
තවත් අලුත් වසරකට ලෝකය ඉකුත් පළමු වැනිදා පියවර නැගීය. ශ්‍රී ලංකාවටත් එය නව වසරක් වුවත් එයින් වැඩි කාලයක් යෙදවීමට සිදු වෙන්නේ පරණ අර්බුද සමනය කිරීම සඳහා ය. එබැවින් රට අලුත් කිරීමට කාලයක් ඉතිරි නොවන තරම් ය. ආර්ථික කෘෂිකාර්මික ආදී කී නොකී අංශ රැසක් ගැන අලුතින් සිතීමට වඩා ඒවායෙහි පවතින ප්‍රශ්න අර්බුද නිරාකරණය කර ගැනීමට සිදු වේ. මේ අලුත් වසරේ ආර්ථික, කෘෂිකාර්මික, සංචාරක සහ දේශපාලන ක්ෂේත්‍රවල සිදුකළ යුතු අලුත් වෙනස්කම් හා පවතින අර්බුද මග හරවාගැනීමට ගත යුතු පියවර ගැන විෂයය විශේෂඥයන් කිහිපදෙනකු “ඉරිදා ලංකාදීප”යට දැක් වූ අදහස් මෙසේ සම්පිණ්ඩනය කළ හැකිය.
අකැමැති දේවල් කරන්නත් රජයට සිදුවේවි
මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා,
කළමනාකරණ හා මූල්‍ය පීඨය,
වයඹ විශ්වවිද්‍යාලය.
වසර 2026 අයවැය සම්මත කළේ දිට්වා සුළිකුණාටුව එන්න කලින් සාමාන්‍ය ආර්ථික පරිසරයක් ඇතුළෙ. නමුත් සුළිකුණාටුවත් එක්ක අයවැය ඉදිරිපත් කරද්දී නොතිබුණු පරිසරයක් නිර්මාණය වුණා. මේ නිසා 2026 ට අතිරේක වියදම් විශාල ප්‍රමාණයක් තියෙනවා. එය 2026 සඳහා ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායමෙන් සියයට 30 ත් 40 ත් අතර ප්‍රමාණයක්. මා දකින විදියට මේ වසරේ රජයට තියෙන ප්‍රධාන ආර්ථික අභියෝගය මෙයයි. ඒ අභියෝගයට මුහුණ දෙන්න එක්කො රජයට බදු වැඩි කරන්න වෙනවා. නැතිනම් වෙළෙඳපොළෙන් ණය ගන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් ප්‍රාග්ධන වියදම් කප්පාදු කරලා වියදම් අවම කිරීමේ පැත්තකට යන්න වෙනවා. මේ නිසා 2026 වසරට ඉදිරිපත් කළ අයවැය ප්‍රායෝගිකව කළමනාකරණය කිරීම මේ රජයට අභියෝගයක් වෙනවා. රජයට අභියෝගයක් කියන්නෙ මහජනතාවටත් ඒ බර දරන්න වෙනවා.
ආපදාවෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක 25 නැවත ප්‍රතිසංස්කරණයට ලක් කරන්නෙ කොහොමද කියන එක දෙවැනි අභියෝගය. මහාමාර්ග දුම්රිය මාර්ග ඇතුළු විනාශ වූ යටිතල පහසුකම් ස්ථිරව ගොඩනැගිය යුතුයි. 2027 වෙද්දී අපි විදේශ ණය ගෙවීම සඳහා ලෑස්ති විය යුතුයි. ඒ සඳහා 2026 වසර අග වෙනවිට රටේ විදේශ සංචිත ඩොලර් බිලියන 10.8 දක්වා වැඩි කරගත යුතුයි. දැනට රටේ තියෙන සංචිත ප්‍රමාණය සැලකීමේ දී ඒකත් අභියෝගයක්. මේ ආණ්ඩුව පළමු අයවැය ලේඛනය ඉදිරිපත් කළේ මැතිවරණ පරිසරයක් ඇතුළෙ. ඒ නිසා 2025 දී අපේක්ෂා කළ සැලසුම් ක්‍රියාත්මක කරන්නත් ඉලක්ක වෙත ළඟා වෙන්නත් බැරි වුණා. 2026 දි ආණ්ඩුවේ සැබෑ ආර්ථික ප්‍රතිපත්ති එළියට එයි කියලා අපි බලාපොරොත්තු වුණා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරද්දී මේ කරුණුත් එක්ක රජයට තමන්ගෙ වැඩපිළිවෙළ වෙනස් කරන්න වෙයි. සමහරවිට අකැමැති දේවල් කරන්න වෙයි. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න සිද්ධ වෙයි. වැටුප් වැඩිකිරීම් වගේ දේවල් තාවකාලිකව අත්හිටුවන්න වෙයි. මේ දේවල් එක්ක ජනතා විරෝධයක් එන්නත් පුළුවන්. රජයට මුහුණ දීමට තියෙන ප්‍රධාන ආර්ථික අභියෝග හැටියට මම හඳුනා ගන්නෙ මේවා.
මේ වසරේ ජනතාවගේ ආර්ථික අභිලාෂ මොනවාද කියන එක සලකා බැලුවොත් ජීවන වියදම අවම කරන වැඩපිළිවෙළක් එයි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා. නමුත් මේ විදියටම ආර්ථිකය ඉදිරියට ගියොත් 2026 වසරෙ උද්ධමනය වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. උද්ධමනය වැඩිවිය යුතුයි. එය සියයට 5 ක මට්ටමට පැමිණිය යුතුයි. ඒත් උද්ධමනය වැඩිවීමත් එක්ක මිල මට්ටම් ඉහළ යෑමෙන් ජනතාව මත ඇති කරනු ලබන පීඩනය නිසා යම් ජනතා විරෝධයක් ඇති විය හැකියි. ඒ වගේම පවතින නීති රාමු ඇතුළෙ රජය ජනතාවට දී තිබෙන පොරොන්දු නිසි වේලාවට ඉටු කිරීම අපහසු වෙන්නත් පුළුවන්. ඒ නිසා යම් ජනතා විරෝධයක් ඇති විය හැකියි. අලුත් අවුරුද්දක් එද්දී හැමෝම බලාපොරොත්තු වෙන්නෙ හොඳ ජීවන රටාවක් සහ සමාජ පරිසරයක්නෙ. ඒකත් අලුත් අවුරුද්දෙ තියෙන අභියෝගයක්.
ජනතා විශ්වාසය සම්බන්ධයෙන් තීරණාත්මක වසරක්
ආචාර්ය එස්. බාස්කරන්,
දේශපාලන විද්‍යා අධ්‍යයනාංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
අලුත් ආණ්ඩුවක් බලයට පත් වූ පසු මුල් අවුරුදු දෙක සලකනු ලබන්නෙ වැඩ කරන්න ලැබෙන කාලය හැටියට. නමුත් මේ ආණ්ඩුව බලයට එනකොට වංචා දූෂණ විරෝධී සටන, ජනතාවගේ ජීවන මට්ටම උසස් තත්ත්වයට ගෙන ඒම වගේ දේවල් සම්බන්ධයෙන් විශාල ප්‍රචාරයක් ගෙන ගියා. ඒවායේ ප්‍රගතිය සලකා බලද්දී මට පෙනෙන දේ තමයි ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී ඒවා පිළිබඳ කතා කළ ආකාරයයි - ආණ්ඩු බලයට පත් වීමෙන් පසු ගෙවුණු අවුරුද්දෙදි ක්‍රියා කළ ආකාරයයි අතර විශාල වෙනසක් තියෙනවා කියන එක. ඒවා ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඒත් ආරම්භක පියවර සහ ඒ සඳහා යන මාර්ගය නිවැරදි ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. නිෂ්පාදනය සහ රැකියා උත්පාදනය ගත්තොත් ගෙවුණු අවුරුදු දෙකේදී ආණ්ඩුව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවක් පෙනෙන්නෙ නෑ.
දේශපාලන ස්ථාවරභාවයත් ඉතාම වැදගත්. ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීම මගින් ජනතා විශ්වාසය ලබාගත හැකි හොඳම කාලය තමයි පළමුවැනි අවුරුදු දෙක. ඒ නිසා මේ කාලය ඇතුළත ආණ්ඩුව ඒ විශ්වාසය ලබා ගන්න ඕනෑ. ඒ ජනතා විශ්වාසය ටිකක් බිඳ වැටිලා තියෙනවා කියලා පෙනෙනවා. ආණ්ඩුවට බලය හිමි පළාත් පාලන ආයතනවල අයවැය පරාජයවීම මගින් ආණ්ඩුවට යම් දේශපාලන සංඥාවක් ලැබෙනවා කියලා හිතන්න අමාරුයි. මොකද හොඳින් ක්‍රියාත්මක වෙන පළාත් පාලන ආයතනවල අයවැය ලේඛන විපක්ෂයේ පිරිස් එකතු වෙලා පරාජය කරන්න පුළුවන් නිසා. නමුත් ඒක අයවැය පරාජය වුණු හැම පළාත් පාලන ආයතනයකම වෙනවා කියලා කියන්න බෑ. කොහොම වුණත් සාමාන්‍ය තත්ත්ව යටතේ පළාත් පාලන ආයතනවල අයවැය ලේඛන පරාජය වීම නිසා ස්ථාවරභාවය ගැන යම් ප්‍රශ්නයක් තියෙනවා. ඉදිරියට එන මැතිවරණවල දී ආණ්ඩුව සම්බන්ධ ජනතා විශ්වාසයට කුමක් වෙයි ද කියන එකත් ප්‍රශ්නයක්.
මේ ආණ්ඩුවට 2026 දී අභියෝග විශාල ප්‍රමාණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජනතාවගේ විශ්වාසය රැකගත යුතු වර්ෂය බවට 2026 පත් වෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සමග එකඟ වූ දේවල් ඉටු කළ යුතු වෙනවා. ඒක කරද්දී ආණ්ඩුව සහ ජනතාව අතර තියෙන සබඳතාවට සුබදායක විදියට බලපායි කියලා හිතන්න බෑ. මොකද එයින් ජනතාවට යම් පීඩනයක් පතිත විය හැකි නිසා. ඒ පීඩනය අවම කරන්න මොනවද කළ යුත්තෙ කියන එක ගැන ආණ්ඩුව සිතිය යුතුයි. ඊළඟට 2028 ඉඳන් ණය ගෙවන්න ඕනෑ. මේ සියලු දේ සඳහා නිවැරදි වැඩ පිළිවෙළක් ඇතුව වැඩ කළ යුතුයි. විදේශ සබඳතා හැසිරවීමේ දී ඉන්දියාව, චීනය සහ ඇමෙරිකාව සමග සමබර සබඳතාවක් පවත්වා ගෙන යෑමත් වැදගත්. චීනයට බර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළොත් ඒකට ඇමෙරිකාව සහ ඉන්දියාව දක්වන ප්‍රතිචාරය ගැනත් සිතිය යුතුයි. වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ඉන්දියාව විශාල භූමිකාවක් ඉටු කළා. නමුත් මෑතක දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව ඉන්දියාවට ගෙන්නලා ඉහළ පෙළේ නිලධාරීන්ව මුණ ගැස්සුවා. මේක ඉන්දියාව ජාතික ජන බලවේග ආණ්ඩුවට දෙන සංඥාවක් ද කියන එක ගැනත් සිතා බැලිය යුතුයි. අවසන් වශයෙන් කිව හැක්කේ තවම ආණ්ඩුවට තියෙන මහජන විශ්වාසය ප්‍රබල ලෙස බිඳ වැටිලා නැති බවයි. නමුත් විශ්වාසය වැඩිවෙලත් නෑ. මේ සියලු කාරණා සැලකීමේ දී පැහැදිලි වෙන්නෙ 2026 වසර ආණ්ඩුවට තීරණාත්මක බවයි.
සංචාරක කර්මාන්තයට “කෘත්‍රීම බුද්ධි යටිතල පහසුකම්” ලබාදිය යුතුයි
මහාචාර්ය සුරංග සිල්වා, සම්බන්ධීකාරක, තිරසර සංචාරක ඒකකය, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය.
2025 නිමා වෙද්දී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉතා හොඳ තැනකට ඇවිත් තියෙනවා. 2026 දී සංචාරක කර්මාන්තය අලුත් වාර්තා පිහිටුවන වසරක් බවට පත්වෙයි කියලා මම හිතනවා. සංචාරක පැමිණීම් ඉතා ඉහළ අගයක් ගනු ඇතැයි හිතන්න පුළුවන්. ඒත් අභියෝග ගණනාවකට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම දේශගුණ විපර්යාස මේ කර්මාන්තයට තියෙන ප්‍රධාන අභියෝගයක්. සංචාරක කර්මාන්තය පරිසරයට ඉතාම සම්බන්ධයි. ගෝලීය උණුසුම වැඩිවෙන කොට සංචාරකයන් වැඩි වශයෙන් යන්නෙ ශීත දේශගුණයක් සහිත ප්‍රදේශවලට. මේ නිසා ඉදිරියේ දී නුවරඑළිය වැනි ප්‍රදේශවලට ඉහළ සංචාරක ආකර්ෂණයක් හිමි වෙනවා. මේ නිසා දෙවැනි මට්ටමේ සංචාරක ගමනාන්ත සකස් කිරීමට අවධානය යොමු විය යුතුයි. ඉදිරියේ දී ආසියානු කලාපයේ රටවල සංචාරක කර්මාන්තයේ වර්ධන වේගය සියයට 20 මට්ටමට පැමිණෙනවා. ඒ නිසා ලංකාවත් ඒ වර්ධනය කරා ළඟා විය යුතුයි. ඒ සඳහා තිරසාර යටිතල පහසුකම් ගොඩනැංවීමක් කළ යුතුමයි.
යටිතලපහසුකම් දියුණු කිරීම අත්‍යවශ්‍ය වුණත් ඒක කළ යුත්තෙ පරිසර හිතකාමී විදියට. ඒ වගේම උතුරු නැගෙනහිර දෙපළාතෙත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතුයි. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන් මූල්‍යාධාර ලබා ගන්න පුළුවන්. එමගින් ඒ ප්‍රදේශවල ආර්ථික හා දේශපාලන සංහිඳියාව ඇති කරන්න පුළුවන්. ඉන්දුනීසියාවේ බාලි දූපත සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන නිසා දැන් ඒ ප්‍රදේශයට සංචාරකයන් යන එක සීමා වෙලා තියෙනවා. ඒ සංචාරකයන් අපේ රටට ආකර්ෂණය කරගත හැකි ආකාරය ගැන සිතා බැලිය යුතුයි. ඒ සඳහා අරුගම්බෙ, ත්‍රිකුණාමලය ඇතුළු මුහුද ආශ්‍රිත ප්‍රදේශවල සංචාරක ක්‍රියාකාරකම් දියුණු කළ යුතුයි. යාපනයේ තියෙන සංස්කෘතිය දකුණු ඉන්දීය සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා ඉතා වැදගත්. යාල ජාතික වනෝද්‍යානයට පමණට වැඩියෙන් සංචාරකයන් පැමිණෙන නිසා ඒ වැඩි සංචාරකයන් විල්පත්තු වැනි වැඩි වශයෙන් සංචාරකයන් නොයන තැන්වලට යොමු කිරීම ගැනත් සිතා බැලිය යුතුයි. තව උඩවලව, වස්ගමුව සහ කුමන වැනි ප්‍රදේශවලත් සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය කරන්න පුළුවන්.
2026 දී වෙල්නස් ටුවරිසම්වලට විශාල ඉල්ලුමක් ඇති වෙන නිසා ඒක ප්‍රවර්ධනය කිරීමටත් යොමු විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉදිකළ යුතුයි. වෙල්නස් ටුවරිසම් ප්‍රවර්ධනය කිරීම මගින් රටට එන සංචාරකයන් වැඩි කාලයක් රටේ රඳවා ගන්න හැකියාව ලැබෙනවා. ඒකට Spiritual tourism සහ meditation tourism සම්බන්ධ කළොත් අපිට මේ කර්මාන්තයෙන් ඉහළම ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්.
ඉදිරියේ දී සංචාරක කර්මාන්තයට කෘත්‍රිම බුද්ධිය ප්‍රබල බලපෑමක් කරන නිසා ලංකාවේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව කෘත්‍රිම බුද්ධි යටිතල පහසුකම් අනිවාර්යයෙන්ම ගොඩනැගිය යුතුයි. මේ සියලු කාරණාත් සමග 2026 වසර මෙරට සංචාරක කර්මාන්තයේ තීරණාත්මක වසරක් බවට පත්වෙන ලකුණු තියෙනවා. නැගී එන සංචාරක කර්මාන්තයෙන් ප්‍රජාවට ආර්ථික ලාභයක් ලැබීමටත් පරිසරය සුරක්ෂිත කිරීමටත් තිරසාර සංචාරක භාවිතයන් ක්‍රියාවේ යෙදවීම අවශ්‍යයි.
සහල් හිඟයක් ඇති නොවෙන්න සියලු පියවර ගන්න වෙනවා
මහාචාර්ය බුද්ධි මාරඹේ,
කෘෂිකර්ම පීඨය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
කෘෂිකර්ම දෙපාර්ත-මේන්තුවේ සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත වලට අනුව දිට්වා සුළිකුණාටුව නිසා කුඹුරු හෙක්ටයාර් 106,000ක් විනාශ වෙලා තියෙනවා.
ඒ වුණත් එයින් සියයට 90 ක් පමණ නැවත වගා කළ හැකියි. ඒත් එයින් කොපමණ ප්‍රමාණයක නැවත වගා කරලා තියෙනවාද කියන එක ගැන තවම දත්ත නෑ. ජනවාරි මැද වගේ වෙන කොට ඒ ගැන නිවැරදි තොරතුරු දැන ගන්න පුළුවන්. සුළිකුණාටුව එද්දි වී වගා කරලා තිබුණෙ හෙක්ටයාර් 620,000 ක විතරයි. නමුත් අපි මහ කන්නය සඳහා හෙක්ටයාර් 869,000 ක වී වගා කරන්න බලාපොරොත්තු වුණා. ඒ කියන්නෙ සුළිකුණාටුව එනවිටත් හෙක්ටයාර් 249,000 ක් පමණ වගා කරලා තිබුණෙ නෑ. අනාගත ආහාර සුරක්ෂිතතාව ගැන කතා කරද්දී මේ සංඛ්‍යා දත්ත ඉතා වැදගත් වෙනවා.
වගා නොකළ හෙක්ටයාර් 249,000 ක වගා නොකළොත් සහ විනාශ වූ වගා බිම්වල නැවත වගා කටයුතු ආරම්භ නොකළොත් සහල් අර්බුදයක් ඇති විය හැකියි. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා නොයෙක් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ වුණාට ක්ෂේත්‍ර මට්ටමේ දත්ත ජනවාරි මැද වෙද්දී ලැබුණට පස්සෙ නිශ්චිත මතයක් පළ කළ හැකියි. යම් හෙයකින් සහල් හිඟයක් ඇති වුවහොත් එයින් ආහාර සුරක්ෂිතතාවට බලපෑමක් වෙන නිසා වඩාත් වැදගත් වෙන්නෙ පෙර සූදානම සකස් කර ගැනීමයි. සහල් ආනයනය කිරීමට සිදුවුවහොත් ඒ පිළිබඳ මනා දැනුමක් සහිතව වර්ෂය පුරා පැතිරී යන ආකාරයට සහල් ආනයනය කළොත් ඒ ආකාරයේ සහල් හිඟයක් කෙටිකාලීනව මගහරවා ගන්න පුළුවන්.
ලබන යල කන්නයට අවශ්‍ය බිත්තර වී නිෂ්පාදනය කරන්නෙ මේ මහ කන්නයෙදී. ආපදාව නිසා කොපමණ බිත්තර වී ප්‍රමාණයක් විනාශ වී ඇත්ද යන්න ගැන අප සතුව නිවැරදි දත්ත නැති වුණත් ඒ ගැන දැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතුයි. එහෙම නොවුණොත් යල කන්නයෙදිත් ආහාර සුරක්ෂිතතාව රැකෙන ආකාරයට වී වගා කිරීම අර්බුදකාරී වෙන්න පුළුවන්.
රටේ කෘෂිකර්මය ඉස්සරහට ගෙන යෑමට නම් 2026 තාක්ෂණය මත පදනම් වූ කෘෂිකාර්මික ප්‍රතිපත්තියකට යායුතුම වසරක්. ඒ සඳහා ගොවි ජනතාව යොමු කිරීමත් ඉතාම වැදගත්. ඒ ඒ අංශවලට අදාළ තාක්ෂණයන් අප සතුව තියෙනවා. තාක්ෂණික පැකේජවලට ගොවි ජනතාව යොමු කළ යුතුයි. වී වගාව සම්බන්ධයෙන් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තේ, පොල්, රබර්, කුරුඳු ඇතුළු බහු වාර්ෂික භෝගවලට අවශ්‍ය පෝෂණය පොහොර ලෙස නිසි වේලාවට ලබා දිය යුතුයි. ඒ සඳහා ගොවි ජනතාව යොමු කළ යුතුම වෙනවා.
උපුල් වික්‍රමසිංහ

