පාර්ලිමේන්තු කැන්ටිමේදී විපක්ෂ මන්ත්‍රීවරු පිරිසකට ජනපති කිව්ව කතාව


22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට

22 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් පිට පෙත්සම් ගොඩගැසුණේ දේශපාලන ක්ෂේත්‍රයම පුදුම කරවමිනි. එම කෙටුම්පතට එරෙහිව මහජනතාවට විරෝධතා ගොනු කිරීමට ලබා දී ඇති සති දෙකක කාලය තුළ මෙම පෙත්සම් ඉදිරිපත් කළ යුතු අතර, මුල් දින දෙකේදීම පෙත්සම් 37ක් ඉදිරිපත්ව තිබිණි. අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු දිනයේම එයට එරෙහිව පෙත්සම් හයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සමගි ජන බලවේගය, සර්වජන බලය, නිදහස් නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව එලෙස පෙත්සම් ඉදිරිපත් කළහ.

නීතිඥ සංගම් ගමනට ආණ්ඩුව විරුද්ධ වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඇමැති බිමල් රත්නායක අතර උණුසුම් කතාබහක් ඇති වූයේ ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් පසුදා පාර්ලිමේන්තුවට පැමිණෙන බව ප්‍රකාශ කිරීමත් සමඟය. විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීම පිළිබඳව නීතිඥ සංගමය ගෙන්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට විපක්ෂ නායකවරයා සූදානම් වූ අතර, ඇමැති බිමල් රත්නායක කීවේ වෘත්තීය සමිතියක නියෝජිතයන් පාර්ලිමේන්තුවට කැඳවීමට විපක්ෂයට බලයක් නොමැති බවය. තමා මෙම ප්‍රශ්නය ආරම්භ වූ අවස්ථාවේ සිට කතානායකවරයා දැනුවත් කළ සියලු‍ ලිපි සභාගත කිරීමට ද විපක්ෂ නායකවරයා මෙහිදී කටයුතු කළේය.

ඩේලි මිරර් කාටුනය විපක්ෂ මන්ත්‍රීන් අතේ

ආණ්ඩු පක්ෂය 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආවේ ඉකුත් අඟහරුවාදාය. එම සතියේ සඳුදා විපක්ෂයේ පාර්ලිමේන්තු කටයුතු ගැන කතාබහ කෙරෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විපක්ෂ මන්ත්‍රීවරුන් කතාබහ කළේ එදින පාර්ලිමේන්තුවේදී විරෝධතාවක් පළ කළ යුතු බවය.

”‍මේ කෙටුම්පත නිකම්ම සභාගත කරන්න දීලා බෑ. අපි මොකක් හරි විරෝධතාවක් පළ කළ යුතුයි.”‍ විපක්ෂ නායක සජිත් කියා සිටියේය.

”‍ඒක හරි, අනිවාර්යයෙන්ම අපි විරෝධය පෙන්වන්න ඕනෑ. එයාලට ඕනෑ දේ විතරක් කරන්න දීලා බලා ඉන්න හොඳ නෑ...”‍ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කීවේය.

”‍අපි මොනවාද කරන්නෙ කියන්න බලන්න...”‍ මන්ත්‍රීවරුන් දෙස හැරුණු සජිත් කීවේය.

”‍මේක හොඳයි... මේ කාටුන් එක,”‍ එසේ කී දයාසිරි එදින ‘ඩේලි මිරර්‘ පුවත්පතේ පළව තිබූ කාටුනය ඔසවා මන්ත්‍රීවරුන්ට පෙන්වූයේය. ”‍මේකෙ හොඳ අදහසක් තියෙනවා. රටේ පාලන කුලු‍නු තුන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය. විධායකය සහ ව්‍යවස්ථාදායකය දෙකම රතු පාටයි. අනුර මේ තීන්ත බල්දියක් අරගෙන අධිකරණය කියන කුලු‍නේත් රතු පාට ගානවා. අපි ඇමැතිවරයා 22 පාර්ලිමේන්තුවට දානකොට මේක විරෝධයට අල්ලගෙන ඉමු...”‍ දයාසිරි යෝජනා කළේය.

එම අදහසට අනුමැතිය පළ විය. ඒ අනුව එම කාටුනය ස්කෑන් කර සියලු‍ විපක්ෂ මන්ත්‍රීන්ට ලබා දුන් අතර, පසුදා ඇමැතිවරයා පනත ඉදිරිපත් කරන විට විපක්ෂය විරෝධය පාමින් ප්‍රදර්ශනය කළේ එම කාටුනයයි.

දයාසිරිට - අලින්ට ජනපති කී දේ

ඉකුත් බ්‍රහස්පතින්දා විපක්ෂය බලාපොරොත්තු වූ නීතිඥ සංගම් රැස්වීම වෙනුවෙන් එම සංගමය පාර්ලිමේන්තුවට නොපැමිණි අතර ඒ වෙනුවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියේය. දිවා ආහාර විවේකයේදී ජනාධිපති අනුර ද මන්ත්‍රී භෝජනාගාරයට ගොස් දිවා ආහාරය ලබාගත් අතර ඔහුට එහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, දිලිත් ජයවීර සහ නිසාම් කාරියප්පර් මුණගැසුණි.

”‍කොහොමද මන්ත්‍රීතුමන්ලා... කොහොමද දයාසිරි මන්ත්‍රීතුමා...”‍ එසේ කී ජනාධිපතිවරයා එම මන්ත්‍රීවරුන්ගේ අතට අත දී කතා කළේය.

”‍වැරදියිනෙ ජනාධිපතිතුමා, නීතිඥ සංගමේ කට්ටිය එන්න නොදුන්න එක. ඇවිත් කතා කරන්න දුන්නා නම් හරිනෙ...”‍ දයාසිරි ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු ජනාධිපතිගෙන් විමසූහ.

”‍නෑ... නෑ... ඒ ඉල්ලීම විපක්ෂ නායක ඉදිරිපත් කරන්නෙ නැතිව ඒ සංගමේ සභාපතිතුමා ඉදිරිපත් කළා නම් ඉවරයිනෙ. එහෙම වුණාම විපක්ෂ නායක මේ අයව ගෙන්නුවා වගේනෙ යන්නෙ... ඒක හොඳ නෑනෙ...”‍ ජනාධිපති අනුර කියා සිටියේය.

”‍බිමල් ඇමැතිතුමා කතා කළ විදිහ බොහොම සැර වැඩියි. ඕවා ඔය විදිහට නෙවෙයි බේරගන්න ඕනෑ...”‍ දයාසිරි කීවේය.

”‍ඔබතුමාලා අපේ විපක්ෂ නායකතුමා මතු කරන කරුණුවලට උත්තර දෙන්නකෝ...”‍ එසේ කීවේ දිලිත් ජයවීර මන්ත්‍රීවරයාය.

”‍විපක්ෂ නායකතුමා තමයි අපිට තියෙන වටිනාකම. එතුමා කතා කරන්න කතා කරන්න ආණ්ඩුවට හොඳයි. චන්ද්‍රිකාගෙ කාලෙ මහින්දට එන්න දෙන්නෙ නැතුව රනිල් මහින්දව හිරකරගෙන හිටියා. අන්තිමට චන්ද්‍රිකාගෙන් පස්සෙ මහින්ද ජනාධිපති වුණා. මතක තියාගන්න...”‍ සිනාසෙමින් කී ජනාධිපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමුගෙන ගියේය.

වසන්තට උපදෙසක්

”‍ආ වසන්ත ඇමැතිතුමා... අපි කාලයක් තිස්සේ වේදිකාවල කතා කරපු ප්‍රශ්නයක් තියෙනවනෙ එළවළු හා පලතුරු ප්‍රවාහනයේදී සිදුවෙන හානිය ගැන. මේ නිසා අර තොග වෙළෙඳ මධ්‍යස්ථානවල වැඩ ටික හරියට ගොඩදාගත්තොත් හොඳයි...”‍ ජනාධිපතිවරයා එසේ විමසුවේ වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මුණගැසුණු අවස්ථාවකදීය.

”‍ඔව් සහෝදරයා... අපි ළඟදීම රට පුරා තොග වෙළෙඳ මධ්‍යස්ථාන නවයක් ආරම්භ කරන්න ඉන්නේ. ඒකෙන් රට පුරාම වගේම තම තමන්ගේ ප්‍රදේශවලත් නැවුම් එළවළු පළතුරු බෙදාහරින්න පුළුවන්. අපේ ගොවීන්ට බොහොම කාලයක් තියෙන ප්‍රශ්නයක් මේ හරහා විසඳගෙන යන්නේ...”‍ ඇමැති වසන්ත සමරසිංහ කියා සිටියේය.

”‍ඒක හොඳයි. එතකොට අර වී වේළන යන්ත්‍රවල තත්ත්වය කොහොම ද?”‍ ජනපති යළිත් විමසීය.

”‍ඒ වැඩෙත් කෙරෙනවා. මැෂින් හතළිස් පහක් දෙන්නයි කටයුතු කරගෙන යන්නේ...”‍ වසන්ත ඇමැතිවරයා කීවේය.

”‍ඒ කටයුතු ලාල් සහෝදරයත් එක්කත් කතා කරලා කරන්න. අපි ජනතාවගේ ප්‍රශ්න ටික ගැන බලන්න ඕනෑ. ගමේ පාරවල් හදන එක වගේම මේ වැඩ ටිකත් හොඳින් කෙරෙන්න ඕනෑ,”‍ ජනපතිගේ අදහස විය.

ඇමැතිවරුන් බන්ධනාගාරයේ

බන්ධනාගාර කිහිපයකම රැඳවියන්ගේ උද්ඝෝෂණ හා උණුසුම්කාරී තත්ත්වය උද්ගතවීමෙන් අනතුරුව ජනාධිපති අනුර දිසානායක මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල සහ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර සමඟ එම තත්ත්වයට හේතු සොයා ගැනීම සඳහා සාකච්ඡා වාර කිහිපයක්ම පැවැත්වීය. එහිදී ජනාධිපතිවරයා ඇමැතිවරුන් දෙපොළට උපදෙස් දුන්නේ, බන්ධනාගාර සියල්ලටම ගොස් නිලධාරීන් පමණක් නොව රැඳවියන් පවා හමුවී ඔවුන්ගේ ප්‍රශ්න සහ අඩුපාඩු සොයා බලන ලෙසය.

එම උපදෙස් අනුව ඇමැතිවරුන් දෙදෙනා බන්ධනාගාර කිහිපයකටම ගොස් අඩුපාඩු සොයා බැලූහ. මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මීගමුව, පල්ලන්සේන සහ වාරියපොළ බන්ධනාගාර වෙතත්, අධිකරණ ඇමැති හර්ෂණ කළුතර, බූස්ස, ගාල්ල සහ මාතර බන්ධනාගාර වෙතත් ගොස් සිරකරුවන් සහ රැඳවියන්ගේ ප්‍රශ්න සොයා බැලූහ.

”‍අපි ඔවුන්ට වරදක් කරන්න යන්නේ නෑ. ඔවුන්ගේ ප්‍රශ්න සොයා බලන්න යන්නේ. ඒ නිසා අපි ගිහින් කතා කළාම එයාලා තේරුම් ගනීවි,”‍ ආනන්ද විජේපාල ඇමැතිවරයා පැවසුවේ මෙම ගමන ආරක්ෂිත දැයි බොහෝ දෙනා විමසූ නිසාය.

විජේපාල ඇමැතිවරයා ගිය බන්ධනාගාරවලදී රැඳවියන්ගෙන් ඔහුට ලැබුණේ යටහත්පහත් පිළිගැනීමකි. ”‍අපි කවුරුත් මිනිස්සු. කා අතිනුත් වැරදි සිදුවෙනවා. අවශ්‍ය වෙන්නේ ඔයාලා නැවත මෙහාට එන්න හිතන්නේ නැතුව නිවැරදි වෙන්න උත්සාහ කිරීමයි. ඔයාලා මෙතන ඉන්නකම් පහසුකම් සැලසීම අපේ වගකීම. අපි ආවේ ඒ ගැන බලන්නයි,”‍ විජේපාල ඇමැතිවරයා කීවේය.

එම රැඳවියන් ප්‍රශ්න ගණනාවක්ම ඔහුට ඉදිරිපත් කළහ. ඉඩකඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, අධික දහදිය නිසා විඳින දුෂ්කරතා, ජලය ප්‍රමාණවත් නොවීම, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීමෙන් තමන් දිගු කාලයක් රඳවාගෙන සිටීම වැනි ප්‍රශ්න ඔවුන්ගෙන් ඉදිරිපත් විය. එම ප්‍රශ්න ගණනාවකටම බන්ධනාගාර කොමසාරිස් සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා දුන් අතර, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය ගැන ඇමැතිවරයා කීවේ රජය එම ප්‍රශ්නය හඳුනාගෙන ඇති බවය.

”‍ප්‍රශ්නේ තියෙන්නේ කලින් ආණ්ඩුවලින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය බඳවා ගැනීම් කරලා නෑ. අපි ඒවා විසඳගෙන යනවා,”‍ ඇමැතිවරයා කියා සිටියේය.

අධිකරණ ඇමැති හර්ෂණ කළුතර බන්ධනාගාරයට යන විට එහි රැඳවියන් සිටියේ උඩුකයට ඇඳුමක්වත් නැතිවය. වහා තම ඇඳුම්වලින් සැරසුණු එම රැඳවියෝ ඇමැතිවරයා උණුසුම් ලෙස පිළිගත්හ.

”‍ඔබතුමා වැනි ඇමැති කෙනෙක් කවදාවත් අපිව හමුවෙන්න ඇවිත් නෑ...”‍ ඔවුහු කියා සිටියහ. ඔවුන් ද තම ගැටලු‍ ඉදිරිපත් කළ අතර, ඇමැතිවරයා එම මොහොතේ දිය හැකි විසඳුම් ලබා දී සෙසු ප්‍රශ්න රැගෙන ආවේය. එම ප්‍රශ්න ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සජබෙ අනුරපුරයට

අනුරාධපුරයේදී මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත පක්ෂ ප්‍රවර්ධන ජනහමු මාලාව ගැන ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඉකුත් සතියේදී පැවැත්වුණේ සජබ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි. මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක කබීර් හෂීම් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

”‍අපි මෙම ප්‍රවර්ධන වැඩමුළුව පවත්වන්නේ පෝලිම්බූත් මට්ටමින්. ජනහමු සියයක් පැවැත්වීම අපේ අරමුණයි. අපේ සියලු‍ම ආසන සංවිධායකවරුන් ගමින් ගමට යන මෙම ජනහමුවලට සහභාගි වෙනවා. මෙම වැඩසටහන සියයට සියයක්ම සාර්ථක කර ගැනීමට දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් වගේම අන් සියලු‍ දෙනාත් වගබලා ගන්න ඕනෑ... ජනහමු සියයම හරියට සංවිධානය වෙලා කියන වගකීම සංවිධායකවරු භාර ගන්න ඕනෑ...”‍ විපක්ෂ නායක සජිත් එහිදී කියා සිටියේය.

තිස්ස, කරු, නිමල් කතාබහ කළ දේ

රටම ගරු කරන භික්ෂූන් වහන්සේ නමක වූ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පොදු මහජනතාව මෙන්ම කලාකරුවෝ ද ගියහ. සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ද උන්වහන්සේට ගෞරව දැක්වීම සඳහා යද්දී, හිටපු කතානායක කරු ජයසූරිය සහ ශ්‍රීලනිප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ද පැමිණ සිටියහ.

”‍කොහොමද හිටපු කතානායකතුමා,”‍ හිටපු කතානායක කරුගේ සුවදුක් විමසමින් තිස්ස එසේ කීවේය.

”‍මම නම් දැන් දේශපාලනයේ නෑනෙ තිස්ස. මම බොහොම නිවාඩු පාඩුවේ නිදහසේ ඉන්නවා... ඒත් රට යන අත ගැන නම් මට දුකයි, කනගාටුයි,”‍ කරු කියා සිටියේය.

”‍රට යන්නෙ බොහොම භයානක තැනකට. තනි පක්ෂයේ දේශපාලනයකටනෙ යන්න හදන්නේ. අවසානයේ ඒකාධිපති පාලනයක් බිහිවෙයි. හැම පක්ෂයකම අය එකතුවෙන්නයි දැන් ඕනෑ...”‍ නිමල් සිරිපාල එසේ කීවේය.

සඳහම් පවුර සජබයටම

සජබයේ ආගමික කටයුතුවලට සහභාගි වූ ”‍සඳහම් පවුර”‍ බෞද්ධ සංවිධානය පක්ෂයේ අනුබද්ධ සංවිධානයක් ලෙස පිළිගැනීමේ උත්සව සභාවක් ඉකුත් සතියේ පැවැත්වුණේ සජබ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙනි. මාසිකව ධර්ම දේශනා වැඩසටහනක් සහ වෙනත් ආගමික වැඩසටහන් සජබය වෙනුවෙන් එම සංවිධානය ඉටු කළේය. විපක්ෂ නායක කාර්යාලයේ පැවැති එම උත්සවයට පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ද සඳහම් පවුර මෙහෙයවූ සුරත් ජයසුන්දර සහ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ද එක්ව සිටියහ.

”‍අපිට ඉදිරියේදී ලොකු අභියෝගාත්මක වැඩකොටසකට මෙම සඳහම් පවුර යටතේ මුහුණ දෙන්න වෙනවා. මේ ආණ්ඩුව වැඩකරගෙන යන්නේ ආගම ධර්මය නොසලකා, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින්. ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දීලා තිබුණත් අද මේ ආණ්ඩුවේ එහෙම පිළිවෙතක් නෑ,”‍ විපක්ෂ නායක සජිත් එහිදී කියා සිටියේය.

ග්‍රාම නිලධාරී - සජිත් කතාබහක්

විපක්ෂ නායකවරයා ඉකුත් සතියේ ග්‍රාම නිලධාරී සංගමයේ නිලධාරීන් හමු වූයේ ඔවුන්ගේ ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා තිබූ නිසාය. ඒ වන විට තම ඉල්ලීම් මුල්කරගෙන ග්‍රාම නිලධාරීන් අකුරට වැඩ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි.

විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේ, ගම් හදා නගර හදා රට හදන වැඩසටහන්වලට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන රාජ්‍ය නිලධාරී කොට්ඨාසයක් ලෙස තමා ග්‍රාම නිලධාරී සේවය අගය කරන බවය. ඩෙංගු මර්දනයේ සිට පදිංචි සහතිකය සහ මරණය දක්වාම ගමේ ජනතාවට සෘජුවම සම්බන්ධ වන රාජ්‍ය සේවකයා ග්‍රාම නිලධාරීවරයා බව කී විපක්ෂ නායකවරයා, රජය ඔවුන්ට ඉකුත් කාලයේ ලබා දීමට පොරොන්දු වූ ලීටර් විස්සේ ඉන්ධන දීමනාව සහ ඉහළ දමන බව කී සන්නිවේදන දීමනාව ද ලබා දීමට පියවර ගත යුතු බව ද කීවේය. තම ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් වෙන් කිරීම ගැන එම නිලධාරීන්ගේ ස්තුතිය ද විපක්ෂ නායක වෙත පුද කෙරිණි.

නාමල් පොළොන්නරුවේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම් කිහිපයක් ඉකුත් සතියේ පොළොන්නරුවේ දියබෙදුම හා මනම්පිටිය යන ප්‍රදේශවල පැවැත්විණි. නාමල් රැස්වීමට පැමිණෙනු දුටු එක් කාන්තාවක්, ”‍අනේ පුතේ, ඔයා දැන්නම් තාත්තා වගේමයි”‍ යැයි පැවසුවාය.

”‍ඔව් නැන්දේ, බොහොම ස්තුතියි”‍ කියමින් නාමල් කෙළින්ම ගියේ වේදිකාවටය. තම කතාවෙන් අනතුරුව නාමල් පැමිණ සිටි පිරිස සමඟ ද කතාබහක යෙදුණේය.

”‍නාමල් මහත්තයා දිගටම එන්න. නාමල් මහත්තයා විතරයි ගොවි ප්‍රශ්න ගැන කතා කරන්නෙ. ඒක අපට ලොකු හයියක්...”‍ රැස්වීමට පැමිණ සිටි ගොවි මහතෙක් කීවේය.

”‍මහින්ද මහත්තයා තමයි ගොවියො ගැන බලලා අපට පොහොර වගේම වීවලට සහතික මිලක් දුන්නෙ...”‍ තවත් ගොවියෙක් කීවේය.

”‍ඔව්, අපට දුක තේරෙනවා. පසුගිය කාලෙ පොහොර ප්‍රශ්නය නිසා ගොවි මහත්වරුන් අපිත් එක්ක අමනාප වුණා. දැන් ඒ අයටත් මේ ආණ්ඩුවෙ වැඩ තේරිලා,”‍ නාමල් කියා සිටියේය.

”‍මම දැක්කා ඩ්‍රෝනවලින් පොහොර ගහනවා කියන එකට ජවිපෙ අය මඩ ගහනවා,”‍ ජොන්ස්ටන් ද කතාවට එක්විය.

”‍දැන් පොහොර මිටියක් ගන්නෙ කීයට ද?”‍ නාමල් විමසීය.

”‍අපෝ, ඔක්කොම පෝර දහඅටදාහෙන් උඩ,”‍ ගොවි මහතෙක් කීවේය.

”‍ගොවි මහත්වරුන් තරහ කරගෙන ආණ්ඩු කරන්න බෑ. අඩුම ගානෙ අපිට වෙච්චි අඩුපාඩු දිහා බලලවත් උද්දච්චකම පැත්තකින් තියලා ආණ්ඩුව වැඩ කළොත් හොඳයි,”‍ නාමල් ඔවුන්ට කීවේය.

22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාවට සජබ මන්ත්‍රීවරුන් පිරිසකගේ ප්‍රසාදය හිමි විය. නාමල් තම කතාව කර චානක මාදුගොඩ මන්ත්‍රීවරයාත් සමඟ සභාවෙන් පිටතට යද්දී ඔහුව හමු වූයේ සජබ මන්ත්‍රී පිරිසකි.

”‍කතාව නම් සුපිරියි,”‍ සජබ මන්ත්‍රීවරයෙක් කීවේය.

”‍ආණ්ඩුව නම් කියන්නෙ නාමල් හැමදාම කතාවක් කරලා පැනලා යනවා කියලා...”‍ තවත් සජබ මන්ත්‍රීවරයෙක් කීවේය.

”‍මම අද කිව්වා දැන් ප්‍රශ්න අහන්න කියලා... කොහෙද මීක් නෑ. ඊට පස්සෙ නැගිටලා යනකොට ‘අන්න නාමල් යනවා‘ කියලා ටී.වී.වලට පෙනෙන්න කෑගහනවා,”‍ නාමල් කීවේය.

”‍22 වැනි සංශෝධනය ගැන ඔයා කළ කතාවත් හොඳයි,”‍ එම මන්ත්‍රීවරයා කීවේය.

”‍එයාලා කියන්නෙ 22 වැනි සංශෝධනයට විරුද්ධ ඔක්කොම අය හොරු කියලා. එතකොට මහානායක හිමිවරුනුත් මේකට විරුද්ධයි. නීතිඥවරුන්, විදේශ රටවල සංවිධාන එහෙමත් විරුද්ධයි. ඒ අයත් එතකොට හොරුද? මට රැස්වීමක් තියෙනවා, එහෙනම් මම යනවා,”‍ කී නාමල් එම මන්ත්‍රීවරුන්ගෙන් සමුගත්තේය.

පොතක් දොරට වැඩීමේ උත්සවයකදී හමු වූ රහස

ඒ අතරවාරයේ රනිල්ට විශේෂ උත්සවයක් සඳහා ද ඉකුත් සතියේ සහභාගී වීමට සිදු විය. ඒ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ලියූ ”‍යුද දෙකකට උරදී”‍ ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයයි. එය පැවැත්වුණේ කොළඹ බී.එම්.අයි.සී.එච්. හිදීය.

හිටපු ජනපති රනිල් එහි පැමිණි සැණින් ගියේ විශේෂ අමුත්තන් සඳහා වෙන් කෙරුණු කාමරයටයි. එහි ගිය විගස රනිල් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නට කතා කර ඔහුගේ කනට කර යම් රහසක් පැවසීය. ඒ සමඟම කඩිනමින් ඉවතට ගිය හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වේදිකාව ඉදිරියේ අසුන්ගෙන සිටි සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට යමක් පැවසීය. පණිවිඩයත් සමඟ මද්දුම බණ්ඩාර කඩිනමින් රනිල් අසලට පැමිණියේය. අනතුරුව ඔවුන් දෙදෙනාගේ පමණක් සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී සාකච්ඡා කෙරුණේ මොනවාදැයි අනාවරණය වූයේ නැත. අනතුරුව දෙදෙනාම එකට උත්සව සභාවට පැමිණියහ.

පොත දොරට වැඩීමේ උත්සවයේදී සියඹලාපිටිය රුවන්වැල්ලෙන් දේශපාලනයට පැමිණි ආකාරය පිළිබඳවත්, රනිල් මීදෙනිය පවුල සම්බන්ධ කරගෙන රුවන්වැල්ලට තිබෙන සම්බන්ධය ගැන සඳහන් කරමින් තුන්කෝරළයේ සබඳතා ගෙනහැර දක්වමින්ද කතාව ඇරඹීය.

ඩොලර් සංචිත ගැන රනිල්ගේ අසුබ සත්‍යය

රනිල් ප්‍රධාන උත්සවයකට සහභාගී වී කතාවක් කළේ දිගු කාලයකට පසුවයි.

”‍මේ වන විට අපේ විදේශ සංචිතය තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන හයක මට්ටමකයි. මේ වසර අවසානය වන විට එය ඩොලර් බිලියන 8ක් පමණ වනු ඇතැයි මහ බැංකුව කියනවා. තව අවුරුදු දෙකක් ගත වන විට අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 14.8ක් එනම් ඩොලර් බිලියන 15කට ආසන්න විය යුතුයි. එතකොට තව ඩොලර් බිලියන හතක් අඩුයි. කුමන හෝ ක්‍රමයකින් ඩොලර් බිලියනයක් සොයා ගත්තත් තවත් ඩොලර් බිලියන හයක අඩුවක් තිබෙනවා. මේ අඩුව සම්පූර්ණ කරන්න ආණ්ඩුව කිසිම ආකාරයක වැඩපිළිවෙළක් සකස් කරලා නැහැ. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිට කිසිම සාකච්ඡාවක් කරලත් නැහැ. සියඹලාපිටිය පොතේ නමට දාලා තියෙන්නේ ‘යුද දෙකකට උරදී‘ කියලා. නියම යුද්ධය පටන් ගන්නේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15 දක්වා වැඩි කරගන්න නොහැකි වුණොත්. මම සාමාන්‍යයෙන් සුබවාදී ආරංචි නෙමෙයි කියන්නේ. හැම වෙලාවෙම ඇත්ත කතා කරන්නේ. ඒවා ගොඩක් අයට අසුබයි. නමුත් සත්‍ය මේක තමයි,”‍ යනුවෙන් රනිල් තම දෙසුම කළේය. රනිල්ගේ මේ කතාව විශාල වශයෙන් සමාජ මාධ්‍යයේ පළ විය.

ඊට පහුවදාම ඇමැති අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී ඊට පිළිතුරු දුන්නේය. අනිල් ජයන්ත කීවේ රටක සංචිත කියන්නේ ආර්ථිකය මනින එකම මිනුම්දණ්ඩ නොවන බවයි.

එංගලන්ත ගමන සහ නිල ආරාධනය

එමෙන්ම රනිල් ඉහත කතාව කී සැනින් සමාජ මාධ්‍ය ඔස්සේ එංගලන්ත ගමන ගැන කියමින් විවිධ ප්‍රහාර එල්ල කරන්නට පටන් ගැනුණි.

ඇත්තෙන්ම රනිල් එංගලන්තයේ සංචාරය කළේ නිල ආරාධනයකට අනුව බව වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය යළිත් තහවුරු කර සිටී. වුල්වර්හැම්ප්ටන් සරසවිය පවසන්නේ හිටපු ජනාධිපතිවරයාගේ සංචාරය එක්සත් රාජධානියේ රජයේ ආරාධනාවක් මත නොව විශ්වවිද්‍යාලයේ ඇරයුමකට අනුව සිදු වූ බවයි. වුල්වර්හැම්ප්ටන් සරසවිය පෙන්වා දෙන කරුණු අනුව රාජ්‍ය සංචාරයක් සහ නිල සංචාරයක් අතර පවතින වෙනස්කම පැහැදිලිව දක්වයි.

රාජ්‍ය සංචාරයකදී ආරාධිතයා ගුවන් යානයෙන් බැසීමේ සිට නැවත පිටත්ව යාම සඳහා ගුවන් යානයට ගොඩවන තෙක් සිදුවන සියලු‍ වියදම් ආරාධිත රාජ්‍යය (එක්සත් රාජධානිය) විසින් දරනු ලබයි. එමෙන්ම රාජ්‍ය සංචාරයක් සිදු වන්නේ රාජ්‍ය නායකයකුගේ ආරාධනය මත පමණි. එනම් එංගලන්තයේ රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා කළ යුත්තේ චාල්ස් රජු විසිනි. එක්සත් රාජධානිය රාජ්‍ය සංචාරයකට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දී ඇත්තේ එක් වරක් පමණක් වන අතර, ඒ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස යුගයේදීය. මීට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදය හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට ද රාජ්‍ය සංචාරයක් ලබා දී තිබිණි. ඉන්දියාව නිරන්තරයෙන්ම මෙරට රාජ්‍ය නායකයින් වෙත රාජ්‍ය සංචාර සඳහා ආරාධනා කරනු ලබන අතර ශ්‍රී ලංකාව ඒ හා සමාන ආචාරශීලී බවක් ඉන්දියාව වෙත ද පළ කරනු ලබයි.

රනිල් අගමැතිවරයා වශයෙන් කටයුතු කළ අවස්ථාවේ ජපානය, නෝර්වේ, නවසීලන්තය වැනි රටවලින් රාජ්‍ය සංචාර සඳහා ඇරයුම් ලැබිණි. සාමාන්‍යයෙන් රාජ්‍ය සංචාරයකට රාජ්‍ය නායකයකුට ඇරයුම් කරන්නේ ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු සාකච්ඡා කිරීමට හෝ ගිවිසුම් අත්සන් කිරීම වැනි අවස්ථාවලදීය.

චාමර සම්පත්ගේ අපූරු උපදේශය

සියඹලාපිටියගේ පොත එළිදැක්වීමේ උත්සවයෙන් පසුව පැවැති තේ පැන් සංග්‍රහය අතරතුරදී චාමර සම්පත් අපූරු කතාවක් හෙළි කළේය.

දිනිත්, ශානුක සහ බිනෝයි හෙට්ටිආරච්චි සිටි තැනට පැමිණි චාමර, ”‍මචංලා කොහොම ද?”‍යි ඇසුවේ ඔවුන්ගේ කරට අත දමාගන්නා අතරතුරදීය.

”‍මම ඡන්දෙට කලින් සියඹලාපිටියට හොඳ උපදේශයක් දුන්නා,”‍ චාමර කතාව ඇරඹූ විට දිනිත්, ”‍ඔයා ඒ වගේ වැඩත් කරනවා ද?”‍යි ඇසුවේ කතාව තවත් රසවත් කරගැනීමේ අටියෙනි.

”‍මොකද නැත්තේ, හිතවත් අයට උපදේශන සේවා කරනවා. ඡන්දෙට කලින් උඹ ගල් අරක්කු බෝතලේ ගාන එක රුපියල් දහයකින් අඩු කරන්න කියලා මම සියඹලාපිටියට කිව්වා. මොකද වැඩිපුර මිනිස්සු කල්පනා කරන්නෙ ඡන්දෙ දැම්මට පස්සේ හවසට කරන්නේ මොකක්ද කියලා. මම කියපු එක අහලා අරක්කු මිල අඩු කළා නම් එදාට හැම කෙනාටම සියඹලාපිටිය මතක් වෙනවා. එහෙම වුණා නම් මේ යකාට අද පොත් ලියමින් ඉන්න ඕන වෙන්නේ නෑ, කෙළින්ම පාර්ලිමේන්තුවේ!”‍ කියමින් චාමර යන්න ගියේ එතැන සිටි සියල්ලන්ම සිනා සයුරේ ගිල්වමිනි.

මාධ්‍ය ප්‍රධානී හමුව සහ ‘රාවණා‘ උපමාව

ප්‍රධාන පක්ෂවල මාධ්‍ය භාර ප්‍රධානීන්ගේ රැස්වීමකට ද රනිල් ඉකුත් සතියේ සහභාගී විය. මල් පාර කාර්යාලයේ පැවැති එම හමුවට පොහොට්ටුව ඇතුළු පක්ෂවල මාධ්‍ය භාර ප්‍රධානීහු සහභාගී වූහ. එම හමුව සම්බන්ධීකරණය කරනු ලැබූයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න සහ රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්නයි. ඉදිරි ජාතික කර්තව්‍යයන්වලදී සියලු‍ පක්ෂවල සමාජ මාධ්‍ය එක තේමාවකින් මෙහෙයවීමට මෙහිදී තීරණය විය.

එහිදී රනිල් කීවේ, ”‍රාවණා රජ්ජුරුවන්ට ඔළු දහසක් තියෙනවා, ඒ වගේම ජනතා පරමාධිපත්‍යයටත් ඔළු පහක් තිබෙනවා. ඒ සියල්ල ආරක්ෂා කරගැනීමේ වගකීම අපට තියෙනවා,”‍ යනුවෙනි.

ජී.එල්.ගේ පෙත්සම සහ අලු‍ත්ගම ගමන

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ද අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. එයින් මූලිකවම කරුණු දෙකක් ඉල්ලා සිටින බව මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් හමුවේ අදහස් දක්වමින් ජී.එල්. කීවේ මෙවැන්නකි.

”‍පළමු කාරණය වන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් අවශ්‍යයි කියන කාරණයයි. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිශ්චය මණ්ඩලය වන 12 දෙනෙකුගෙන් සමන්විතව මේ පෙත්සම විභාග කළ යුතු බව අප ඉල්ලා තිබෙනවා. අවුරුදු දෙකකින් විනිසුරු වයස වැඩි කිරීම පමණක් නොවෙයි, මෙය සමාජයට කෙළින්ම බලපාන ප්‍රශ්නයක්. ඒ සඳහා පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහනක් අවශ්‍යයි. සෞඛ්‍ය, අධ්‍යාපනය, වෘත්තීය සමිති සහ රාජ්‍ය සේවයේ දැනුවත් කිරීම අවශ්‍ය වෙනවා. මේ සම්බන්ධයෙන් රට පුරා ජනතාව පොදුවේ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළකට ද අප අවතීර්ණ වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ දැනුවත් කිරීම ද ආරම්භ කර තිබෙනවා. එහි පියවරක් ලෙස මා අලු‍ත්ගම කන්දේ විහාරයට ගොස් විහාරාධිපති කොක්කාවිට විපුලසාර හිමි බැහැදැකියා,”‍ යැයි ජී.එල්. මූලික විස්තරයක් කළේය.

මහාචාර්ය ජී.එල්. ලියූ 'THE SRI LANKA PEACE PROCESS: AN INSIDE VIEW'  (ශ්‍රී ලංකා සාම ක්‍රියාවලිය: අභ්‍යන්තර දසුනක්) ග්‍රන්ථය ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් ක්‍රිෂ්ණන් ශ්‍රීනිවාසන් විසින් සමාලෝචනයට ලක් කර තිබේ. එය එම ග්‍රන්ථයට ලැබුණු සුවිශේෂී වැදගත්කමක් බව විචාරක මතයයි.

රාජ දූත