මංවගේ අලියෙක් එළියෙන් තියන්න එජාපයේම සමහරු දඟලනවා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක


රටේ ආර්ථිකය ගැන හා දේශපාලනය ගැන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සමග කළ සාකච්ඡාවකි.

බාල ගල්අඟුරු චෝදනාව එල්ලවුණ බලශක්ති ඇමැති කුමාර ජයකොඩි ඉල්ලා අස්වුණා. ඔබ කොහොම ද ඒක දකින්නේ?

ඒක චෝදනාවක් විතරක් නොවෙයි. එතැන පැහැදිළිවම වරදක් වෙලා තියෙනවා. ආණ්ඩුවත් ඒක පිළිගන්නවනේ. ජනාධිපතිවරයත් කිව්වනේ කාලා බලලා ගල්අඟුරු ගේන්නේ නෑ කියලා. මෙතැන තියෙන්නේ කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක්. රාජ්‍ය පාලනය පිළිබඳ කිසිම අවබෝධයක් නැති පිරිසක් රට ප​ාලනය කරන කොට මෙහෙම ප්‍රශ්න ඇති වෙනවා. අපි මේ ගැන ජනතාවට කලින්ම කිව්වා. ඇමැති ඉල්ලා අස්වුණා කියලා හොරකම වහන්න බෑ. හොරුන්ට දඬුවම් දිය යුතුයි.

මේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ ගැන ඔබේ අදහස කෙබඳු ද?

මම හිතන විදියට මේ අවස්ථාවේදී මේ ආණ්ඩුවේ එක හොඳක් තියෙනවා. ඒ තමයි, ඒ ගොල්ලන්ට යම් යම් දේවල් ගැන හොඳ අවබෝධයක්  නැති වුණාට රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂයේ අපි අනුගමනය කරපු ක්‍රියාදාමයම ඉදිරියට ගෙන යෑම. මම අගය කරනවා. මොකෝ වෙන පාරක ගිහිල්ලා අනාගන්නේ නැතිව මේ පාරේ යන එක හොඳයි.

ජේ.ආර්. ජයවර්ධන විවෘත ආර්ථිකය ගෙනාවා. දැන් ඒක වෙනස් කරන්න බැහැ කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒ ක්‍රමයම මේ අයත් ඉදිරියට ගෙන යාම සුබවාදීයි. හැබැයි ඒක ගෙන යන ආකාරය හා කණ්ඩායම මීට වඩා ක්‍රියාශීලි විය යුතුයි.

ඔබලා අයි.එම්.එෆ්. එකත් එක්ක යනකොට හොඳයි. මේ ආණ්ඩුව යනකොට නරකයි. මොකක්ද මේ පරස්පරය?

මම හැම තිස්සෙම කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවශ්‍ය වෙන්නේ රට බංකොලොත් වුණොත් විතරයි කියලා. ඒ අය කියන දේවල් අපි පිළිගත යුතුයි. මම හැම තිස්සෙම කිව්වේ ඒ අය කියන දේවල් ඔක්කොම අපි ක්‍රියාත්මක කරන්න ඕනැ නෑ කියලයි. මහ බැංකුව රට බංකොලොත් කළාට පස්සේ වෙන විකල්පයක් නෑ. රට බංකොලොත් වුණාම රනිල් වික්‍රමසිංහ මේකේ බර මුළුමනින්ම කරට අරගෙන වැඩේ කළා. හැබැයි මේ අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදියටම ක්‍රියාත්මක වෙනවා. එහෙම වෙන්න එපා කියලයි මම කිව්වේ.

ඔබලා එදා කිව්වෙ නම් මාලිමාව බලයට ආවොත් අයි.එම්.එෆ්. එකෙන් අයින් වේවි කියලා. අද මෙහෙම කතාවක් කියනවා?

මම ඒකයි කිව්වේ මේ පාරේ යන එක හොඳයි කියලා. ඒ අයමනේ එදා අයි.එම්.එෆ්. එක විවේචනය කළේ. ඒ ගොල්ලෝ කියපු කතා නිසාම තමයි අපි එහෙම කිව්වේ. මේ මාර්ගයේ යෑම ඉතාම හොඳ දෙයක්. එහෙම නොවුණා නම් මීට වඩා අනාගැනීමක් තමයි වෙන්නේ.

එක පවුලක් විදියට හිටපු පක්ෂයක් දෙකට කැඩිලා ගියාට පස්සේ මේ දෙක ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍යයි. මේක කවුරු හරි නොකෙරුවොත් ඒ අයත් විසිවෙලා යයි කියලා  තමයි මගේ මතය.

මේ ආණ්ඩුව දැනට අනුගමනය කරන ආර්ථික පිළිවෙතට වෙනස් ආර්ථික පිළිවෙතක් ඔබට තියෙනව ද?

මම යෝජනා කරන්නේ ස්ථාවර ආර්ථික ගමනකට ආර්ථිකය ගැන සැබෑ අවබෝධයක් තියෙන අය අවශ්‍යයි. ආණ්ඩුව තියෙනවා රට ගැන බලාගන්න. ආර්ථිකය බලාගන්න මහ බැංකුව තියෙනවා. මහ බැංකුව උද්ධමනය පාලනය කරන්න මුදල් සංසරණය අඩු කරලා ආර්ථිකය සංකෝචනය කරනවා. උද්ධමනය පාලනය කිරීමෙන් පමණක් රටක් ගෙනියන්න බෑ. නමුත් ඒක තමයි මෙතැන වෙලා තියෙන්නේ. අපි බංකොලොත් භාවයට ගියාට පස්සේ ණය ගෙවන්න ඕනෑ නම් ආර්ථික වර්ධන වේගය සියයට 7 ක් 8 ක් 9 ක් වත් වෙන්න ඕනෑ. අපි සියයට 3 ක් 4 ක් තියාගෙන මේ ගමන යන්න බෑ. ආර්ථිකය සංකෝචනය කරලා මේ ගමන යන්න බෑ. පාර්ලිමේන්තුවේ පොදු කාරක සභාවට මහ බැංකුව ආවා. ගිය අවුරුද්දේ බිලියන 2700 ක් පෞද්ගලික අංශයේ මුදල් මවන්න කටයුතු කරනවා නම් උකස් කිරීම්වලට හා ක්‍රෙඩිට් කාඩ්වලට ඒකෙන් සියයට 75 ක් ගන්නවා. ණය බර වැඩි වුණාම රටක් හැදෙන්නේ කොහොම ද? දීර්ඝ ආයෝජනයකට බිලියන 400 යි. සියයට 23 යි. ඉතින් කොහොම ද ආර්ථිකයක් හැදෙන්නේ ?

ජනාධිපතිවරයා විපක්ෂයෙන් ඉල්ලනවා ‘සහාය දෙන්න’ කියලා. ඒ ගැන නැද්ද අදහසක් ?

අපෙන් මොනවා හරි ඇහුවොත් ඒකට උත්තර දෙනවා මිසක් මෙතැන වෙන දෙයක් වෙන්නේ නෑ. හැබැයි අපි දන්නවා මේක මේ එක්කෙනෙක්ගේ දෙන්නෙකුගේ ආර්ථිකයක් නොවෙයි. මේක රටේම ආර්ථිකය. මේ ගොල්ලෝ යන්නේ එක්සත් ජාතික පක්ෂය ගමන් කරපු මාර්ගයේමයි.

නමුත් මාලිමාව කියන්නේ ‘70 වසරක ශාපය’ කියලයි ?

එහෙම බැණල වැඩක් නෑ. ‘සිස්ටම් චේන්ජ්’ කියලා කිව්වට මෙතැන වෙන්නේ සිස්ටම් එක වෙනස් කිරීමක් නොවෙයි. ඒක නඩත්තු කිරීමක්.

රාවයක් තියෙනවා ‘රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තු එනවා’ කියලා?

එතුමා දේශපාලනයෙන් සමුගත්තා කියලා බොහොම උවමනාවෙන් කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පක්ෂයේ නායකයා දේශපාලනයේ උච්චතම අවස්ථාවට ආවට පස්සේ දේශපාලනයෙන් සමුගත යුතුයි කියලත් එතුමා කිව්වා. එතුමා පාර්ලිමේන්තු එනවා කියන කතාව කියන්නේ එතුමාගේ  ප්‍රකාශ වෙනස් විදියට අර්ථකථනය කරන කට්ටිය.

එජාපය සහ සජබය අතර සාකච්ඡා කොහොම ද?

එක පවුලක් විදියට හිටපු පක්ෂයක් දෙකට කැඩිලා ගියාට පස්සේ මේ දෙක ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍යයි. මේක කවුරු හරි නොකෙරුවොත් ඒ අයත් විසිවෙලා යයි කියලා  තමයි මගේ මතය.

ඔබ කියන මේ සමගිය හැදෙන්නේ එජාපය සජබයට ගිහින් ද? සජබය එජාපයට ඇවිත් ද?

එජාපයයි සජබයයි එකට වැඩ කිරීම තමයි මූලික වශයෙන්ම කරන්න ඕනෑ. ඒකෙන්ම තේරේවි වෙන්වීම නිසා ඇතිවුණ ප්‍රතිඵලය මොකක්ද කියලා. ඒ ප්‍රතිඵලය කියවා ගෙනම තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. මේ වෙලාවේ කිව්වොත් අරයයි මෙයයි කවුද නායකයා කියලා සමගියට බාධා ඇති වෙනවා. ඒ නිසා මුලින් එකට වැඩ කරලා ඒ අත්දැකීමෙන් ඉදිරියට යමු කියලා තමයි මම යෝජනා කරන්නේ.

සමහරු නම් කියන්නේ මේ පක්ෂ දෙකේ සමගියට ලොකුම බාධාව රවි කරුණානායක කියලයි?

එහෙම කියන්නේ පක්ෂ දෙකේ සමගියට ඇත්තටම බාධා ඇති කරන අය. මම තමයි රනිල් වික්‍රමසිංහගෙන් පස්සේ පක්ෂය තුළ ඉන්න ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා. මං වගේ අලියෙක් එළියෙන් තියන්න එක්කෙනෙක් දෙන්නෙක් බොහොම ඕනෑ කමින් දඟලනවා. 

ඒ අය ඉන්නේ එජාපය තුළමයි ?

ඔව්. ඔව්. අපේ පක්ෂය තුළම තමයි. වෙන කවුරුවත් එහෙම කියන්නේ නෑ. දෙන්නෙක් තුන් දෙනෙක් මට ඔහොම කියමින් සමගියට ඇත්තටම බාධා කරන්නේ ඒ අයම තමයි. අද මම තමයි පාර්ලිමේන්තුව තුළ ඉන්න එකම අලියා. ඒ තනි අලියට චෝදනා කරන්නේ ඒකට එන්න දඟලපු අය මිසක් වෙන කවුරුවත් නොවෙයි. මට හැමදාම ප්‍රශ්න ඇති කළේ එක්සත් ජාතික පක්ෂය ඇතුළෙන් මිසක් එළියෙන් නොවෙයි. මොකද ඒ අය දන්නවා මම කියලා තියෙන්නේ ඕනෑම අභියෝගයක් භාරගන්න පුළුවන් පුද්ගලයෙක් කියලා. ඵල තියෙන ගස්වලටනේ ගල් ගහන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මෙතැන තියෙන්නේ.

විපක්ෂය බොහොම දියාරුයි කියල පොදුවේ චෝදනාවක් තියෙනවා. ඔබ ඒක ​බැහැර කරන එකක් නෑ කියලයි මම හිතන්නේ?

නෑ. එහෙම දියාරු නෑ. ජනතාව ඡන්දෙදි අපේ පක්ෂ පොළොවේ ගහලා ඒ අයම අනික් පැත්තට අහනවා. ‘විපක්ෂය මොකද කරන්නේ? කියලා. ඉතින් පොළොවෙ ගහපු විපක්ෂයකට නැගිටින්න වෙන්නේ ඇතිවෙන තත්ත්වයක් තුළ. පිස්සු බල්ලෝ වගේ ගිහින් නිකම් කෑගහල වැඩක් නෑනේ. ඉස්සර හිටපු විපක්ෂය ආතක් පාතක් නැතිව බොරු කිය කියා කෑගැහුවා. අපිට එහෙම කරන්න බෑනේ. අපි ආණ්ඩු කරපු පක්ෂ.  ඒ නිසා බෝඩ් ලෑලි එල්ලගෙන පෙළපාලි ගිහින් ප්‍රශ්න විසඳන්න බෑ කියලා අපි දන්නවා. අපි යන මේ මාර්ගය තමයි ඇඟට ගුණ කියලා පෙන්වන්න අවශ්‍යයි.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට 159 ක් ඉන්නවා. එහෙම තියෙද්දී ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග ගෙනැවිත් විපක්ෂය ඇයි විහිළු සපයන්නේ?

ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අනික් පැත්තක් අහන්න ඕනෑ කියන එකයි. පාර්ලිමේන්තුවේ සංයුතිය ඔය ඔබ කියන එක වුණාට එළියේ ඒ ජන මතය දැන් නැහැනේ. අපි ඒ ජනමතය නියෝජනය කළ යුතුයි.

ආණ්ඩුවේ ගමන අතරමග නවත්වන්න විපක්ෂයෙ මොකක් හරි සැලසුමක් තියෙනව ද?

මම හිතන්නේ අපි මුලින් බලන්න ඕනෑ. මේ රට කොයි දිශාවට ද ගෙනියන්න ඕනෑ කියලයි. අපි දන්නවා ආර්ථිකය කඩා වැටුණොත්  ගන්න ඕනෑම ආණ්ඩුවකම ඒවායේ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වෙනවා. මුලින් කරන්න ඕනෑ ආර්ථිකය සවි ශක්තිමත් කිරීමයි. නිකම් කෑ ගහලා යක්කු වගේ හැසිරිලා හරි යන්නේ නෑ. ආණ්ඩු කරපු පක්ෂ තමයි දන්නේ ආණ්ඩු කිරීම කොච්චර අමාරු ද කියලා.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටට ඉමහත් සේවයක් කරපු පක්ෂයක්. මුළු රටම පරිවර්තනයකට යොමු කළේ අපේ පක්ෂයයි. නමුත් එහෙම මෙලෝ දෙයක් කරපු නැති පක්ෂයක් බලයට එන්නේ මේකේ මොකක් හරි වෛරයක් තියෙන නිසා නේද? ඡන්දයක් දෙනකොට ජනතාව බලනවා මෙයා මොනවද කරලා තියෙන්නේ කියලා. නමුත් කානුවක් හරි හදපු නැති පිරිසකට ජනතාව ඡන්දය දුන්නේ සිස්ටම් එක ගැන වෛරයක් තිබුණ නිසානේ. අපි බලමු ඉදිරියේ දී මොකද වෙන්නේ කියලා.

ඔබ කිව්වා ‘රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් සමු අරගෙන කියලා. ඒ වගේම රනිල්ගෙන් පස්සේ පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨයා මම’ කියලා. ඔබේ අතට පක්ෂ නායකත්වය ලැබෙන්නේ කවද ද?

පක්ෂයේ නායකකමට වඩා මට ඕනෑ කරන්නේ පක්ෂ දෙකම එක්සත් කරන්න. සමහර අය මේ සමගියට බාධා කරන්නේ පක්ෂ නායකත්වය හොරෙන් අතට ගන්නයි. මට ඕනෑ එහෙම සිහින මවන්න නොවෙයි. එකතු කළ හැකි සියලු පක්ෂ එකතු කළ හැකි වැඩපිළිවෙළක් වෙනුවෙන් තමයි මම පෙනී ඉන්නේ.

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්