
ශ්‍රී ලංකාවේ ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර ක්ෂේත්‍රය හැරවුම් ලක්ෂ‍්‍යයකට එළඹ ඇත. 2024 පෙබරවාරි මස ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව - ක්‍ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත (MCRA) නැවත සංශෝධනය කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී තිබේ . මෙම පනත් කෙටුම්පත මගින් මෙරට වඩාත් කතාබහට ලක් වූ සංවර්ධන මෙවලම් වලින් එකක් වන ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා වඩාත් ශක්තිමත්, සාධාරණ නීතිමය රාමුවක් නිර්මාණය කිරීමට අපේක්‍ෂා කෙරේ.
“ක්‍ෂුද්‍ර මූල්‍ය”යනු - ශ්‍රී ලංකාවෙහි දශක ගණනාවක් තිස්සේ බලයට පත් වූ බොහෝ ආණ්ඩු, සමුපකාර, රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික අංශ විසින් භාවිත කරන ලද සංවර්ධන මෙවලමකි.
කෙසේ වෙතත් අද වනවිට“ක්‍ෂුද්‍ර මූල්‍ය”යන්නට සෘණාත්මක අර්ථයක් එකතු වී ඇත. මීට ප්‍රධානතම හේතුව වන්නේ 2017 වසරේ දී“ක්‍ෂුද්‍ර මූල්‍ය” යන නාමය යටතේ එහි මුලික මූලධර්මයන්ට අනුගත නොවූ ආයතන මගින් දුප්පත් සහ අඩු ආදායම්ලාභී පවුල් වලට අධික ලෙස ණය දීමෙන් සහ ජනතාව ඒවා ඉවක් බවක් නැතිව ලබාගැනීමෙන් අධික ණය ගැතිභාවයක් රට පුරා ඇතිවීමය.
මෙම තත්ත්වය නිසා ඇති වූ ප්‍රතිවිපාක ඉතා දරුණු විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තා දෙකක් - කාන්තා හිංසනය, ලිංගික අල්ලස් ගැනීම් පිළිබඳ චෝදනා සහ සියදිවි නසා ගැනීම් පිළිබඳ අවධානය යොමු කරවීය. 2018 වසරේදී රුපියල් බිලියන1.4 කට අධික මහජන බදු මුදල් යොදාගනිමින් දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ණය බරින් මුදවාගැනීම සඳහා ඇතැම් ණය කපා හැරීමට රජය විසින් මැදිහත් වීමෙන් ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍ෂේත්‍රය තවත් පහළ තලයකට ඇද වැටිණ.
වරද ඇත්තේ සමස්ත ක්‍ෂේත්‍රයේ නොවන බව අප තේරුම්ගත යුතුය. එවැනි සෘණාත්මක ප්‍රතිඵල ඇති වුයේ ඇතැම් ණය සපයන්නන් ගනුදෙනුකරුවන්ගේ සමාජ, ආර්ථික දියුණුව පසෙකලා වඩා ලාභ ඉපැයීමට ප්‍රමුඛත්වය දීම නිසා බව සැලකිල්ලට ගත යුතුය.
ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍ෂේත්‍රය යනු සතුරෙකු නොවේ. එය ශ්‍රී ලංකාවේ පමණක් නොව, දකුණු ආසියාවේ සහ ලෝකය පුරාම දරිද්‍රතාව අඩුකිරීම හා සමාජ, ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රයෝජනවත් මෙවලමක් බව ඔප්පු වී ඇත.
මේ සඳහා වන හොඳම උදාහරණයක් වන්නේ බංග්ලාදේශයේ මහාචාර්ය මුහම්මද් යුනූස් විසින් ග්‍රාමීන් බැංකුව හරහා ඇප රහිත ණය ග්‍රාමීය දුප්පත් ජනතාව වෙත ලබාදීමෙන් සිදුකළ විප්ලවීය වෙනසයි. ඔහුගේ මෙම වැඩපිළිවෙළ මිලියන ගණනක් ජනතාව දරිද්‍රතාවෙන් මුදවා ගත් අතර ඒ වෙනුවෙන් ඔහුට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය.
ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන හරය
ක්‍ෂුද්‍ර මූල්‍ය පනත ගැන සාකච්ඡා කිරීමට ප්‍රථම, ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ මූලික හරය තේරුම්ගත යුතුය. එම ක්‍ෂේත්‍රයේ ප්‍රධාන හරය වන්නේ දිළිඳු සහ අඩු ආදායම්ලාභී ජනතාවට ඇප සුරැකුම් රහිතව හෝ දැරිය හැකි ඇප සුරුකුම් විකල්ප යටතේ ණය ලබාදීමයි.
සුදුසු ණය මුදල තීරණය කිරීම, පුද්ගලයාගේ වත්කම් මත නොව එම පුද්ගලයාගේ ආයෝජන අදහසේ සමාජ, ආර්ථිකමය ප්‍රතිලාභීභාවය මත පදනම්ව කළ යුතුය. මෙහිදී ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තයේ සිට කුඩා පරිමාණ ව්‍යාපාර දක්වා වන ආදායම් උත්පාදනය කරන කටයුතු ඉලක්ක කෙරේ. කෙසේ වෙතත් නිවාස, ජලය, සනීපාරක්‍ෂාව, අධ්‍යාපනය සහ ගෘහ උපකරණ මිලදී ගැනීම වැනි ආදායම් නූපදවන මුලික මිනිස් අවශ්‍යතා සඳහා ද ණය ලබාදීම සිදු වෙයි. එමෙන්ම පරිභෝජන අවශ්‍යතා සඳහා ණය ලබාදීම ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ මූලික අරමුණක් නොවේ.
ක්‍ෂුද්‍ර මූල්‍ය යනු හුදෙක් ණය දීමක් පමණක් නොවන අතර, පහත සඳහන් මූල්‍ය සහ මූල්‍ය නොවන සේවා ද අන්තර්ගත වේ.
1. අඩු ආදායම්ලාභී පවුල්වලට මූල්‍ය ස්ථාවරත්වය ගොඩනඟා ගැනීමට උපකාර වන ඉතිරි කිරීමේ පුරුදු ගොඩනඟා ගැනීමේ ඉතිරි කිරීම් සේවා.
2. අසනීප, මරණ හෝ භෝග හානි වැනි අනපේක්‍ෂිත අවස්ථාවලින් ආරක්‍ෂා වීම සඳහා ක්‍ෂුද්‍ර රක්‍ෂණය.
3. ආර්ථික කටයුතු සාර්ථකව පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය වන දැනුම, පුහුණුව, තාක්‍ෂණය සහ වෙළෙඳපොළට ප්‍රවේශය ලබාදෙන ධාරිතා සංවර්ධන සහ මූල්‍ය සාක්‍ෂරතා අධ්‍යාපනය
ලොව පුරා ක්‍ෂුද්‍ර මූල්‍ය සේවා ලබා ගන්නා ජනතාවගේ බහුතරය කාන්තාවෝ වෙති. ආර්ථික ප්‍රතිලාභවලට අමතරව මෙම සේවා මගින් කාන්තාවන්, ඔවුන්ගේ පවුල් සහ ප්‍රජාව සමාජ සවිබල ගැන්වීම ද ප්‍රධාන අරමුණකි. ඒ අනුව අපට පෙනී යන්නේ සමාජ මෙහෙවරක් හා බැඳුණු සංවර්ධන රාමුවක ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍රියාත්මක කරන විට, එය සාර්ථක සංවර්ධන මෙවලමක් වන බවයි.
ශ්‍රී ලංකාවට ඇති අභියෝගය වන්නේ ක්‍ෂුද්‍ර මූල්‍ය යහපත් බලවේගයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ආරක්‍ෂණ විධිවිධාන සහ පද්ධති ගොඩනැගීමය. මේ සඳහා යෝජිත ක්‍ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත ඉතා වැදගත් ආරම්භයක් සපයයි.
යෝජිත පනත මගින්
1. ජනතාවට වගවන තොරතුරු මත පදනම් වූ ආරක්‍ෂිත ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම.
එමගින් පසුගිය වසර කිහිපයෙහි වාර්තා වූ සමාජයට හානිකර ක්‍රියාදාමයන් මනා පාලනයට හසුකරගැනීමටත්, එමගින් එහි ප්‍රතිලාභීන්ට අඛණ්ඩ ප්‍රතිඵලදායී සේවා ලබාගැනීමටත් හැකිවනු ඇත.
2. ක්‍ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයේ ක්‍රියාත්මක වන ආයතන සඳහා ආරක්‍ෂිත වැඩපිළිවෙළක් සකස් කිරීම.
ඉහතින් සඳහන් කරන ලද සමාජ, ආර්ථික ගැටලු මෙන්ම විවිධ අවස්ථාවල සිදු වූ දේශපාලන අතපෙවීම් නිසාද ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවලට ලංකාවේ විවිධ ප්‍රදේශවල දී නොයෙක් ආකාරයේ බාධා හා අපහසුතාවන්ට මුහුණදීමට සිදු වේ. මෙම නව නියාමන ක්‍රමවේදය නිසා එවන් අහිතකර බලපෑම් වලින් තොරව ක්‍ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයේ නියුක්ත ආයතන වලට අභිමානයකින් යුතුව මෙම කටයුතු සිදු කරගෙන යෑමේ අවස්ථාව සැලසෙනු ඇත.
3. ක්‍ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් සිදුකරන අහිතකර ක්‍රියාදාමයන් පාලනය වනු ඇත.
පාලනයකින් තොරව විවිධ ආයතන වලින් අධික ලෙස ණය ලබාගැනීම ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන ණය තොරතුරු කාර්යාංශය (CRIB) සමග ඒකාබද්ධවීමෙන් පාලනය වනු ඇත. ණය භාවිතය පිළිබඳ පසුවිපරම් නිර්ණායක මගින් ණය ලාභීන් ණය ගෙවා ගැනීමේ අපහසුතාවට ලක්වීම වැළැක්වෙයි. ක්‍ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය නව ජීවයකින් යුතුව පිබිදිය යුතුය. මෙය ශ්‍රී ලංකාව තුළ සූරාකෑමේ සහ අවිශ්වාසයේ වෘතාන්තයක් බවට පත්කිරීමට තවදුරටත් ඉඩ දියයුතු නොවේ. නිවැරදි ආරක්‍ෂණ විධිවිධාන සහිතව, එහි අපේක්‍ෂාව වූ සමාජ සවිබල ගැන්වීමේ සහ සමාජ ආර්ථික සංවර්ධනයේ මෙවලමක් බවට නැවතත් පත්කළ හැකිය. මෙම පනත මගින් අතීත අසාර්ථකත්වයන් ගෙන් උගත් පාඩම් ඇතුළත් කර පැහැදිලි හා විනිවිදභාවයෙන් යුතු නීති රීති ස්ථාපිත කරන්නේ නම්, ජාතික ජන බලවේග ආණ්ඩුව ක්‍ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය නැවත සංවර්ධන මාවතට ගෙන ඒමට අවශ්‍ය අධිෂ්ඨානය පෙන්නුම් කරනු ඇත. එමගින් ණය ගැතියන් සහ ණය දෙන්නන් ආරක්‍ෂා වන සහ වගවනු ලබන සහ සමස්ත ආර්ථිකයම ශක්තිමත් වෙන තත්ත්වයක් උදාවනු ඇත.
මෙම පනත නිවැරදිව ක්‍රියාත්මක කළ හොත් එය ක්‍ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය කෙරෙහි විශ්වාසය යළි ගොඩනැගීම පමණක් නොව, ශ්‍රී ලංකාව වඩා සාධාරණ, ශක්තිමත් පදනමක් මත සිය ආර්ථිකය යළි ගොඩනැගීමට සුදානම් බවට ලබාදෙන තවත් සංඥාවක් ද වනු නොඅනුමානය.
(ලේඛකයා, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ක්‍ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කරන ලද කමිටුවේ සාමාජිකයෙකි. ඔහු ලංකා ක්‍ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන අතර ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශීය රටවල ද ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍ෂේත්‍රයේ වසර 35 කට වැඩි පලපුරුද්දක් ඇත්තෙකි. එමෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ බෙරෙන්ඩිනා සංවිධානයේ සභාපතිවරයා ද වේ. [email protected] සහ [email protected] ඔස්සේ ඔහු හා සම්බන්ධ විය හැකිය.)

