මිදිගම සනාට වැඩේ දුන්නේ රුවන්ද? අමිලද?


දේශපාලනයත් පාතාලයත් ගසට පොත්ත බඳු වුයේ - අද ඊයේක සිට නොවේ. අනාදිමත් කාලයක පටන් ය. කෙසේ වෙතත් මෑත යුගයේ මනාප ඡන්ද ක්‍රමය නඩත්තු කිරීමේ කාර්යයන් වෙනුවෙන් ඇතැම් දේශපාලනඥයෝ පාතාලය කුක්කන් ලෙස අවශ්‍ය තැන්හි දී පාවිච්චි කිරීමට පෙලඹුණහ. එහි ප්‍රතිඵලයක් ලෙස අදාල දේශපාලනඥයාගේ දේශපාලන බලය අහිමි වූ අවස්ථාවන් වල දී, එකී පාතාලයෝ තැන් තැන් වල විවිධ ජාවාරම් කරමින් ජීවිකාව ගෙන යාමට යොමු වූහ. මේ හේතුව නිසා කසිප්පුවල සිට මේ වෙන විට රටටම වසංගතයක් ව ඇති හෙරොයින්, අයිස් වැනි බරපතළ අන්තරායකාරී හා විනාශකාරී ජාවාරම්  රට තුළ වර්ධනය වුණි. මුහුදු මාර්ග ආසන්නයේ ඉන්දියන් සාගරයේ මධ්‍යස්ථව පිහිටීම පදනම්ව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස අප රට භාවිතයට ගැනීමේ ප්‍රවණතාව ඉහළ යත්ම තත්ත්වය වැඩිදුරටත් වර්ධනය වුණි.  

යළි ප්‍රස්තුතයට ප්‍රවේශ වුවහොත් - කාලයත් සමග මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙන් මහා පරිමාණයෙන් මුදල් උපයාගෙන ධනවතුන් බවට පත්වූ මෙම ජාවාරම්කරුවන්ට - ඊළඟට දේශපාලන බලය අවශ්‍ය විය. ඇතැම්හු තමුන් සතු මුදල් බලය උපයෝගී කරගෙන සෘජුවම දේශපාලනයට අවතීර්ණ වූ අතර, තවත් සමහරු ඒ මුදල් බලයෙන්ම දේශපාලනඥයන් සමග සමීප පයුරුපාසානම් පවත්නා තත්ත්වයට පත්වූහ.    

මේ සහසම්බන්ධතාවයේ මෑතකාලීන වං හුං බිඳක් මතු දක්වන අයුරින් ආවර්ජනය කළ හැකිය.   

පාතාලය සමග වර්ධනයවී හෝ පෝෂණය ලැබ සිටි අය මෙන්ම ගැටුණු අය ද අවසානාවන්ත ලෙස පසුගිය කාලයේ මිය ගියහ. එවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූ ලැයිස්තුවක් අපට කිව හැක. උදාහරණයක් ලෙස රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනය(2014), කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය(2013), පෑලියගොඩ නාගරික මන්ත්‍රී සාමෙල් සඳරුවන් ඝාතනය(2014) වැනි සියල්ල පාතාලයේ වැඩය. 

මෙම ආවර්ජනය අප සිදුකෙරෙනුයේ - වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ගේ ඝාතනය ආසන්නතම හේතුව වශයෙන් ගනිමින් බව අමුතුවෙන් කිවයුතු නැත.  

යම් අයකු මියගිය පසු ඔහුගේ අතීත වැරදි කතා ඇද ගැනීම නොකළයුත්තකැයි බොහෝ දෙනා හඟති. ඇතැම්හු හැකි තරම් හොඳ කියති. එහෙත් යම් අයකුගේ මරණයට ඔහුගේ හෝ ඇයගේ අතීතය බලපා ඇත්නම් - පැටිකිරිය ඇදෙන එක නොවැළැක්විය හැකිය. නිදසුනක් ලෙස යම් අයකු මියගියේ දියවැඩියාවෙන් නම්, ඔහුට හෝ ඇයට එම රෝගය ඇතිවීමට බලපෑ හේතු හා පරිසර තත්ත්ව ගැන කතාබහට ලක්වීම ද නොවැළැක්විය හැක. 

අවුරුදු 37 ක තරුණ දේශපාලනඥයෙක් නාඳුනන තුවක්කුකරුවකුගේ ගොදුරක් වුයේ ඇයි ද යන්න විමර්ශනය කිරීම සමාජ අවබෝධය පුළුල් කර ගැනීමෙහිලා ද වැදගත් වෙනු ඇත. 

කලක් මේ රටේ පාතාලයේ ගෝඩ් ෆාදර් වුයේ මාකඳුරේ මදුෂ්ය. මදූෂ්ට සමීප මිත්‍ර කණ්ඩායම් කිහිපයක්ම සිටියහ. කංජිපානි ඉම්රාන්, අංගොඩ ලොක්කා, රොටුඹ අමිල, ෂන්ෂයින් සුද්දා, හරක් කටා, ලොකු පැටී, පොඩි පැටී, හර්ෂ, ඇතුළු විශාල පිරිසක් ඒ අතර වූහ. “මේ ඔක්කොම යාළු‍වෝ මල්ලී”‍යන්න සැබෑ වුවත් - මත්ද්‍රව්‍ය ජාවාරමේ දී රෑට එකට කාබී එක ඇඳේ නිදාගන්න එකා වුව, පසුදා උදයේ පරම හතුරා වී තිබීම සාමාන්‍ය දෙයකි. ඒ අනුව 2019 වසරේ දී ගෝඩ් ෆාදර්වු මදූෂ් ඩුබායි හිදී එරට පොලිසියට කොටුවීමෙන් පසු මෙරටට රුගෙන ආ නමුත්  නඳුන් චින්තක නොහොත් හරක් කටා ඩුබායි හි තවදුරටත් රැඳී සිටියේය.

මදූෂ් සමග අත්අඩංගුවට පතු වූ සෙසු සියලු දෙනාට ඇප ලැබුණත්, මදුෂ්ට ඇප ලැබුණේ නැත. අවසානයේ මදූෂ් වෙඩිකා මිය ගියේය. මදුෂ් සිරගතව සිටින කාලයේ දී හරක්කටා මදූෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලය සහ ජාවාරම අතට ගත් බව ප්‍රසිද්ධ රහසක් විය. කෙසේ වෙතත්, ඒ වනවිට මදූෂ්ගේ ගෝලයෙකු වන සන්ෂයින් සුද්දා ද ජාවාරම පටන් ගෙන තිබුණි.ඒ හරක්කටාට අභියෝගයක් වෙමිනි. මෙය හරක් කටාත් සුද්දාත් අතර ගැටුමක් දක්වා දුර ගියේය. ඒ අනුව හරක්කටා ගේ පාර්ශ්වය විසින් 2021 මැයි 30 දා සුද්දා ට මිරිස්ස වරාය පාරේ දී වෙඩි තිබ්බේය. එහෙත් අනූනමයෙන් බේරුණේය.

2023 මාර්තු මාසයේ දී හරක්කටා සහ සලිඳු මැඩගස්කරයේ සිටිය දී කොටුවීමෙන් පසු මෙරටට රැගෙන එන ලදහ. එහි ප්‍රතිඵලය වූයේ කටාගේ සහචරයින්ට නරක දසාවක් උදා වීමය. ඒ වනවිටත් කටාගේ සමීප ගෝලයන් සේම මිත්‍රයන් වූ මිදිගම රුවන් සහ මිදිගම චුටි යන දෙදෙනාට රතු වරෙන්තු නිකුත් කර තිබුණි. මේ අතර රහස් පොලිස් භාරයේ සිටිය දී ඉන් පැන යාමට උත්සාහ කළ බවට (සුප්‍රසිද්ධ කිරිටොපි නඩුව) චෝදනා කටාට එල්ල විය. ඊට අමතර කොමාන්ඩෝ පිරිසක් දමා කටාව එළියට ගැනීමේ ”‍ඩූ ඕ ඩයි”‍ මෙහෙයුම ද පොලිසියට අනාවරණය විය.මේ දෙකම මෙහෙය වුයේ මිදිගම රුවන් බව පොලිසිය අනාවරණය කරගත්තේය.

මෙම ගැටුම තවදුරටත් වර්ධනය වූයේ කටාගේ කෝටි 40 ක මත්ද්‍රව්‍ය තොගයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී අල්ලා දීම නිසාය.මේ ඔත්තුව දුන්නේ සුද්දා බව කටා දැන සිටියේය. ඒ නිසා සුද්දා ඝාතනය ඉක්මන් විය. 2021 සැප්තැම්බර් 03දා මාතර කොටවිල දී 29 හැවිරිදි අමිල ප්‍රසන්න හෙවත් සන්ෂයින් සුද්දා සිය මෝටර් රථය තුළ දීම ඝාතනයට ලක්විය. එම ඝාතනයට - ගනේශ් නමැති අයකුත්, වෙඩික්කරු ලෙස ටින්කර් ලසන්ත නැමති අයකුත්, ඝාතනය මෙහෙයවීමේ චෝදනාවට කටාගේ සමීප මිතුරෙකැයි කියූ “මිදිගම ලසා” නමැති අයකුත්, සැකපිට අඩංගුවට ගැනිණ. 

කෙසේ වෙතත් ටින්කර් ලසන්ත මදූෂ් කණ්ඩායමේ වෙඩික්කරුවකුව සිටීම හේතුවෙන් දෝ ආයුධ පෙන්වීමට ගොස් පොලිස් වෙඩි පහරකට ලක්ව කළුතර දියගම දී මිය ගියේය. සෙසු අය රිමාන්ඩ් භාරයට පත්වුණි. “මිදිගම ලසා” කටාගේ සමීපතමයෙකු බව රට දැනගත්තේ මේ සිද්ධිය නිසාය. මේ “මිදිගම ලසා” පසුගියදා ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ය.

කෙසේ වෙතත් ලසාට ඒ වන විටත් අධිකරණයේ විභාග වෙමින් පැවති නඩු කීපයක්ම තිබුණි . ඒ විවිධ මංකොල්ල කෑම්, ටී 56 ගිනිඅවි උණ්ඩ ළඟ තබාගැනීම්, පැහැරගැනීම් යනාදී චෝදනා කීපයක් සම්බන්ධයෙනි. එහෙයින් ලසා දිවයිනේ බී ශ්‍රේණියේ අපරාධකරුවකු ලෙස අංක 1305/2015 යටතේ ලියාපදිංචි කර තිබුණේය. කෙසේ වෙතත් ඒ පසුබිම තුළ සිට වුව, 2018 වසරේ පළාත් පාලන මැතිවරණය සඳහා එජාපයේ අපේක්ෂකයකු ලෙස ඔහු තරග කළේය. ඒ ඔහු තුළ වූ දේශපාලනය කිරීමේ උණ නිසා විය යුතුය.

2023 මාර්තු මාසයේ දී හරක්කටා සහ සලිඳු මැඩගස්කරයේ සිටිය දී කොටුවීමෙන් පසු මෙරටට රැගෙන ආහ. එහි ප්‍රතිඵලය වූයේ කටාගේ සහචරයින්ට නරක දසාවක් උදා වීමය. ඒ වනවිටත් කටාගේ සමීප ගෝලයන් සේම මිත්‍රයන් වූ මිදිගම රුවන් සහ මිදිගම චූටි යන දෙදෙනාට රතු වරෙන්තු නිකුත් කර තිබුණි. මේ අතර රහස් පොලිස් භාරයේ සිටිය දී ඉන් පැන යාමට උත්සාහ කළ බවට (සුප්‍රසිද්ධ කිරිටොපි නඩුව) චෝදනා කටාට එල්ල විය. ඊට අමතර කොමාන්ඩෝ පිරිසක් දමා කටාව එළියට ගැනීමේ ”‍ඩූ ඕ ඩයි”‍ මෙහෙයුම ද පොලිසියට අනාවරණය විය.මේ දෙකම මෙහෙය වුයේ මිදිගම රුවන් බව පොලිසිය අනාවරණය කරගත්තේය.මේ සියල්ල එසේ අනාවරණය වන විට 2024 මැයි මාසයේ දී රුවන් ව ඩුබායි පොලිසියට කොටුවන ලදුව මෙරටට රැගෙන එනු ලැබීය.

කාලය මේ අයුරින් ගෙවී යද්දී - හරක්කටා සිරගතව සිටීම නිසාදෝ මිදිගම ලසා වෙනත් කණ්ඩායම් සමග සමීපවීම පමණක් නොව පොලිසියට ඔත්තු දීම වැනි කාරණා සම්බන්ධ සැකසංකා ද මිදිගම රුවන්ගේ කණ්ඩායමට ඇතිවුණි. රැඳවුම් නියෝග මත සිරවී සිටින කටාව කිසි අයකුට සම්බන්ධ කරගත නොහැකිවීම නිසා සියලු කටයුතු මෙහෙය වුයේ රුවන් විසිනි. රුවන්ලා, මිදිගම චූටි පමණක් නොව, හතර අතේ රට රටවල පොලිසිවලට කොටුව සිටින රොටුඹ අමිල ද එකම කණ්ඩායමක් විය. මිදිගම චූටි මේ වනවිට සිටින්නේ ඕමානයේ සිර භාරයේය. රොටුඹ අමිල සිටින්නේ රුසියාවේ සිරභාරයේය. රුවන් ඉන්නේ බුස්සේ ය. මේ තිදෙනාම මිදිගම ලසා සමග ටික ටික විරසකය පටන් ගත්තේ පොලිසිය එකී කණ්ඩායම පසු පස පන්නන්න වූ නිසාය. ඒ සඳහා ඔත්තු දෙන්නේ ලසා යැයි ඔවුන්ට සැකයක් ඇති විය. කෙසේ වෙතත් කට්ටිය එකට හිටියත් රුවන්ට හැම මොහොතකම සැකයක් තිබුණේය.

මේ අතර රුවන්ට එක් සැකයක් තිබුණේ, තමා අත් අඩංගුවට ගත් මොහොතේ තමාට අයිති කිලෝ 50ක හෙරෝයින් සොරා ගැනීමක් ගැනය.ඒ සම්බන්ධයෙන් රුවන් සැකකළේ ලසාය. ඒ විරසකය පටන්ගැනීමේ ආරම්භයයි. ඒ නිසා දිනෙන් දින රුවන් සහ ලසා අතර ගැටුම මෝරන්නට විය. මේ අතර බූස්සේ සිටි රුවන් ලසාට වදින සේ සමාජ මාධ්‍ය වල විවිධ අදහස් දැම්මේය. හිරේ සිටින අයකු එලෙස කරන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් වුවත්, ඒ මේ රටේ හැටිය. කෙසේ වෙතත් වැලිගම දේශපාලනයට ලසා පිවිසීමත් සමග ඔහු පාතාල කණ්ඩායම් සමග පැවති මිත්‍රකම්වලින් ක්‍රමයෙන් ඈත් වෙමින්, ජනතාවාදී ස්වරූපයකට අවතීර්ණ විය. අවසානයේ ලසා වැලිගම ප්‍රාදේශීය සභාවට පත්විය.

ප්‍රාදේශීය සභාවට නාමයෝජනා ලබා දුන් අවස්ථාවේ ලසා පාතාල සාමාජිකයකු බව මාධ්‍ය දිගින් දිගටම අනාවරණය කළේය. එපමණක් නොව ඔහුට නාමයෝජනා ලබා නොදෙන ලෙස පොලිසිය ද අදාළ තැන්වලට දැනුම් දුන්නේ යැයි ද කියැවේ. එහෙත් සමගි ජන බලවේගය ඔහුව අපේක්ෂකයෙක් කලා පමණක් නොව, ඔහු නගරාධිපති අපේක්ෂකයා ද කළේය. අවසානයේ ලසා මහජන ඡන්දයෙන් තේරී පත්විය.

ලසා ගේ කණ්ඩායමට බහුතර සභික ධූර සංඛ්‍යාවක් හිමිව නොපැවතියත්, පොදු විපක්ෂට බහුතර බලයක් තිබූ නිසා මාලිමාවට වඩා විපක්ෂයේ බලය වැඩිවිය. මේ නිසා ලසාගේ සභාපති සිහිනය වැට උඩ තිබුණේය. කෙසේ වෙතත් සභාපති තෝරන දිනයේ මාලිමාවේ තේරී පත්වූ සභිකයන් දෙදෙනෙක් පැහැර ගනු ලැබුවේ ලසා සිදුකළ බවට හැඟවීම සඳහාය. අවසානයේ ඒ සභිකයන් දෙදෙන දික්වැල්ලේ වෙරළේ සිටියදී හමුවිය. එසේම ඊට අමතරව ජුලි මාසයේ දී තවත් සභිකයෙකු වන නීතීඥ තාරක නානායක්කාරගේ නිවසට වෙඩිතබා තිබුණි. එයද ලසාගේ වැඩක් බව හඟවන්නට උත්සාහ කෙරුණි. එහෙත් කතාව ගියේ මෙය රුවන් විසින් ලසාව පැටලවීම සඳහා සිදුකළ දෙයක් ලෙසය.

මේ අකාරයෙන් දෙපාර්ශ්වයේම දෙකොන ගිනි ඇවිළෙන  විට රුවන් සිය ෆෙස් බුක් පිටුවේ මෙලෙස සටහන් කර තිබුණේ ලසා සභාපති වීමත් සමගය.

“සභාපතිතුමෝ, ඔයා දැන් සුදු ඇන්දට අමතක කරන්න එපා ඔයා කළු අඳින කාලේ අපි ඔක්කොම එක ගොඩේ හිටිය වග.බොරු කියලා නාට්ටි දාලා මගේ එක කොල්ලෙක් හරි හිරකරන්න හැදුවොත් මම ඇත්ත කියලා ඔයා ගේ සුදු රෙද්ද ඔළුවෙන් ගලවන්න දෙපාරක් මම හිතන්නේ නෑ.අනික මම උඹට ගහන්න ඉන්නවා කියලා එක එකාට කියන්න එපා. මොකද ප්‍රතිපත්තියක් හැටියට මම හරක් මරන්නේ නෑ”‍ යනුවෙන් සඳහන් කර තිබී ඇත.
රුවන් ගේ කල්ලියේ එකා දෙන්නා පොලිසියට හසුවීම ලසාගේ ඔත්තු මත යැයි රුවන්ලා දිගින් දිගටම සිතූහ. කෙසේ වෙතත් මේ අතරතුරේ දී තත්ත්වය දරුණු වූ හෙයින් -  අගෝස්තු 29 දා දිව්රුම් ප්‍රකාශයක් මගින් රුවන් තමාව ඝාතනය කිරීමට සිටිනා හෙයින් පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් ලසා පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරන්නට ද යෙදුණි. එහෙත් ලසාට ආරක්ෂාව ලැබී තිබුණේ නැත. අපේ රටේ ප්‍රභූ ආරක්ෂාවෙන් පසුව පොලිස් ආරක්ෂාව ලබාදෙන්නේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ආඥා පනත යටතේය. එහෙත් ලසා ඒ සුදුසුකම් සුපුරා තිබුණේ නැත. ඔහු නඩු 9ක විත්තිකරුවකු සහ ලියාපදිංචි අපරාධකරුවකු නිසා ඔහුට ආරක්ෂාව ලබාදීම නීතිවිරෝධි විය. එහෙත් අපට ප්‍රශ්නයක් ඇත. රුඳවුම් නියෝග මත ඉන්නා හරක්කටාට ආරක්ෂාවට 83 ක් දෙනවා නම්, මේ සභාපතිවරයා රැකගැනීමට එක් අයකු හෝ දීමට අවස්ථාවක් තිබුණේ නැද්ද? කියාය.

රුවන් ගේ කල්ලියේ එකා දෙන්නා පොලිසියට හසුවීම ලසාගේ ඔත්තු මත යැයි රුවන්ලා දිගින් දිගටම සිතූහ. කෙසේ වෙතත් මේ අතරතුරේ දී තත්ත්වය දරුණු වූ හෙයින් -  අගෝස්තු 29 දා දිව්රුම් ප්‍රකාශයක් මගින් රුවන් තමාව ඝාතනය කිරීමට සිටිනා හෙයින් පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ලසා පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරන්නට ද යෙදුණි. එහෙත් ලසාට ආරක්ෂාව ලැබී තිබුණේ නැත.

කෙසේ වෙතත් මේ සියල්ල සිදුවන අතරතුර පසුගිය සැප්තැම්බර් 24 දා විශේෂ කාර්ය බළකාය මගින් වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර ටී56 ගිනි අවි හතරක් සොයාගනු ලැබීය.ඒ අතර මැගසින් සහ උණ්ඩ ද විය. මේ වැටලු‍ නිවස රුවන්ගේ පියාගේ සහෝදරියගේ දියණියගේ නිවස විය. මේ අත් අඩංගුවට ගැනීමට අදාළව ඒ දියණියත් ,ස්වාමියාත්, අත් අඩංගුවට පත්වූහ. මේ ආයුධ රුවන් ගේ විය. මේ වැටලීම ගැන රුවන්ට ඔත්තුව ගියේ එය ලසාගේ වැඩක් කියාය.ලසා මේ මෙහෙයුම සිදුකළ බව කියාය. 

මේ සියල්ල මැද පසුගියදා ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ඝාතනය කෙරිණ. ඒ ඔහුගේ මහජන දිනය දවසයේය. නාඳුනන දෙදෙනෙක් පැමිණ ඉන් එක් අයකු ලිපියකට අත්සනක් යොදාගැනීම සඳහා ලසන්තගේ මේසය අසලට යන අයුරු ආරක්ෂක කැමරාවල සටහන් වී තිබුණේය. මුඛ ආවරණ දමා, කණ්ණාඩි දමා, ඇඟිලි පහටම ප්ලාස්ටර් ඔතා පැමිණි සැකකරු උණ්ඩ හතරක් ලසන්තට එල්ල කළේය.මේ ප්‍රහාරයෙන් ලසන්තගේ හිසටත්, බෙල්ලටත් තුවාල සිදුවී අවසානයේ ඔහු මිය ගියේය.

මෙම ඝාතනයත් සමග කෙළින්ම ඇඟිල්ල දික් වුණේ රුවන් වෙතටය.ඒ රුවන් සහ ලසා අතර ගැටුමක් තිබූ නිසාය.කෙසේ වෙතත් පොලිසිය සැකකරන්නේ මේ සැලසුමට රොටුඹ අමිල සම්බන්ධ  බවට ය. ඒ වෙන කිසිවක් නොව මෙවැනි සැලසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා අවි සහ සාමාජිකයන් ඇත්තේ ඔහු සතුව බැවිනි. එහෙත් මේ සියල්ල සැකයන්ය. මේ සියල්ල ඇත්ත විය හැක්කේ වෙඩික්කරුවන් අත් අඩංගුවට ගැනීමෙන් පසුවය. දැනට වෙඩික්කරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් වෙඩි තබා එකම යතුරු පැදියේ පලාගොස් පසුව නැවත යතුරු පැදි දෙකකින් ගමන් කරන අයුරු දැකගන්නට හැකිවිය. ඒ සී.සී.ටී.වී. දසුන් හරහාය. දැනට සැකකරන්නේ මේ වෙඩික්කරු හමුදාවෙන් පැන ආ සෙබළකු හැටියටය. එහෙත් නිශ්චිත නැත. 

කෙසේ වෙතත් මෙම ඝාතනය රොටුඹ අමිල සහ මිදිගම රුවන්ගේ වැඩක් බව පොලිසිය හඳුනාගෙන ඇත. එහෙත් කණගාටුව නම් මෙය දැන් දේශපාලන තොරොම්බල් කිරීමකට ප්‍රස්තුතයක්ව පැවතීමය. අද ඔහුගේ ආරක්ෂාව ගැන අසන කිසිදු අයකු ඔහු අපරාධකරුවකු ලෙස ලියාපදිංචි වී සිටියදී නාමයෝජනා දුන්නේ ඇයි ද යන්න ප්‍රශ්න කරන්නේ නැත. එය පුදුමයට කරුණකි.

එසේම තවත් දෙයක් කීමට ඇත. ලසා පාතාලයේ බව කියා ආණ්ඩුවට දෑත් පිහදාගෙන සිටීමට නොහැකි බවයි ඒ. ඔහුගේ මරණයේ වගකීම ආණ්ඩුවට ද එන්නේය. ගිනි අවි සහිත කණ්ඩායම්වලින් මෙලෙස ඝාතනය කරන්න කිසිද් අයිතියක් නැත.ඒ නිසා දැන්වත් පක්ෂ පාට බේද අමතක කර මේ අපරාධයේ සුල මුල මෙන්ම මේ මත්ද්‍රව්‍ය ජාලය, පාතාලය විනාශ කර දැමිය යුතුය. එදාට ලසාලා වැනි තරුණයන් අපරාධකරුවන් වෙන්නේ ද, අකාලයේ මිය යන්නේ ද නැත.

ගයාන් ගාල්ලගේ