
බලශක්ති ඇමති කුමාර ජයකොඩි ගේ ඉල්ලා අස්වීම මෙරට දේශපාලනය තුළ ‘මහින්දාගමනයෙන් පසු සිදුවූ මහා දේශපාලන පෙරළිය’ ලෙස ඔටුනු පලඳවන්නට ඇතැම් පිරිස් උත්සාහ ගනිමින් සිටිති. එහෙත් මෙරට දේශපාලන ඉතිහාසය දත් පුද්ගලයකුට නම් කුමාර ජයකොඩි ගේ ඉල්ලා අස්වීම “ආහාර වේලක ‘සුදුලුනු බිකක්’ තරම් වත් වටින ඉල්ලා අස්වීමක් නොවේ. කුමාර ජයකොඩි ඇමතිගේ ඉල්ලා අස්වීම ගැන දේශපාලන ලෝකයේ ද අදහස් ප්‍රකාශ වන්නට පටන්ගෙන තිබේ.
මේ අතර බලශක්ති ඇමති කුමාර ජයකොඩි ගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්ත ද, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා ඇත. එම විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට පාර්ලිමේන්තුව මුළු දවසක්ම ගත කළ අතර, ජාතික ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් එයට විරුද්ධව ඡන්දය දිමට පමණක් හැකි වූ බවද, එමගින් පෙන්නුම් කළේ ඔවුන් ඔහුට එරෙහි දූෂණ චෝදනා නොසලකා හැර සහයදුන් බවද මන්ත්‍රීවරයා කියා සිටි. සිය x ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කොට තිබිණි.
එමෙන්ම සමගි ජන බලවේගය ද කුමාර ජයකොඩි අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ගැන ප්‍රකාශයක් නිකුත්කොට ඇත. විෂය භාර ඇමතිවරයා සහ ලේකම්වරයා ඉල්ලා අස්වීමේ නාට්‍යයෙන් ගල්අඟුරු වංචාව යටපත් කළ නොහැකි බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එසේම ගල්අඟුරු හදිසි මිලදී ගැනීම්වලට අදාළව නිකුත් වූ ආන්දෝලනාත්මක හඬපටය සත්‍යයක් බව ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා පිළිගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.
මේ සමගම ඒකාබද්ධ විපක්‍ෂය ද මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරන්නට පසුබට වූයේ නැත. භාරධූර, උග්‍ර ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තමන් අතින් වරදක් හෝ දෝෂයක් සිදුවීමේ වගකීම් භාරගැනීමක් - ඇමතිවරයෙක් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් සංකේතාත්මකව සනිටුහන් කෙරෙන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත. ගල්අඟුරු සිදුවීමේ වගකීම ඇමතිවරයාට පවරා අත සෝදාගැනීමට හෝ ඇමතිවරයාට පමණක් හුදු වගකීම ආරෝපණය කිරීම කිසිසේත් සාධාරණ නොවන බව ද එහි සඳහන් වේ. ටෙන්ඩරය ලබාදීමේ සාම්ප්‍රදාය අනුගමනය නොකළේ යම් යටි අරමුණක් ඉෂ්ට කරගැනීම සඳහා විය හැකි බවත්, සම්පූර්ණ ක්‍රියාදාමයම සමස්ත කැබිනට් මණ්ඩලය අනුමත කර තිබීම හේතුවෙන් මෙහි වගකීම ආණ්ඩුව සාමූහිකව භාරගත යුතු බවද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කොට ඇති නිසා එයින් තහවුරු වන්නේ සමස්ත අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්විය යුතු බව නොවේ ද?
ඇතමුන් දේශපාලන වාසි තකා අමාත්‍ය කුමාර ජයකොඩිගේ අස්වීම මේ සියවසේ වූ විශිෂ්ටතම දේශපාලන පියවර ලෙස හුවා දක්වන්නට ගියද, අමාත්‍ය ධූරවලින් එහා ගිය මෙරට අගමැතිවරු මෙන්ම ජනාධිපතිවරු ද ඉල්ලා අස් වී ඇත. හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂට පවා අවසන් මොහොතේ ඉල්ලා අස්වීම විනා අන් විකල්පයක් නොවීය.
මෑතකාලීන දේශපාලන ඉතිහාසයේ මහත් ආන්දෝලනයක් ඇති කළ පක්ෂ මාරුවීම සඳහා ඉල්ලා අස්වීමක් සිදුකළ ප්‍රබල චරිතයක් ලෙස ඉතිහාසගත වූයේ හිටපු අගමැතිවරයෙකු වූ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකය. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායකගේ ඇමැති මණ්ඩලයේ ඇමැතිවරයකුව සිටි බණ්ඩාරනායක පක්ෂ මාරුකර ඇමැති පදවියෙන් ඉල්ලා අස්වූයේ 1951 ජූලි 12 වැනි දිනකය.
එකල බණ්ඩාරනායක ඉල්ලා අස්වන විට පැවති එම ආණ්ඩුවේ සභානායකවරයා වූයේ ද ඔහු ම ය. ඇමැති පදවියෙන් ඉල්ලා අස් වූ බණ්ඩාරනායක තම ඉල්ලා අස්වීම අනාවරණය කරමින් ප්‍රකාශ කළේ - තමා ඉල්ලා අස් නොවුණහොත් රටවැසියන්ට තමාගෙන් සිදුවන හා ඉටුවිය යුතු සේවය ඉටුනොවී යාමට ඉඩ ඇති බවය. ජූලි දොළොස් වැනිදා ඉල්ලා අස් වූ බණ්ඩාරනායක සැප්තැම්බර් 02 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගත් බවට ඉතිහාස ගතවී ඇතත්, එච්.ශ්‍රී. නිශ්ශංක එම පක්‍ෂයේ නිර්මාතෘවරයා වශයෙන් ඉතිහාසයේ තවත් තැනක ප්‍රකාශ වේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇති “ශ්‍රී” කෑල්ල එයට සදාතනික සාක්‍ෂියකි. නිදහස් පක්‍ෂය බිහිකිරීමේ වූ භාරයකට නිශ්ශංකයන් විසින් රුවන්වැලි මහා සෑයට පූජා කරනු ලැබූ පවුම් 60ක පාත්‍රයක් අදත් මහා භාරකාර වරයාගේ අධික්‍ෂණය යටතේ පවතී.
එකල බණ්ඩාරනායක ඉල්ලා අස්වන විට පැවති එම ආණ්ඩුවේ සභානායකවරයා වූයේ ද ඔහු ම ය. ඇමැති පදවියෙන් ඉල්ලා අස් වූ බණ්ඩාරනායක තම ඉල්ලා අස්වීම අනාවරණය කරමින් ප්‍රකාශ කළේ - තමා ඉල්ලා අස් නොවුණහොත් රටවැසියන්ට තමාගෙන් සිදුවන හා ඉටුවිය යුතු සේවය ඉටුනොවී යාමට ඉඩ ඇති බවය.
බණ්ඩාරනායකගේ ඉල්ලා අස්වීම හේතුවෙන් හිස් වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභානායක පදවිය සර් ජෝන් කොතලාවලට හිමිවිය. බණ්ඩාරනායක දැරූ ඇමැති පදවි එවකට අගමැතිවරයා වූ ඩී.එස්. සේනානායකයන්ම පවරා ගන්නා ලදී.
සර් ජෝන්ගෙන් පසු අගමැතිවරු හත් දෙනෙකු ඉල්ලා අස් වූ ආකාරය විස්තර කෙරෙන ලිපිපෙළක් අසූව දශකයේ දී “ශ්‍රී ලංකාදීපය” පළකරන ලදී. එම විශේෂාංගය පළවූයේ බ්‍රැඩ්මන් වීරකෝන් කියයි - ගුණදාස ලියනගේ ලියයි. නොහොත් අගමැතිවරුන් හත් දෙනෙකු සමග යනුවෙන් එම ලිපිපෙළ ලංකාදීපයේ පලකරන ලදී.
1956 දී සර් ජෝන් පරාජයට පත් වූ අයුරු එහි පළකොට ඇත්තේ මෙසේය.
“සර් ජෝන් විශ්වාස නොකළත් රටේ තත්ත්වය ඔහුට අවාසිදායක අන්දමින් දිනෙන් දිනම වෙනස් විය. 1956 මහ මැතිවරණය පැවතියේ අප්‍රේල් මුල් සතියේය. අද මෙන් නොව එදා දවස් තුනක් තිස්සේ ඡන්දය දීම සිදුවිය.
එක්සත් ජාතික පක්‍ෂයේ බලකණු පෙරළා දමමින් පළමු දිනයේ රාත්‍රියේ නිකුත් වන්නට පටන්ගත් ප්‍රතිඵල අසා සර් ජෝන් මවිත විය. එහෙත් ඔහු එයින් කම්පා වූයේ නැත. ජය පරාජය දෙකම සිනාමුසු මුහුණින් යුතුව පිළිගැනීමට තරම් ඔහු එඩිතර විය.’
“මොනවා කරන්නද බ්‍රැඩ්මන් මහජන මතය ඒක නම් අපි ඒකට හිස නමන්න ඕනෑ” යි සර් ජෝන් කීය.
මහජන මතයට කන් දෙමින් සර් ජෝන් කොතලාවල අගමැතිකමින් ඉල්ලා අස්වීමේ ලිපිය සකස් කරන්නට බ්‍රැඩ්මන්ට නියම කළේ නියම මහත්මයෙක් ලෙසය. බණ්ඩාරනායක බලයට පත්වන්නේ සඟ-වෙද-ගුරු- ගොවි-කම්කරු පංචමහා බලවේගයේ ආනුභාවයෙන් 1956 දී ය. බණ්ඩාරනායක අගමැතිතුමා නිව්‌යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයට යාමට නියමිතව තිබුණේ 1959 සැප්තැම්බර් මස අග සතියේ සෙනසුරාදාය. ඊට කලින් රාජ්‍ය නායක වශයෙන් වැඩ බැලීමට කෙනකු පත්කළ යුතුව තිබුණි. ඒ වනවිට සී.පී. ද සිල්වා ද බලවත් ලෙස රෝගාතුරව ප්‍රතිකාර ගැනීම පිණිස එංගලන්තයට ගොස් සිටියේය. වැඩ බැලීම සඳහා ගාල්ලේ විජයානන්ද දහනායක පත්කිරීමට තීරණය කර තිබුණි.
එහෙත් බ්‍රහස්පතින්දා දවල් වනතුරුත් වැඩබැලීමේ පත්වීමට අගමැති බණ්ඩාරනායක අත්සන් කර තිබුණේ නැත. බ්‍රැඩ්මන් අවශ්‍ය ලියවිලි ද සූදානම් කරගෙන බ්‍රහස්පතින්දා සවස පාර්ලිමේන්තුවට යන ලදී. සවස තේ විවේකය සඳහා පාර්ලිමේන්තු රැස්වීම නතර කළ විට බ්‍රැඩ්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ඡේදයන් සමග ලියැවිල්ල බණ්ඩාරනායක වෙත ඉදිරිපත් කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වැඩ බැලීමේ පත්වීම ක්‍රියාත්මක විය යුතුව තිබුණේ රටින් පිටවීම හෝ අගමැතිකමේ වැඩ කිරීමට නොහැකි තත්ත්වයක් (incapacitate) ඇතිවුවහොත් පමණකි.
බණ්ඩාරනායක ලියැවිල්ලට අත්සන් කිරීමට කලින් කීප වරක්ම ‘“ඉන්කැපැසිටඩ්” යන ඉංගිරිසි වචනයට උඩින් පෑන දුවමින් තනිවම කතා කළේය.
“ඉන්කැපෑසිටේටඩ් ! ඉන්කැපෑසිටේටඩ් ! ආ බ්‍රැඩ්මන්, බණ්ඩාරනායක ‘ඉන්කැපෑසිටේටඩ්?” උපහාසාත්මක ලෙස හඬ නඟා සිනාසුණු බණ්ඩාරනායක පසුව දහනායකට වැඩ බැලීමට දීමේ ලියැවිල්ලට අත්සන් කළේය. එහෙත් බණ්ඩාරනායක නොසිතූ ලෙස වෙඩි ප්‍රහාරයකට ලක් විය. අගමැති බණ්ඩාරනායක අත්සන් කළේ ඉල්ලා අස්වීමේ ලියුමකටැයි ඔබ වරදවා වටහා ගත යුතු නැත.
රෝහලේ දී ඉණෙන් ඉහළ කිසිදු වස්ත්‍රයක් නැතිව උස් ඇඳක වැතිරී සිටි බණ්ඩාරනායක හොඳ සිහි කල්පනාවෙන් කටයුතු කළේය. කහ රෙදි ඇඳගත් පුද්ගලයකු තමාට වෙඩි තැබූ බවත්, වෛද්‍යවරුන්ගේ පිහිටෙන් සුවය ලැබීමට තමා උත්සාහ කරද්දී සන්සුන්ව සිටින ලෙසත්, එතුමා රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා පමණක් නොව - තමාට වෙඩි තැබූ පුද්ගලයාට කරදර හිරිහැර නොකරන ලෙසද ඉල්ලා සිටියේ ය.
බණ්ඩාරනායකට වෙඩි තබන විට දහනායකට වැඩ බැලීමට පැවරීමේ ලියැවිල්ල අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක අතේය. රටින් පිටවීම ක්‍රියාත්මක නොවූවත් තවදුරටත් අගමැතිකමේ වැඩ කරන්නට බැරි තත්ත්වය හෙවත් ‘ඉන්කැපෑසිටේටඩ් තත්ත්වය උද්ගත වී තිබුණි. ඒ මොහොතේ සිට දහනායකට රටේ පාලන බලය බාරගැනීමට හැකි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වූ ඒ එක වචනය බලයෙනි.
බණ්ඩාරනායක ඝාතනයෙන් පසු අගමැති ධුරයට පත්වන්නේ දහනායකය.
දහනායකට අගමැතිකම් කරන්නට නොදෙන තරමට විරුද්ධ පක්‍ෂය බලවත් විය.
එහිදී දහනායක පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මුළු රටම මවිතයට පත් කරවමිනි. ඊට හේතුව වැඩි දෙනෙකු බලාපොරොත්තු නොවූ වේලාවක පාර්ලිමේන්තුව විසුරුවා මහමැතිවරණයක් පැවැත්වීමට තීරණය කිරීමය.
මහමැතිවරණය සඳහා දහනායක අලුත්ම පක්ෂයක් පිහිටුවා ගත්තේය. එහි නම වූයේ “ලංකා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය” යි. සමහරු ඊට ‘ලංකා පිස්තෝල පක්ෂය’ කියා නමක්ද පටබැන්දෝය. බොහෝ දෙනෙකුගේ අදහස වූයේ අලුත් පක්ෂය නිකම්ම නිකං විහිළුවක් බවය. එහෙත් දහනායක එසේ සිතුවේ නැත.
“මට බෑ මෙහෙම මේ කරච්චල්කාරයොත් එක්ක අගමැතිකම් කරන්න. ඒ නිසා අලුත් පක්ෂයක් තුළින්ම බලය ලබාගැනීමට තීරණය කළා.” යි දහනායක බ්‍රැඩ්මන්ට පැවසීය.
කඩිමුඩියේ ආසන 99කට අපේක්ෂකයන් සොයන්නට වීම දහනායක ඉදිරියේ වූ ලොකු අභියෝගයක් විය. කඩිමුඩියේ වූවද හොඳ අපේක්ෂකයන් කිහිප දෙනකුම අල්ලා ගැනීමට ඔහු සමත් විය. අක්මීමණ සේනපාල සමරසේකර සහ නින්දවූර් මුස්තාපා එයින් දෙදෙනෙකි. එහෙත් අන්තිමේ දී වූයේ කුමක් ද? ඉදිරිපත් කළ අපේක්ෂකයන් අසූ අටකගේම ඇප රාජසන්තක වී දහනායක ද ගාලු අසුනෙන් පරාද වීමය.
දහනායකගේ අන්ත පරාජය ප්‍රකාශයට පත් වීමෙන් පසු අග්‍රමාත්‍ය ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් දහනායක හමුවීමට ගිය අයුරු මෙසේ සටහන් කෙරී ඇත.
මා අරලියගහ මන්දිරයට යන විට ඔහු ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක් මත දිග ඇදී සිටියේය. ඔහුගේ මුහුණේ පැවතියේ වචනයෙන් විස්තර කරලීමට බැරි තරම් වේදනාවකි. දුකකි. අරලියගහ මැදුරට මුලින්ම ආ දවසේ ගෙන ආ සූට්කේස් එක ද හාන්සි පුටුවට මඳක් ඈතින් බිම තබා තිබුණි.
අග්‍රාමාත්‍ය ධුරයට අදාළ ඉල්ලා අස්වීමේ ලියැකියවිලි අග්‍රාමාත්‍ය ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන්ට විජයානන්ද දහනායක ලබාදුන්නේ, දැඩි සංවේ දි ස්වරයෙන් බ්‍රැඩ්මන් අමතමිනි
“බ්‍රැඩ්මන් මට ගාල්ලට යන්න කාරෙකක් ඉල්ලා ගන්න පුළුවන් ද?”
“මොකද නැතුව සර්? සර්ට කාරෙකකින් යන්න සම්පූර්ණ අයිතිය තියෙනවා.”
“නෑ...නෑ...බ්‍රැඩ්මන්. මම දැන් අගමැති නොවෙයි. අඩු ගණනේ මන්ත්‍රී කෙනෙක්වත් නොවෙයි”
වහාම දහනායකට ගාල්ලට යාම පිණිස කාරෙකක් අරලියගහ මන්දිරයෙන් සූදානම් කරන ලදී. එම වාහනයට අරලියගහ මැදුරේම පැලපදියම් වී සිටි ‘දවස’ පුවත්පතේ පත්‍රකලාවේදී රෝහණ ගමගේ ද නැගගත්තේය.
දහනායක ගාල්ල බලා පිටත්විය. ඔහු ගෙන ගියේ මුල් දවසේ ගෙන ආ සූට්කේස් එක පමණකි. වෙනසකට තිබුණේ දහනායක මාස කීපයකින් වයස්ගත වී සූට්කේසය ද මාස කීපයකින් පරණ වී තිබීම පමණකි.
අගමැතිකමෙන් ඉල්ලා අස්වීම ඩඩ්ලිගේ මහත්මා දේශපාලනයේ ලක්‍ෂණයක් විය. එය ප්‍රවෘත්තියක් ලෙස පුම්බන්නට ඩඩ්ලි වැනි මහත්වරුන්ට අවශ්‍ය වූයේ නැත.
බලශක්ති ඇමති ධුරයකින් ඉල්ලා අස්වීම මහා කාරණයක් ලෙස හුවා දක්වන්නට ගියද, එදා අගමැති ධුරයකින් ඉල්ලා අස්වීම අහම්බයක් නො වීය.
මෙරට කිහිප වරක් අගමැති ධුරයට පත් ඩඩ්ලි සේනානායක ජීවිතයේ අවසන් වරට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ඉතිහාසය ද රසවත් එකකි.
ඩඩ්ලි සේනානායක 1970 දී දැදිගම අසුන රැකගත්තත් - එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයට පත්විය. මුළු රාත්‍රියම කෑගල්ලේ කච්චේරියේ ගත කළ සේනානායක ආපසු කොළඹට ආවේ පසුදා උදේය. එසේ එද්දී අතරමග කීපපළක දී හූ -කීම් හා සරදම්වලින් සංග්‍රහ කරනු ලැබූ මුත් ඔහු ඒ කිසිවකින් කම්පා නොවී ඒ සියල්ල සිනාමුසු මුහුණින් පිළිගත්තේය. උදේ 8.30 ට පමණ බොරැල්ලේ ‘“වුඩ්ලන්ඩ්ස් මන්දිරය” ට ළඟා වූ ඩඩ්ලි සේනානායක කාරයෙන් බැස්සේ මුහුණ පුරා ලස්සන සිනාවක් ඇතිවය.
“හරි වැඩේ නේ වුණේ බ්‍රැඩ්මන්.” යි අග්‍රාමාත්‍ය ලේකම්වරයාට කිව් ඩඩ්ලි කෙළින්ම උඩ තට්ටුවට ගියේය. විනාඩි කිහිපයකින් මූණ සෝදා ඇඳුම් මාරු කරගෙන පහළට බැස්සේය. එසේ පඩි පෙළේ බැසගෙන එන අතරම
‘“බ්‍රැඩ්මන් අරව හරි ද?” යි විමසීය.
“මොනවද සර්?” බ්‍රැඩ්මන් ඇසුවේය.
“අගමැතිකමෙන් ඉල්ලා අස්වීමේ ලියවිලි ! ඉල්ලා අස්වීමේ ලියවිලි !”
හෙතෙම දෙවරක්ම කීය.
“සර් කැබිනට් මණ්ඩලේට කතා කළේ නෑනේ?”
“මොන කැබිනට් ද බ්‍රැඩ්මන්? ඒ ගොල්ලොත් සේරම පරාදනේ!”
“සර් අද බලල තීරණයක් ගත්තොත් නරක ද?”
“කෙහෙල්මලටයැ අද බලන්නේ? දැන්මම ඉල්ලා අස්වීමේ ලියවිලි අරන් එන්න.”
බ්‍රැඩ්මන් අගමැති ඩඩ්ලි ගේ අණට කීකරු වී වහාම කොටුවේ අගමැති කාර්යාලයට ගොස් එය විවෘත කරවා අගමැතිතුමාගේ ඉල්ලා අස්වීමේ ලියැවිලි සූදානම් කරගෙන ආපසු ‘වුඩ්ලන්ඩ්ස් මන්දිරයට‘ ආවේය.
ඩඩ්ලි ඒවාට අත්සන් කළේය. බ්‍රැඩ්මන් ඒවා ගෙන ගොස් අග්‍රාණ්ඩුකාරවර විලියම් ගොපල්ලවට බාර දෙන ලදී.
ආණ්ඩුවක් පිහිටුවන ලෙස අග්‍රාණ්ඩුකාරතුමා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ආරාධනා කළේ ඉන්පසුවය.
අගමැතිකමෙන් ඉල්ලා අස්වීම ඩඩ්ලිගේ මහත්මා දේශපාලනයේ ලක්‍ෂණයක් විය. එය ප්‍රවෘත්තියක් ලෙස පුම්බන්නට ඩඩ්ලි වැනි මහත්වරුන්ට අවශ්‍ය වූයේ නැත.
1965 මාර්තු 22 පැවති මැතිවරණයේ දි මැතිනිය පරාජය වූ අවස්ථාවේ ඉල්ලා අස් වූ අයුරුද ක්‍රියාදාම චිත්‍රපටයක් සේ අපේ සිහියට නැගේ.
මහඡන්ද ප්‍රතිඵල නිකුත් වූ හවස් වනවිට මැතිනියට ඉල්ලා අස් නොවන ලෙස බලකරන අයගේ ගණන වැඩි විය. සමසමාජ පක්ෂයේ අය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරුන්ද කෙළින්ම කීවේ මැතිනිය ඉල්ලා අස් නොවී දිගටම සිටිය යුතු බවය. මැතිනියට අස්වන්නට එපා යැයි කී පිරිස එන්ට එන්ටම බලවත් විය.
ඒ අවස්ථාවේ හැටියට මැතිනිය කළ යුතුව තිබුණු හරි දේ ඉල්ලා අස්වීම බව කියන්නට තරම් ධෛර්යයක් තිබුණු අය අතර - පීලික්ස් ඩයස් බණ්ඩාරනායක, ජේ.පී. ඔබේසේකර, ශිවා ඔබේසේකර, මැකී රත්වත්තේ යන අය මුල් තැන ගනිති. පසුව හෙළිදරව් වූ අන්දමට එදා රාත්‍රියේ අග්‍රාණ්ඩුකාරතුමා මැතිනියට කතා කොට අනවශ්‍ය ප්‍රශ්න පටලවා නොගෙන වහාම ඉල්ලා අස්වන ලෙස කියා තිබුණි. අග්‍රාණ්ඩුකාරවරයා හැටියට පමණක් නොව තමාගේ මාමා කෙනෙකු හැටියට ගොපල්ලව දුන් උපදේශය මැතිනිය පිළිගත්තාය.
එවර මැතිනියගේ ඉල්ලා අස්වීම බ්‍රැඩ්මන් එදා ලංකාදීපයට විස්තර කොට තිබුණේ මෙසේය.
“පසු දා උදේ හෙවත් මාර්තු 25 වැනිදා උදේ 8ටත් කලින් මට අරලිය ගහ මන්දිරයෙන් ටැලිෆෝන් පණිවුඩයක් ලැබුණි. මැතිනිය ඉල්ලා අස්වීමේ ලියුම ඉල්ලන බව එයින් කියවුණි. මම කෙළින්ම අරලියගහ මන්දිරයට ගොස් මැතිනියගේ ඉල්ලා අස්වීමේ ලියුමත් රැගෙන උඩ තට්ටුවට ගියෙමි. මැතිනිය ඊට අත්සන් කළාය. මගේම අතින් ලියුම අග්‍රාණ්ඩුකාරතුමාට ගෙන ගොස් දීමට කැමති වූ මම තරප්පුව බැස පහළට එනවිට මැතිනියට ඉල්ලා අස්වීමට එපා යැයි බලකළ කණ්ඩායම් බලවත්තු කීප දෙනෙක් මා දෙස රවාගෙන මාගේ ඇඟේද හැපීගෙන ඉහළට ගියහ. මම ඒ මොහොතේම රජගෙදරට ගොස් මැතිනියගේ ඉල්ලා අස්වීමේ ලියුම දෑතින්ම විලියම් ගොපල්ලවට බාර දුන්නෙමි”
ලංකා දේශපාලන ඉතිහාසයේ ඉල්ලා අස්වීම් ගැන තවත් ඉතිහාසගත තොරතුරු හාරා අවුස්සද්දී අපට තවත් ඉතිහාසගත තොරතුරු සොයාගත හැකි විය.
ඉතිහාසයේ හඳුනාගත් පරිදි තම පියා වූ ඩී.එස්. සේනානායක අශ්වයා පිටින් වැටීම නිසා 1952 මාර්තු 22 වැනිදා අභාවප්‍රාප්ත වීමෙන් පසු ඩඩ්ලි අගමැති පදවියට පත් විය. ඒ වනවිට කෘෂිකර්ම සහ ඉඩම් ඇමති පදවිය දැරූ ඩඩ්ලි අගමැතිවරයා ලෙස පත්වූයේ 1952 මාර්තු 26 වැනිදාය. එවර ඔහු අගමැති පදවිය දරාසිටියේ හරියටම වසර එකහමාරක පමණ සුළු කලකි. 1953 හර්තාලය ඒ අයුරින් ඉල්ලා අස්වීමට හේතු විය .
එදා ඩඩ්ලි ඔක්තෝබර් 12 වැනිදා උදේ 10.12 ට පමණ සිය ඉල්ලා අස්වීම අග්‍රාණ්ඩුකාරවරයාට බාරදුන් අතර, පැයකින් පමණ පසු එනම් 11.20ට සර් ජෝන් කොතලාවල අගමැතිවරයා ලෙස පත්කරන ලදී.
එදින රජගෙදර අවට මහ සෙනඟක් රැස්ව සිටි අතර, සර් ජෝන් කොතලාවල ඉමහත් සතුටට පත්ව පුවත්පත් වාර්තාකරුවන් අමතමින් “ආවා බොලෝ” යැයි හඬ නඟා පැවසූ බවක්ද පුවත්පත්වල වාර්තා වී තිබුණි. “ඩඩ්ලි අස්වුණා. මම අගමැති” යැයි කොතලාවල සිය මෑණියන්ට දැනුම් දුන් බවක් ද එමෙන් පුවත්පත්වල පළ වී තිබිණි.
එමෙන්ම තවත් ප්‍රබල දේශපාලන චරිතයක ඉල්ලා අස්වීමක් සිදුවූයේ 1964 දෙසැම්බර් 03 වැනිදාය. එවකට පැවති සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ සභානායකවරයා වූ ඉඩම් වාරිමාර්ග සහ විදුලිබල ඇමැතිව සිටි සී.පී. ද සිල්වා සිය ඇමැති පදවිවලින් ඉල්ලා අස්වී විරුද්ධ පක්ෂයකට එක් විය. විරුද්ධ පක්ෂයට එක්වීමේ දී එදා පිල් මාරු කරමින් සී.පී. ද සිල්වා කළ ප්‍රකාශයක් පුවත්පත්වල පළ විය. මේ බොහෝ දේශපාලකයන්ගේ දූ දරුවන් - මුනුබුරන් අද දේශපාලනයේ නැති බැවින්, අද පරම්පරාව මේ දේශපාලන චරිත ගැන මෙලෝ හසරක් දන්නේ නැත.
කර්මාන්ත ඇමැති ටී.බී. සුබසිංහ, නිවාස සහ ඉදිකිරීම් ඇමැතිවරයාව සිටි පීටර් කෙනමන්, අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති බී.වයි. තුඩාව යන අයද පැවති රජයේ ඇමැති පදවිවලින් ඉල්ලා අස්වූහ. එය සිදුවුයේ 1977 පෙබරවාරි මාසයේ දී මැතිනියගෙ යුගයේ දීය.
ඉල්ලා අස්වීමට කප් ගැසූ පුද්ගලයා රොනී ද මැල්ය. 1983 දි දෙවිනුවර මන්ත්‍රීවරයාව සිටි රොනී ද මැල් පසුව බුලත්සිංහල මන්ත්‍රීවරයා ලෙස පත්විය. 1988 වසරේ ජනවාරි 18 වැනිදා රොනී ද මැල් ඔහු දැරූ මුදල් ඇමැති පදවියෙන් ඉල්ලා අස්විය. ඒ වනවිට ඔහු මුදල් හා ක්‍රම සම්පාදන ඇමැතිවරයා විය. පසුව 1988 අගෝස්තු 12 වැනිදා ඔහු බුලත්සිංහල අසුනේ මන්ත්‍රී පදවියෙන් ද ඉල්ලා අස් විය.
මෑත අතීතයෙන් ගතහොත් හෝමාගම මන්ත්‍රී ගාමණී ජයසූරියගේ ඉල්ලා අස්වීමෙන් පටන් ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී හා අමාත්‍ය ධූර ඉල්ලා අස්වීම් ලැයිස්තුවක්ම ඉදිරිපත් කළ හැකිවේ.
මෙලෙසින් බලන කල බලශක්ති ඇමැති කුමාර ජයකොඩි ගේ ඉල්ලා අස්වීම හුදෙක් ගලායන දැවැන්ත ගංගාවකට පොල් ලෙල්ලක් වැටීම වැනි ගණන් ගත යුතු තත්ත්වයක එකක් නොවේ.
මහින්ද රණවීර

