
ලංකාව අපරාධ රාජ්‍යක්දැයි සිතෙන තරමට මත්ද්‍රව්‍ය සහ පාතාල ඝාතන නිතිපතාම අසන්නට ලැබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක පාතාලය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් පාර්ලිමේන්තුවේදී ඉකුත්දා සිදු කළේය. ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළිවන්නේ යැයි ජනාධිපතිවරයා පැවසුවේය. අනුර කුමාර දිසානායක පැවසුවේ ඉදිරි කාලයේ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියලු කටයුතු සිදු කරන බවය.
මෑතකදී පාතාල නායකයන් පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් සමග සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණය වී යැයිද ජනාධිපතිවරයා පැවසීය.
‘‘ලංකාවේ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලින් සියයට පනහකට වඩා මෙම කණ්ඩායම වගකිවයුතුයි. ඔවුන් රටේ පාතාල ක්‍රියාකාරකම්වලින් සියයට හැත්තෑවකට වඩා සම්බන්ධ වී තිබෙනවා. ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෑම මසකම මෙම පාතාල නායකයන්ගේ නිවෙස්වලට ගොස් මුදල් ලබාගෙන තිබෙනවා. සමහර අමාත්‍යවරුන් සෑම මසකම මෙම පාතාල නායකයන් තම නිවෙස්වලට ගෙන්වාගෙන තිබෙනවා. මෙම තොරතුරු දැන් අනාවරණය වෙලා....’’ යැයිද සඳහන් කළේය.
මේ වනවිට රජය මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා නීතිමය ක්‍රියාවලියක් අරඹා තිබේ. දිනපතාම පාහේ මත්ද්‍රව්‍ය තොග පිටින් නීතිමය දැළට හසුවන ආකාරයද දැකගත හැකිය. නොකඩවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ජලය මර්දනය කරමින් සිටියද එම මර්දනය තාවකාලිකව නොව ස්ථාවර මර්දනයක් විය යුතුය. පසුගිය ආණ්ඩුද මෙවැනිම මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කළද සීමිත කාලයකට පසු ජාවාරම යළි මතු විය.
ලංකාවට හෙරොයින් ගෙන ඒම ආරම්භ වූයේ 1975, 1976 සහ 1977 යන වර්ෂවලය. 1980 පමණ වනවිට මෙරට හෙරොයින් වේගයෙන් පැතිරීමට පටන් ගත්තේය. එයට එක් හේතුවක් වූයේ සංචාරක කර්මාන්තය දියුණුවීමය. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් 1984 කළ දේශනකදී සඳහන් කළේ හෙරොයින් යනුවෙන් හඳුන්වන්නේ වෛද්‍යවරුන් වේදනා නාශකයක් ලෙස නිෂ්පාදනය කළ බෙහෙතක් බවය. මෙම ඖෂධය පළමුවෙන්ම නිෂ්පාදනය වූයේ එංගලන්තයේය. ‘‘හෙරොයින්ද වෛද්‍ය උපදෙස් අනුව යෙදූ විට අධිකතම වේදනා නාශකයකි. ඖෂධයකි. අනික කැස්සට, මරණාසන්න අවස්ථාවන්ට හා මානසික සහනයක් ලබා ගැනීමට හෙරොයින් පාවිච්චියට ගනී...’’ දොස්තර කාලෝ මෙහෙම කීවේ එකල වේගයෙන් පැතිරුණු මත්ද්‍රව්‍ය පිළිබඳ කළ වෛද්‍ය සම්මන්ත්‍රණයකදීය.
අබිං සහ හෙරොයින් යන දෙකම නිෂ්පාදනය වූයේ ඖෂධ ලෙසය. අත්‍යවශ්‍ය රෝගීන් සඳහා ඉතාම සුළු මාත්‍රාවක් ලබාදී රෝගීන් සුවපත් කළ මෙම ඖෂධ ලාභ ඉපැයීම පිණිස ජාවාරම්කරුවන් මහා පරිමාණයෙන් බෙදාහැරීම ඇරඹූ පසු ලෝකයටම වසංගතයක් බවට පත්විය. විවිධ අපද්‍රව්‍ය මිශ්‍ර කිරීම නිසා භාවිත කරන්නන්ගේ ශරීර දිරාපත් වන මාරකයක් බවට පත්විය.
1984 දී පිරිසිදු වර්ගයේ හෙරොයින් කිලෝවක මිල ඇමරිකාවේදී ඩොලර් 25000 ක් තරම් ඉහළ මිලක පැවතුණේය. ලංකාවේදී අපද්‍රව්‍ය මිශ්‍ර කළ හෙරොයින් ග්‍රෑම් එකක් විකිණුනේ රුපියල් 250කටය. 1984 දී සාමාන්‍ය රජයේ ගුරුවරයකුගේ වැටුප රුපියල් 600ක් පමණ වූ අතර එමගින් හෙරොයින් පැකට්ටුවක එකල වටිනාකම ගණනය කරගත හැකිය. 1980 වර්ෂයේදී හෙරොයින් පාවිච්චි කිරීමෙන් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත්තේ සිව් දෙනෙකි. ඉන් තිදෙනකුම විදේශිකයන්ය. 1983 දී එකසිය අට දෙනකු මානසික වෛද්‍ය ප්‍රතිකාර ගෙන ඇති අතර 1984 දී හෙරොයින් නිසා මානසික රෝගීන් වූ පිරිස 200 දක්වා ඉහළ නැංගේය. 1976 සිට 1982 වර්ෂය දක්වා මෙරට හෙරොයින් ලෝලීන් සංඛ්‍යාව සිය ගණනක් වූවා මිස දහස් ගණනක් බවට පත්වූයේ නැත. 1984 වනවිට වේගයෙන් පැතිරුණු හෙරොයින් ඉන් අනතුරුව වසංගතයක් බවට පත්විය.
මත්ද්‍රව්‍ය සහ පාතාලය යොදා ගනිමින් කටයුතු කරන යම් දේශපාලක පිරිසක් ඉහළ දේශපාලන ධාරාවේ සිට ගම් මට්ටමේ පහළම දේශපාලන ධාරාව දක්වා විහිදී ඇති අතර සමස්ත දේශපාලන ප්‍රජාවගේම නම කැත කරන්නේ මෙකී පිරිසය.
1987-89 භීෂණ සමය මෙරට පාතාල ලෝකයේ තිඹිරිගෙය විය. එයට පෙර වීදි දාමරිකයන් සිටියද ගිනි අවියෙන් සන්නද්ධ වී කුලී ඝාතන මෙහෙයවමින් අතිවිශාල ලෙස මුදල් උපයන පාතාල ලෝකයක් බිහිවූයේ 1987-89 භීෂණ සමයේ අතුරු ඵලයක් ලෙසය.

යටත් විජිත යුගයේ ඉංග්‍රීසි පාලකයන්ගේ අණසක යටතේත් මෙරට කඩවීදි සහ විශේෂිත ස්ථානවලට අදාළව ‘‘චණ්ඩි’’ හෙවත් ‘‘දාමරිකයන්’’ පිරිසක් ක්‍රියාත්මක වූහ. මේ පිරිසගේ බලය ක්‍රියාත්මක වූයේ එම ස්ථානයේ ජීවත් වූ සාමාන්‍ය ගැමියන්ට එරෙහිවය. යටත් විජිත පාලකයන් පවා මෙකී දාමරිකයන් තමන්ගේ පාලනය පහසුකර ගැනීම සඳහා යොදාගත් බව වාර්තා වී ඇත. විශේෂයෙන්ම ඉතා දුෂ්කර කර්මාන්තයක් වන මිනිරන් පතල් කර්මාන්තයේදී සාමාන්‍ය කම්කරුවන් පාලනය කරන ‘‘පිරිස් කළමනාකාර’’ මට්ටමේ සේවයක් ඉටු කළේ ‘‘චණ්ඩින්ය’’. මහ පොළොවේ අඩි සිය ගණනක් යටට යන පතල් රැකියාවේදී එම කම්කරු වෘත්තියට පැමිණෙන්නන්ද දාමරික ගතිගුණවලින් යුතු වූයෙන් එවැනි පිරිස් පාලනයට එයට ඉහළින් සිටින චණ්ඩියකු අවශ්‍ය විය. මෙම චණ්ඩීන් යොදා ගත්තේ යටත් විජිත පාලකයන්ගේද අනුග්‍රහයෙනි. මෙරට ඇතැම් මිනිරන් පතල් අයිතිකරුවන් පවා දාමරික ගතිගුණවලින් යුතු ‘‘වංශවත්’’ චණ්ඩි ලෙස නම් දැරීය. බෝගල මිනිරන් පතල ආශ්‍රිතව නිපැයුණු බෝගල සවුන්දිරිස් ටෙලිකතා මාලාවට පාදක වූයේද එවැනි සැබෑ චණ්ඩියකුගේ කතාවය. එකල චණ්ඩින්ගේ ප්‍රධාන ලක්ෂණය වූයේ ආයුධ නොව ඔවුන්ගේ අතේ පයේ ක්‍රියාකාරීත්වයයි. කාටත් පෙනෙන්නට තිබූ ඔවුන්ගේ ආයුධ වූයේ ඉණේ තිබූ කිරිච්චිය සහ විශේෂිත අවස්ථාවලදී අතට ගන්නා කඩුවය. හොර මත්පැන් ජාවාරම ඔවුන්ගේ අතට මුදල් ගෙන ආවේය.
1971 කැරැල්ලෙන් පසු ගිනි අවියේ ‘‘වටිනාකම’’ මෙම චණ්ඩින්ටද දැනෙන්නට පටන් ගත්තේය. එකල ගිනි අවි සුලභ නොවූ හෙයින් ඉඩම් හිමියන් ඇතුළු ධනවත් පංතිය සතුව තිබූ බලපත්‍ර සහිත තුවක්කු සොරකම් කර තමා සතු කර ගන්නට මේ චණ්ඩි පෙලඹුණහ.
1980 වනවිට සංචාරක කර්මාන්තය සමග ‘‘හෙරොයින්’’ වෙරළබඩ ප්‍රදේශයට පැමිණියේය. හොර මත්පැන් සහ ගංජා ජාවාරම අතහැර දැමූ චණ්ඩි අලුතෙන් ආ හෙරොයින් ව්‍යාපාරයට අතගැසූහ. මුල් කාලයේ විදේශීය සංචාරකයන්ගෙන් සුළු වශයෙන් ඔවුන්ට මත්කුඩු ලැබුණද ඉතා ඉක්මනින්ම හෙරොයින් ආනයනය කිරීමට ඔවුහු පෙලඹුණහ.
1983 න් පසු රටේ දේශපාලන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය. උතුරේ ත්‍රස්තවාදය ආරම්භවීම හේතුවෙන් ගිනි අවි සුලබ විය. දේශපාලකයන්ට පෙර තිබුණාට වඩා වැඩි ආරක්ෂාවක් සැපයිණි. ඇතැම් දේශපාලකයන්ට විදේශයෙන් මත්ද්‍රව්‍ය සහ රන්පොලු ආදී හොර බඩු ගුවනින් ගෙන ආ බවට චෝදනා එල්ල විය. 1987 භීෂණ සමය ආරම්භ වූ පසු දේශපාලකයෝ තමන්ගේම සන්නද්ධ කල්ලි නිර්මාණය කර ගැනීමටද ආයුධ සන්නද්ධ කණ්ඩායම්වල ආරක්ෂාව ලබා ගැනීමටද උනන්දු වූ අතර ඒ වෙනුවෙන් මුදල් ඉපයීම සඳහා මත්කුඩු ජාවාරම්කරුවන්ට අනුග්‍රහය ලබා දුන්හ.
මත්ද්‍රව්‍ය උවදුර වර්ධනය වෙත්ම ඒ සම්බන්ධ නව නීති පැනවීමට 1984 දී එවකට රජය පියවර ගත්තේය. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පිහිටුවන ලද්දේ ඒ අනුවය. කංසා වැනි පැළෑටි වර්ග වැවීම, මත්ද්‍රව්‍ය නිපදවීම, ආනයනය, අපනයනය, ළඟ තබා ගැනීම, විකිණීම ආදිය නැවැත්වීම පිණිස මෙම අධිකාරිය පිහිටුවන ලද්දේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතක් සලකා බැලීමෙන් පසුවය. මත්ද්‍රව්‍ය වර්ග එහා මෙහා ගෙන යාමේ ජාත්‍යන්තර තිප්පොළක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙන බවත් මෙය තවත් උත්සන්න වීමට පෙර නිද්‍රාජනක ඖෂධ ගැන ක්‍රියාකිරීම සඳහා මෙම අධිකාරිය පිහිටුවා නීතිය රකින ආයතනවලට බලතල දියයුතු බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට පැහැදිලි කර තිබිණි.
ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම වර්ධනය වීම සඳහා එවකට තිබූ භූ දේශපාලනයද බලපෑවේය. ඇෆ්ගනිස්ථානයේ සෝවියට් හිතවාදී සමාජවාදී රජයට එරෙහිව ඇමරිකාව පකිස්ථානයේ සිට ක්‍රියාත්මක කරවූ මුජහිදීන් ගරිල්ලා ව්‍යාපාරය හේතුවෙන් පාකිස්ථානයේ මත්ද්‍රව්‍ය ජාවාරමද වේගයෙන් වර්ධනය විය. කංසා, සහ හෂීස් මෙම කලාපයේ වවා යුරෝපයට අපනයනය කිරීමේ අතරමැදි වෙළෙඳපොළක් වූයේ ලංකාවය. පාකිස්ථානයෙන් මෙරටට ගෙන එන කංසා ලාටු (හෂීස්) ලංකාවේ සිට යුරෝපයට ප්‍රති අපනයනය කෙරිණි. ඒ කාලය වනවිට ලාංකියන් දේශීය වශයෙන් මෑත භාගය තරම් මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරුවී නොසිටි අතර ලංකාව භාවිත වූයේ ජාත්‍යන්තර අපනයනයේ අතරමැදි රටක් ලෙසය. ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ගයට ඉතා ආසන්නව පිහිටීම නිසා ආසියාවේ ප්‍රධාන මත්ද්‍රව්‍ය කලාප දෙකෙන්ම එන මත්ද්‍රව්‍ය බෙදාහැරීමට ලංකාව තෝතැන්නක් විය. එනම් නැගෙනහිරින් ස්වර්ණ ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන ලාඕස, තායිලන්ත හා බුරුම කලාපයද බටහිරින් ස්වර්ණ ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන ඉරානය ඇෆ්ගනිස්ථානයය හා පාකිස්ථානය කලාපයද වේ. මෙම කලාප දෙකෙන්ම ගෙන එන මත්ද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කෙරුණේ ලංකාව හරහාය. ජාත්‍යන්තර සංඛ්‍යා ලේඛන අනුව 1986 වසරේදී අප්‍රේල් හා මැයි මාසවලදී පමණක් ඩොලර් කෝටි 40ක මත්ද්‍රව්‍ය සමග ලාංකිකයන් 80 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
1989 භීෂණ සමයේ මත්ද්‍රව්‍ය ජාවාරම යම් තරමකට පසුබෑවද පාතාල ලෝකයක් බිහිවීම සඳහා එම භීෂණ සමය අපූරු තෝතැන්නක් බවට පත්විය. එතෙක් ගම්වල සහ නාගරික වීධිවල සිටි නම් දැරූ චණ්ඩින් එකතුකරගෙන පෞද්ගලික ආරක්ෂක සේනාංක නිර්මාණය කරගත් දේශපාලකයෝ භීෂණයට ප්‍රතිභීෂණයක් ඇති කළහ. පසුකාලීනව ලලිත් ඇතුලත්මුදලි ඝාතන කොමිෂන් සභාවේදී හෙළිදරව් වූ පරිදි මෙම වීදි චණ්ඩින්ට ඇතැම් ඉහළ පෙළේ දේශපාලකයන්ගේ නියෝගයෙන් පොලිස් පුහුණු පාසල්වලදී වෙඩි පුහුණුවද ලබාදී තිබිණි. භීෂණයට ඔවුන් මුදාහල ප්‍රති භීෂණය සඳහා ආරක්ෂක අංශවලට නිකුත් කළ ගිනි අවිද ඔවුන්ට ලැබිණි. භීෂණය මැඩලන මුවාවෙන් ජවිපෙ තුවක්කුකරුවන් ඝාතනය කළ මෙම මැර සේනාංක ඒ අතරතුර තම දේශපාලනඥයාට එරෙහිව සිටි විපක්ෂ දේශපාලකයන්ද ඝාතනය කළෝය. පාතාල දේශපාලනය සේම මැර දේශපාලනයද උපන්නේ මෙම භීෂණ සමයේය. ජවිපෙ තුවක්කුකරුවන්ට බිලි වූ දේශපාලකයන්ට සමාන සංඛ්‍යාවක් දේශපාලකයන්ගේ අණ මත මැර පාතාලයට බිලි වී තිබුණේය.
භීෂණය අවසන් වීමත් සමග ජවිපෙ දේශපාලනය බිමට සමතලා කර තිබුණේය. එහෙත් ඔවුන් අත තිබූ තුවක්කුවලින් සැලකියයුතු සංඛ්‍යාවක් අලුතෙන් බිහිවූ පාතාලය අතටද ගොස් තිබුණේය. ඉතිරි වූ ඇතැම් ජවිපෙ හිතවාදීහු පාතාල කල්ලි සාමාජිකයන් බවට පත්වූහ.
එලෙසම රජයේ දේශපාලකයන් විසින් තම හිතවාදී මැර කල්ලිවලට ලබාදී තිබූ තුවක්කුද සග මැර කණ්ඩායම් තම ප්‍රදේශවල පාතාල ලෝකයක් ක්‍රියාත්මක කළහ. භීෂණයේ අවසානයත් සමග දේශපාලකයන්ගේ ඇල්ම බැල්ම අහිමිවෙද්දී පාතාලයේ ප්‍රධාන ආදායම බවට මත්ද්‍රව්‍ය ජාවාරම පත්විය. කුලී ඝාතනවලින් ආරම්භ වූ පාතාලයේ ඝාතන අවසානයේ පාතාලයේ සහ මත් ජාවාරමේ කිරුළ ලබාගැනීම සඳහා එකිනෙකා මරා ගන්නා දඩබිමක් බවට පත්විය.
ආණ්ඩුකරණයේදී මත්ද්‍රව්‍ය සහ පාතාලය තරුණ පරම්පරාව මොට කිරීම සඳහාත් අරගලකාරී නොවීම සඳහාත් මනෝ විද්‍යාත්මක උපක්‍රමයක් ලෙස යොදා ගන්නා අවස්ථාද දැකගත හැකිය. මත්ද්‍රව්‍යයෙන් ශාරීරික ලෙස දුබල වූ තරුණ පරම්පරාවකට දේශපාලන අරගලවල යෙදිය නොහැකිය. 1987 කැරැල්ලේ අවසානයත් සමග රජය වටහාගත් කරුණක් වූයේ තරුණ පිරිස අරගලකාරී වීම පාලනය කිරීම සඳහා විවිධ වැඩසටහන් අවශ්‍ය බවය. විනෝදාස්වාදය සපයන මාර්ග වැඩි කිරීම මෙන්ම ශාරීරික ලෙස දුබල කරන මාර්ගද අවශ්‍ය බව රජයට යෝජනා කෙරිණ. මත්ද්‍රව්‍ය සඳහා යම් මට්ටමකට රාජ්‍ය අනුග්‍රහයක් ලැබීම එහි ප්‍රතිඵලයක් විය.
පාතාල ලෝකය සහ මත්කුඩු උවදුර මෙරට පැතිර ගියේත් අද වනවිට පවා ආරක්ෂා සහිතව සිටින්නේත් දේශපාලන අනුහසින් බව අද රටට රහසක් නොවේ. දේශපාලකයන්ගේ පැවැත්ම සඳහා පාතාලය නඩත්තු කරමින් පෝෂණය කරන අතර ඒ කටයුතු සඳහා අවශ්‍ය මිල මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගනියි. ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දුන් කළු දේශපාලනයට මේ අංශ දෙකද අයත් වෙයි. පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරමට ඇතුළත් නොවන සුවිශාල දේශපාලන ප්‍රජාවක් මෙරට සිටින බවද අප අමතක නොකළ යුතුය.
මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම පාතාලය පාලනය කිරීම රජයට පමණක් කළ හැකි කටයුත්තක් නොවේ. ඒ සඳහා සියලු පක්ෂවල එකඟතාවෙන් නව නීති පනවා ත්‍රස්තවාදය මර්දනය කළ අයුරුන් පුළුල් වැඩ පිළිවෙළක් දියත් කළ යුතුය.
එවැනි තද තීරණ නොගතහොත් මේ උවදුරු දෙකම පාලනය කළ නොහැකිය. පැවැති රජයට දොස් කීමෙන් පමණක් මෙම උවදුරු මර්දනය නොවන අතර වත්මන් රජයට දොස් කීමෙන්ද මේ දෙඅංශයම මර්දනය නොවේ. ඒ සඳහා දේශපාලන එකමුතුභාවයකින් දීර්ඝ ක්‍රියාන්විතයකට යා යුතුය. මෙරට දේශපාලන අංශ එවැන්නකට සූදානම් බව නම් පෙනෙන්නට නැත.
ප්‍රේමකීර්ති රණතුංග

