ලාල් කාන්තගේ වත්කම් ප්‍රශ්නයක් වුණේ ඇයි


විදුලිබල ඇමැති කුමාර ජයකොඩි තනතුරෙන් ඉවත් නොකරන බවත් ඔහු රැකගන්නා බවත් දිගින් දිගටම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කියා සිටියද ජයකොඩි ඇමැතිවරයා තනතුරෙන් ඉල්ලා අස්විය. විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඉල්ලා අස්වීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙත වුවත් ඉන්පසුව හෝ ඉල්ලා අස්වූයේ සමාජයෙන් මතු වූ දැඩි විරෝධය රජයට දරාගැනීම අපහසු නිසා බවට සැකයක් නැත. අනුර කුමාර දිසානායක චන්ද්‍රිකා කුමාරතුංග රජයේ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ අනුරගේ සමීපතමයකු ලෙස රාජ්‍ය සේවයට පැමිණි ඔහු සැලකුණේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේත් සමීපතම ඇමැතිවරයකු ලෙසය. එහෙත් සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා කුමාර ජයකොඩි පිටතට විසිකර ආණ්ඩුව නමැති නැව ඉදිරියට පැදවීමට රජයට සිදුවිය. මීළඟට ඉවතට විසිවන්නේ කෝටි ගණනාවක වත්කම් එළිදරව් වී ඇති ලාල් කාන්ත ඇමැතිවරයා ද?

අනුරාධපුරයෙන් දේශපාලනය ඇරඹි ලාල් කාන්ත 1988-89 කැරැල්ලටද යම් තරමකට දායක වූ ක්‍රියාධරයෙකි. සිරගෙවල්වලද ටික කාලයක් ගත කළ ඔහුට අන් බොහෝ ජවිපෙ හිතවාදීන්ට උරුම වූ මරණය වෙනුවට ජීවිතය රැකගැනීමේ වාසනාව හිමිවිය. 2004 වනවිට ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රධාන චරිතයක් බවට ලාල් කාන්ත පත්ව සිටියේය. දූෂණ හෝ වංචා චෝදනා කිසිදා එල්ල වී නැති ලාල් කාන්ත පක්ෂය තුළ සිටින ප්‍රගතිශීලී චරිතයකි.

රටේ ජනමතය හැඩගැසෙන ආකාරය අනුව රාජ්‍ය නායකයන් ගන්නා තීන්දුවල ඒකාකාරී රටාවක් තිබේ. තමාගේ සියලුම “තග් සහ මැර” කටයුතු නොපිරිහෙළා ඉටුකළ කර්මාන්ත ඇමැති සිරිල් මැතිව් තනතුරෙන් ඉවත් කරන්නට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පියවර ගත්තේ මැතිව්ගේ දේශප්‍රේමී මතිමතාන්තර සමඟ ආණ්ඩුවේ තග් හමුදාවේ නායකයාද මැතිව්ම බව රට තුළ මතවාදයක් පැතිර යද්දීය. තමාගේ සමීපතමයකු වූ එජාප සභාපති එන්.ජී.පී. පණ්ඩිතරත්න සියලු තනතුරුවලින් ඉවත් කිරීමට ජේ.ආර්. පියවර ගත්තේ මාදුරුඔය සිංහල ජනවාස ඇති කරන්නට පණ්ඩිතරත්න තමාගේ කනෙන් රිංගා කටයුතු කර ඇති බව හෙළිවීමෙන් පසුවය. දමිළ නායකයන්ගේ විරෝධය රජයට එරෙහිව මතුවෙද්දී ජේ.ආර්. තම සගයා වූ පණ්ඩිතරත්න බිල්ලට දුන්නේය.

ජාතික ජනබලවේග ආණ්ඩුවද ආරම්භයේදීම වැඩ ආරම්භ කළේ තමාට නොතිබූ අධ්‍යාපන සුදුසුකමක් පිළිබඳ ආන්දෝලනයකට තුඩු දුන් අශෝක රන්වල කතානායක තනතුරෙන් ඉවත් කිරීමෙනි. ගල් අඟුරු නැවක් පිළිබඳ කුඩා සිදුවීමකින් ආරම්භ වූ බලශක්ති ඇමැති කුමාර ජයකොඩිට එරෙහි සමාජ විරෝධය අවසන් වූයේ ඔහුට එම තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවීමෙනි. ඒ අනුව ගත්විට මැතිවරණ සමයේ තමාට දේපොළ වත්කම් නැති බවත් තමා පිටස්තර ප්‍රදේශයක දේශපාලන රැස්වීමකට ගිය විට මිතුරන් විසින් ලබා දෙන දෙයකින් ජීවත්වන බවත් ප්‍රකාශ කර සිටි ලාල් කාන්ත ඇමැතිවරයාගේ වත්කම් පිළිබඳව මතු වී ඇති ආන්දෝලනය හමුවේ ලාල්ගේ ඉරණම කුමක් වේද?

විප්ලවයෙන් රාජ්‍ය බලය ඇල්ලූ බොහෝ විප්ලවවාදී රටවලද කොමියුනිස්ට් ලෝකයේ බොහෝ රටවලද පක්ෂ සාමාජිකයන් අන්ත දුගී දුප්පතුන් වූවාට පක්ෂ නායකයන් අන්ත ධනවතුන් බවට උදාහරණ ඕනෑ තරම් තිබේ. හොඳම උදාහරණය කියුබාවය. සමාජවාදී කියුබාවේ අසහාය නායකයා ලෙස කිරුළු පලන් පිදෙල් කැස්ත්‍රෝ උපත ලැබුවේ උක් වගා බිම් සහ සීනි කම්හල් හිමි බලවත් ව්‍යාපාරිකයකුගේ පුතා ලෙසය. පිදෙල් කැස්ත්‍රෝ එරට පාලකයාගේ රජය පෙරළා දැමීම සඳහා සටන් වැදුණේ කිසිම සමාජවාදී හෝ කොමියුනිස්ට් පක්ෂයකින් තොරවය. ඔහු වටා සිටි බොහෝ දෙනාද ධනවත් පවුල්වල දරුවන්ය. ඔහු කැරැල්ලකින් රාජ්‍ය බලය අල්ලාගෙන එම රජය රැකගන්නැයි පළමුව හැරුණේ ඇමෙරිකාව දෙසටය. ඇමෙරිකාව එම ඉල්ලීමට එකඟ නොවූ තැන ඔහු සෝවියට් දේශය දෙසට හැරුණේය. සෝවියට් උදව් ලබන තුරුම ඔහුගේ රාජ්‍යය සහ පක්ෂය සමාජවාදී වූයේ නැත. විප්ලවයකින් බලය අත්පත් කරගෙන පසුව සමාජවාදයට හැරුණු පළමු රට කියුබාවය. පිදෙල් කැස්ත්‍රෝ තරුණ වියේදී විවාහ වූයේද උක් වගා හිමි ධනවත් නීතිඥයකුගේ දියණිය සමඟය. ඒ අනුව ජවිපෙ බිහිවීමටද ආශ්වාදයක් වූ මුල් යුගයේ චේගුවේරා, පිදෙල් කැස්ත්‍රෝ වැනි විප්ලවවාදීන් ධනවතුන් වූ බව ලෝක ඉතිහාසය අපට කියා දෙයි. ඒ අනුව බලන විට වාමාංශික ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ධනවතුන් වීම ප්‍රශ්නයක් නොවේ. එකම ප්‍රශ්නය වන්නේ ධනවතුන්ට එරෙහිව ඔවුන් ගොඩනැගූ සමාජ වෛරයයි.

ලොව පුරා සියලු විප්ලවවාදීන්ගේ පරමාදර්ශී චරිතය ද එමෙන්ම ලොව පුරා සියලු පාලකයන්ගේ අසීමාන්විත සතුරාද වූ අර්නස්ටෝ චේගුවේරා ජනතා විමුක්ති පෙරමුණ සඳහා ද තරුණයන් ඒකරාශී කරගත් මූල බීජය විය. දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින තරුණ පරම්පරාවට ධනය වත්කම් නැති සමාජයක් දේශනා කළ චේගුවේරා උපන්නේද උපන් ගෙයිම ධනවතකු ලෙසය. ආර්ජන්ටිනාවේ උපන් ඔහුගේ පියා සිවිල් ඉංජිනේරුවෙකි. නගර සීමාවේ ජීවත් වූ ඔහුගේ මවට විශාල ගොවිපොළක්ද තිබිණ. මේ ඇතුළු පවුලේ අය ජීවත් වූයේ නගරයේ “වඩා හොඳ” ලෙස සැලකුම් ලැබූ ප්‍රදේශයේ තිබූ නිඹියා නමැති මන්දිරයේය. ලාල් කාන්ත ඇතුළු ජවිපෙට ඇදී ආ සියලු තරුණයන්ගේ පරමාදර්ශය වූ “චේගුවේරා” උපන් ගෙයි සිටම අඟහිඟයෙන් පිරි ජීවිතයක් ගෙවූයේ නැත. ඔහු විප්ලවයට එකතු වනවිට වෛද්‍යවරයෙක් ලෙස සීමාවාසික කාලය ගෙවමින් සිටියේය. ලෝක ප්‍රකට සමාජවාදීන් එලෙස ධනපති සමාජයෙන් බිහි වී සියලු දෙනාටම එක සමාන ආර්ථික පහසුකම්වලින් යුතු පන්ති රහිත සමාජ ක්‍රමයක් ගොඩනැගීම ගැන විප්ලවවාදී අදහස් දරද්දී ලංකාවේ එම අදහස් අනුවම ගොඩනැගුණු ජනතා විමුක්ති පෙරමුණ සමාජයට එකතු කළේ පුද්ගල ධනය සහ වත්කම් නැති සමාජ ක්‍රමයක් ගැන සංකල්පයකි. සමාජයේ ධනය ඇති පුද්ගලයන් ධනපතියන් ලෙස වර්ග කරමින් ධනය අවමව සිටි තම පක්ෂයේ සාමාජිකයන් එම ධනය ඇති පුද්ගලයන් කෙරෙහි වෛරී සහගත හැසිරීමකට යොමු කරමින් ජවිපෙ කළ දේශපාලනය අද ලාල් කාන්ත වැනි ජවිපෙ තුළ ඉතිරිව සිටින ප්‍රබලයන්ගේ වත්කම් හෙළිදරව් වීමත් සමග පක්ෂය අසීරු තැනකට තල්ලු වී ගොස් ඇත. 

දූෂණයෙන් වංචාවෙන් තොර දේශපාලකයන් ලෙස ආණ්ඩුවට තවදුරටත් තමා වටා පටලවාගෙන සිටින සුදු පිරුවටය රැක ගැනීමට අවශ්‍ය නම් නොපමාව කළ යුතු කාර්යයක් තිබේ. එනම් රාජ්‍ය මුදල් සැපයුමට දායක වන සියලුම ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ මෑත කාලීන වත්කම් පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක යෙදීමය. එම පරීක්ෂණ රටට හෙළිදරව් වීමට අවශ්‍ය නැත. එහෙත් ඇමැතිවරුන් ලෙස රාජ්‍ය මුදල් අතපත ගෑ ගෙවුණු වසරකට මඳක් වැඩි කාලය තුළ මූල්‍ය දූෂණයේ යම් හෝ කුඩා අංශු මැති ඇමැතිවරුන් කිහිප දෙනකු රිංගාගෙන නොතිබෙන්නට බැරිකමක් නැත. බලය සෑමවිටම දූෂිතය. මුදල් ඇති තැනට දෙවිවරුන පවා නැවෙති.

සමාජ ව්‍යවහාරයේ තැන්පත් වී ඇති මෙවැනි මත ඉබේ බිහිවූ ඒවා නොවේ. සියවස් ගණනක් තිස්සේ මැති ඇමැතිවරුන්ගේ දූෂණ වංචා ගැන අත්දැකීම් හේතුවෙන් එවැනි අදහස් ජනතාව තුළ තැන්පත්ව තිබේ. ඒ නිසා විපක්ෂයෙන් රජයේ යම් අයකුගේ දූෂණ හෝ අයථා වත්කම් හෙළිදරව් වීමට පෙර රජය විසින්ම එවැනි පරීක්ෂණයක් සිදුකර එවැනි යම් හෝ දූෂිත දේශපාලකයකු සිටී නම් ජනතා අප්‍රසාදයට ලක්වීමට පෙර ඔවුන්ට ඉල්ලා අස්වීමට බල කිරීම රජයේ පැවැත්මට අත්‍යවශ්‍ය වෙයි. ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය නිසා මෙම රජය බලයට පත් වූ බව ආණ්ඩුවේ දේශපාලකයන් සියලු දෙනාම සිහියට නගා ගත යුතුය. අනුර දිසානායක නමැති දක්ෂ කථිකයා නොසිටියේ නම් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය යන පක්ෂ තවමත් විපක්ෂයේ කුඩා පක්ෂ බව බොරුවක් නොවේ. ජනතාව විශ්වාසය තැබුවේ වත්මන් ජනාධිපතිවරයා කෙරෙහිය. එම විශ්වාසය රැකගැනීම හෝ නොගැනීම මත 2029 වසරේ එන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තීන්දු වේ. ඒ නිසා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් ගැන රජය තුළම කෙරෙන “සංගායනාවක්” අත්‍යවශ්‍යය. මෙවැනි පාරිභෝගිකවාදී සමාජයක ජවිපෙ සාමාජිකයන්ට පමණක් ධනය එකතු කිරීමෙන් තොරව ජීවිතය ගෙන යා නොහැකිය.

සිදුකළ යුතුව ඇත්තේ පක්ෂයේ සාමාජිකයන් හෝ මැති ඇමැතිවරුන් හෝ ඉවත් කිරීම නොව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති වෙනස් කිරීමය. වසර ගණනාවක් තිස්සේ ජවිපෙට මැතිවරණවලදී සියයට තුන ඉක්මවා ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වූයේ ගම් මට්ටමේ අන්ත දුගී දුප්පත් කම්කරු ජනතාවට වෙන් වූ පක්ෂයක් ලෙස ජවිපෙ හංවඩු ගැසී තිබූ නිසාය. 1971 කැරැල්ලේදී ගම්බද ගොවි කැරැල්ලක් ලෙස වැඩුණු හංවඩුවෙන් ගැලවීමට ජවිපෙට හැකි වූයේ නැත. පක්ෂයේ සාමාජිකයන් සහ ආධාරකරුවන් විය යුත්තේ කවුරුන් ද යන ප්‍රශ්නයේදී 1971 න් පසු “අප්ඩේට්” වීමක් ජවිපෙ තුළ නැත.

ජවිපෙ නායකත්වය නිරතුරුවම උත්සාහ කරන තම පක්ෂය නිර්ධන පන්තියේ පක්ෂයක්ය යන මතයට මෙරට තවදුරටත් ජනප්‍රිය ආකර්ෂණයක් නොලැබේ. සැබෑ විග්‍රහයේදී මෙරට ඉතා දුගී නිර්ධන පන්තියක් නැත. අවම ආදායමක් ඇති පිරිස පවා ගැනෙන්නේ දරිද්‍රතාවෙන් යුතු පිරිසක් ලෙස මිස නිර්ධන පන්තියක් ලෙස නොවේ. නිර්ධන පන්තිය යනු යටත්විජිත පාලන සමයේ අවසාන භාගයේ මෙරට වාමාංශික පක්ෂ ගෙන ආ මතවාදයකි. 

ජවිපෙට එකතු වීමට කැමැත්තෙන් සිටි ව්‍යාපාරික සහ ධනවත් පන්තියට එකතු වීමට බාධාව වූයේ ජවිපෙ තුළ තිබූ මෙම පන්ති ප්‍රශ්නයය. ජාතික ජන බලවේගය නිර්මාණය වූයේද මේ අයුරින් පක්ෂයට ඒකරාශී කර ගැනීමට බලාපොරොත්තු වූ සියලු සමාජ මට්ටම්වල පිරිස ඒකරාශී කර ගැනීම පිණිසය. එම ක්‍රමය සාර්ථක වූ බව ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් ඔප්පු වූ අතර “පන්තිය” පිළිබඳ පැරණි මතය වරින් වර සෙවණැලි හෝ ජවිපෙ තුළ මතු වුණේය. ලාල් කාන්ත මැතිවරණ සමයේ තමා දුගී දුප්පතකු ලෙස කියා සිටියේත් මැතිවරණයෙන් පසු ඇමැතිවරයකු ලෙස ඔහුගේ ඉහළ වත්කම් අනාවරණය වන්නේත් පක්ෂය මෙම පන්තිය නමැති සෙවණැල්ල තවදුරටත් නඩත්තු කරමින් සිටින නිසාය. එජාපයේ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ වත්කම් කෙරෙහි නොමැති ජනතා ආකර්ෂණයක් ලාල්ගේ වත්කම් කෙරෙහි ඇතිවන්නේ පක්ෂය තවමත් දුගී දුප්පතුන්ගේ පක්ෂයක් ලෙස පෙනී සිටින්නට දරන උත්සාහය නිසාය. එම යල් පීනූ මතය වෙනස් විය යුතුය.

ප්‍රේමකීර්ති රණතුංග