උපාධියක් ලබා ඇත. මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක, ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් 1970 දී විද්‍යාවේදී උපාධිය ලබා ගත් අතර, ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියානා හි බ්ලූමින්ටන්හි ඉන්දියානා විශ්ව විද්‍යාලයෙන් පර්‌යේෂණාත්මක ඝන අවස්ථා භෞතික විද්‍යාව පිළිබඳ MS සහ PhD (1977) ලබා ගත්තේය. ඔහු දැනට ශ්‍රී ලංකාවේ මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ඝන ද්‍රව්‍ය භෞතික විද්‍යා අංශයේ පර්‌යේෂණ මහාචාර්යවරයෙකි. 2011 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් මහාචාර්ය දිසානායක වෙත එමරිචස් මහාචාර්ය පදවිය පිරිනමන ලදි.
මහාචාර්ය දිසානායක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස සේවය කළ අතර 2010 සැප්තැම්බර් 30 වන දින විශ්‍රාම ගියේය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි විද්‍යා ආයතනයේ (PGIS) අධ්‍යක්ෂවරයා ද (2003-2008)විය. ඔහු 1997 සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන අධ්‍යයන මණ්ඩලයේ, පශ්චාත් උපාධි විද්‍යා ආයතනයේ (PGIS) සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. මහාචාර්ය දිසානායක 2003 සිට 2007 දක්වා ආසියානු භෞතික විද්‍යා අධ්‍යාපන ජාලයේ (ASPEN) සභාපති ධුරය හෙබවීය. ඔහු IUPAP ආයතනයට අනුබද්ධිත ජාත්‍යන්තර භෞතික විද්‍යා අධ්‍යාපන කොමිසමේ (ICPE) සහකාර සාමාජිකයෙකි.
මහාචාර්ය දිසානායකට වසර 40 කට වැඩි උපාධි අපේක්ෂක ඉගැන්වීම් පළපුරුද්දක් සහ වසර 20 ක පමණ උපාධි මට්ටමේ ඉගැන්වීමේ පළපුරුද්දක් ඇත. ඔහු වසර ගණනාවක් පුරා ගුරුවරයෙකු සහ විද්‍යාඥයෙකු ලෙස සම්මාන රාශියක් දිනා ඇත: ඔහු 2010 දෙසැම්බර් 16 වන දින ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශිෂ්ටතම පර්යේෂකයා, භෞතික විද්‍යාව, ජ්‍යෙෂ්ඨ පර්යේෂකයා කාණ්ඩය-2010 සඳහා වන CVCD (උපකුලපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව) සම්මානය දිනා ගත්තේය. විද්‍යාව, විද්‍යාත්මක පර්‌යේෂණ සහ විද්‍යා අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි ජාතික සංවර්ධනයට දැක්වූ විද්‍යාත්මක ජයග්‍රහණ සහ දායකත්වය අගයමින් 2005 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිනිය විසින් මහාචාර්ය දිසානායකට ”විද්‍යා නිධි” යන ශ්‍රී ලංකා ජාතික සම්මානය පිරිනමන ලදී.
මහාචාර්ය දිසානායක ශ්‍රී ලංකාවේ ද්විතීයික අධ්‍යාපනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. ඔහු අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා සිංහල භාෂාවෙන් ලියන ලද ඉතා ජනප්‍රිය භෞතික විද්‍යා පෙළපොත් හතක කතුවරයා වේ. මෙම පොත් දැන් උසස් පෙළ පන්තිවල සිසුන් සහ ගුරුවරුන් විසින් බහුලව භාවිත කරනු ලැබේ.
මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න දැනට ජාතික මූලික අධ්‍යයන ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ පර්‌යේෂණ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහු 1984 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගත් අතර 1993 දී ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උද්භිද විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේය. මහාචාර්ය සෙනෙවිරත්නගේ ආචාර්ය උපාධි නිබන්ධනය “ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ තිරසාර සාම්ප්‍රදායික වී ගොවිතැනේ ඵලදායිතාව ප්‍රශස්තකරණය” ලෙස නම් කර ඇත. ඔහු 1999, 2000 සහ 2001 දී ජනාධිපති පර්‌යේෂණ සම්මාන ලබා ගත් අතර 2000 දී මෙම සම්මාන යෝජනා ක්‍රමයේ රටේ පළමුවැන්නා විය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මහාචාර්ය සෙනෙවිරත්න ශ්‍රී ලංකාවේ ඉහළම පර්‌යේෂකයෙකු ලෙස ලැයිස්තුගත කරන ලදී. ශ්‍රී ලංකාවේ ජාතික පර්‌යේෂණ කවුන්සිලයේ (NRC) වාර්තාවකට අනුව, මහාචාර්ය සෙනෙවිරත්න 2002 සහ 2003 දී රටේ දෙවන වඩාත්ම ඵලදායී විද්‍යාඥයා වූ අතර 1991-2006 කාලය සඳහා විද්‍යාඥයන් 1,800 ක් අතරින් පස්වන වඩාත්ම ඵලදායී විද්‍යාඥයා විය. ඉතාලියේ තුන්වන ලෝක විද්‍යා ඇකඩමියේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ඵලදායී විද්‍යාඥයෙකු ලෙස මහාචාර්ය සෙනෙවිරත්න ලැයිස්තුගත කර ඇත. මහාචාර්ය සෙනෙවිරත්නට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ කෙටි කාලීන ආගන්තුක සහයෝගීතා පර්‌යේෂණ සාමාජිකත්වය (2007 අප්‍රේල්-ජුනි) පිරිනමන ලද අතර එම වසරේ මෙම ශිෂ්‍යත්වය ලබා ගත් ආසියානු කලාපයෙන් එකම සාර්ථක අයැදුම්කරු ඔහු විය. ඔහු 2009 ජනවාරි-මැයි දක්වා කැන්බරා හි AusAID විසින් අරමුදල් සපයන ලද ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ බාහිර මහාචාර්යවරයෙකු විය. ලෝකයටම ක්ෂූද්‍රජීවි පටල ජෛව පොහොර ක්‍රමය හඳුන්වාදීමෙන් ඔහු ජාත්‍යන්තර කීර්තියටද පත්ව ඇත.
මහාචාර්ය එස්. පී. බෙන්ජමින් දැනට ජාතික මූලික අධ්‍යයන ආයතනයෙහි සේවය කරයි. ඔහු ඔස්ට්‍රියාවේ ඉන්ස්බෲක් විශ්ව විද්‍යාලයෙන් මැග්. RAR. Nat. (MSc) සහ ස්විට්සර්ලන්තයේ බාසල්හි බාසල් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ජාතික මූලික අධ්‍යයන ආයතනය හා සම්බන්ධ වීමට පෙර ඔහු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (බර්ක්ලි), ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සහ ස්මිත්සෝනියන් ආයතනයේ (දෙකම වොෂින්ටන් ඩීසී හි) පශ්චාත් ආචාර්ය පර්‌යේෂකයෙක් ලෙස සේවය කළේය. මහාචාර්ය බෙන්ජමින් යනු ඇලෙක්සැන්ඩර් වොන් හම්බෝල්ට් පර්‌යේෂණ ආයතනයේ සාමාජිකයෙකි.
මේ විද්‍යාඥයන් සමග තවත් සරසවි කිහිපයක විද්වත්හුද මෙම දුලබ කෘත්‍රිම බුද්ධි තේරීම මගින් විශිෂ්ටයන් අතරට එක්කරගනු ලැබ තිබේ.
සුගත්ප්‍රිය
කුලතුංග ආරච්චි

