පසුගිය දශක දෙකක කාලයෙහි රට මුහුණ පෑ තියුණු අභියෝග ගණනාවකි. ත්‍රස්තවාදය එක පැත්තකි. දරුණු ජීවිත හා දේපොළ විනාශයක් සිදු විය. සංවර්ධනයට යෙදවිය හැකිව තිබුණ විශාල මුදල් ප්‍රමාණයක් ජාතික ආරක්ෂාව සඳහා වැය කරන්නට සිදු වූ අතර ත්‍රස්තවාදය පරාජය කරන්නට සමත්වීම මෙරට ඉතිහාසයේ කැපී පෙනෙන සන්ධිස්ථානයකි. මැදි ආදායම් රටක් වශයෙන් නැගී, වර්ධනය වන අතරවාරයේ කොවිඩ් වසංගතයට මුහුණ දෙන්නට සිදුවිය. රට ලොක්ඩවුන් කරන ලද අතර මූලික අවශ්‍යතා සම්පාදනය සඳහා පවා විනිමය ප්‍රමාණවත් නොවූ තැනට පත්විය. විදේශ ණය ගෙවා ගත නොහැකි බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ.
වසංගතයෙන් ඇතිකරන ලද හානි හේතු කොටගෙන ලෝකයේ සෑම රටකම කැළඹිලි ඇති කර තිබේ. ආණ්ඩු විරෝධය සහිත අසංවිධානාත්මක කැරළි පැන නැගෙමින් පවතී. ඒවා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට අභියෝගයක් වී ඇත. ශ්‍රී ලංකාව, බංගලිදේශය, නේපාලය, ජපානය, ඉන්දුනීසියාව, යුරෝපා රටවල් පුරා පැතිර ගිය අරගලකාරී තත්ත්ව එයට උදාහරණ වේ. මහජන අවශ්‍යතා සම්පාදනය කළ නොහැකි වූ පසු සමාජ මාධ්‍ය යුගයේදී විරෝධතා පාලනය අපහසුය. ශ්‍රී ලංකාවේ එවකට උද්ගත වූ තත්ත්වය සලකා බලන ඉන්දීය රජය ඇමරිකානු ඩොලර් බිලියන හතරක ණයක් සපයන ලද අතර චීනය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් වටිනා මුදල් සංචිතයක් මහ බැංකුවට සපයන ලදි. ජාත්‍යන්තර විශ්වාසය නැවත ඇති කරගෙන ණය ගෙවිය හැකි රටක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ආධාර සහිත මාස 48ක සැලැස්මක් රට හමුවේ තැබීය.
කල් තැබූ විදේශ ණය
ආර්ථිකය ස්ථාවර වී තිබේ. විදේශ ණය ගෙවීම කල්තබන ශ්‍රී ලංකාව තමන්ට ලැබෙන විනිමය ප්‍රමාණයෙන් ජීවත්වන රටාවක් සකස් කරගෙන ඇත. මෙම ස්වභාවය ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ප්‍රදානක ආයතන විසින් අධ්‍යයනය කරමින් සිටී. ලෝකයේ අනෙක් රටවල් තුළ නැවත පිළිගැනීමක් ඇති කරන සහ ණය ගෙවන්නට සමත්වන රටක් බවට ශ්‍රී ලංකාව හරවන බව එම ආයතන ජාත්‍යන්තරය හමුවේ සහතික වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය පාලන කාලයේ අවසාන දින කිහිපයට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් ලියන ලද අතර මෙරට ආර්ථිකය ස්ථාවර කරන වැඩ පිළිවෙළකට සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය. අරගලකාරී තත්ත්වයකට පසු පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට සම්පූර්ණයෙන් එකඟත්වය පළ කළේය. එයින් ආරම්භ වූ ගමන අතරතුර බලයට පත් අනුර දිසානායක ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති අවබෝධතාව වෙනස් කරන්නට උත්සාහ කළේ නැත. මෙම පසුබිම තුළ අලුතින් ඇති කරගත යුතු සැලැස්ම ශ්‍රී ලංකාවේ ඉදිරිගමන සම්බන්ධයෙන් තීරණාත්මකය. ආර්ථිකය ස්ථාවර කරන අතර දේශීය හා විදේශීය ණය ගෙවීමට ප්‍රමාණවත් ධනයක් උපයාගැනීම අවශ්‍යය.
ආර්ථිකයේ දෙපැත්තක ලක්ෂණ අධ්‍යයනය
ණයනොගෙවන අතර රටට ලැබුණ මැදිහත්වීමෙන් ආර්ථික ස්ථාවරත්වය ළඟාකරගෙන තිබේ. වර්ධනයක් කරා ගමන් කිරීමට ජවයක් අවශ්‍ය කෙරේ. ජවය ඇති කළ හැකි ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීමකින් තොරව ජනතාව පොහොසත් කළ නොහැකිය. මෙම වසරේ ආර්ථිකය සියයට හතර ඉක්මවිය හැකි බව පුරෝකථනය වී ඇත. එහෙත් 2026 හා 27 වසරවල ආර්ථික වර්ධනය සියයට තුන ඉක්මවිය නොහැකි බව දැක්වේ. ශ්‍රී ලංකාවේ පැවැත්ම සඳහා සියයට හය පසුකරන වර්ධන වේගයක් අවශ්‍යය. මෙම සංවර්ධන අභිලාෂ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගණනාවකි. ආණ්ඩුවේ උපදේශකයන් සහ ජාත්‍යන්තර ආයතනවල නියෝජිතයන් ප්‍රමාණවත් උපදෙස් ලබා දී තිබේ. ප්‍රතිසංස්කරණ අවශ්‍යය. එමගින් රජයේ වියදම පහත වැටේ. විදේශ ආයෝජන අවශ්‍යය. ආයෝජනවලින් විනිමය සංචිතය තර කරගත හැකිවේ. දැනට නිකුත් වී ඇති වාර්තා දක්වන පරිදි ප්‍රතිසංස්කරණ හා විදේශ ආයෝජන ගැන අවධානය ප්‍රමාණවත් නැත.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරන පියවර ඉදිරියේ අවධානය යොමු කළ යුතු පැති දෙකකි. ආණ්ඩුවේ ආදායම හා වියදම පාලනය කිරීම එයින් එකකි. රජයේ වියදම පාලනය වෙනුවට ආදායම වැඩිකර ගැනීම සඳහා සැලකිය යුතු අතිරේක බදු පනවන ආණ්ඩුව ඒවා ගෙවන ලෙස මහජනතාවට සහ ව්‍යාපාරවලට බල කරමින් සිටී. මෙය අනතුරුදායකය. ආර්ථික වර්ධනය ප්‍රමාණවත් නොවෙන අවස්ථාවක බදු ඉලක්ක සම්පූර්ණ කරගත නොහැක.
විදේශ ණය ආපසු ගෙවීම සඳහා ක්‍රමෝපායකට ඇතුළත්වීම අනෙක් පියවර විය. ණය ආපසු ගෙවන සැලැස්මකට ඇතුළත් වූ ශ්‍රී ලංකාව රටවල්වලින් හා සංවර්ධන බැඳුම්කර වශයෙන් ලබාගත් ණය වසර 2028 දී ගෙවීම ආරම්භ කරන බව සහතික කර තිබේ. ණය අහෝසිවන ප්‍රමාණය, අය කරන පොලී ප්‍රතිශත වෙනස් කිරීම හා ගෙවන වාරික සම්බන්ධ සංකීර්ණ ක්‍රියාවලියකි. ආර්ථික වර්ධන වේගය වැඩිවුවහොත් වැඩි පොලියක් ගෙවන්නට සිදුවේ. වේගය අඩුවන විට පොලිය අඩුය. ණය ගෙවන උපායක් වශයෙන් සංවර්ධන වේගය අඩාළ කළ හොත් පොදු ජනතාව තවත් වටයකින් පීඩනයකට පත්වේ. දුප්පත්භාවය වැඩි වෙනු ඇත. කර්මාන්ත අඩාළ වී විරැකියාව ඉහළ යනු ඇත. උද්ධමනය හා රුපියලේ අගය දැනට පෙනෙන ආකාරයට මෙම උගුලට වුවමනාවෙන්ම හසුවන ආකාරයකට ආකෘතිය සකස් වෙමින් තිබේ. සංවර්ධන වේගය අඩුවෙන බව දැක්වේ. විදේශ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක ඉලක්කයක් තිබිය යුතු නමුත් 0.5 ක පමණ ප්‍රතිශතයකින් පමණක් ආයෝජන ලැබී ඇත. ආර්ථිකය ගොඩනගන සැලැස්ම අනුව අලුතින් ධනය උත්පාදනය කළ යුතු වේ. එය සඳහා අලුත් කර්මාන්ත, ව්‍යාපාර හා සේවා අංශවලින් රට තුළ නිෂ්පාදන අවස්ථා නිර්මාණය කිරීම අවශ්‍යය. ව්‍යවසායකයන්ට ඉඩ දිය යුතු අතර ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතුය.
ණය ගැනීම පමණක් නොව ගෙවීම ද වැදගත්
ලෝකයේ සෑම රටක්ම සිය ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වවලින් ණයගනිමින් සිටී. නැවත ධනය නිෂ්පාදනය කර ආපසු ගෙවන අතර චක්‍රීය සැලැස්මකට ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය ගැනීම් සිදුවේ. ශ්‍රී ලංකාවට ද වෙනත් උපාය මාර්ගයක් නැත. විවෘත ආර්ථික ක්‍රමය තුළ වෙනස් අදහස් තිබිය හැකි නමුත් ක්‍රියාත්මක භාවයේ දී තරගකාරීත්වය අවශ්‍යය. ලෝකයේ අනෙක් රටකට වඩා ඉදිරියෙන් නොසිටියහොත් බැහැරවීමට සිදුවේ. මෙම අභ්‍යන්තරය හඳුනාගත යුතුය. විවෘත ආර්ථිකයට මුල් වටයේ දී ඇතුළු වූ රටක් වශයෙන් අත්දැකීම් ප්‍රමාණයක් රටට තිබේ. අනෙක් රටවලට වඩා ඉක්මන් තීරණ ගෙන වහා ක්‍රියාත්මකවීමෙන් සැලකිය යුතු පරිවර්තනයක් ඇතිකරගත හැකිය. කෙසේ නමුත් වරින් වර වෙනස් කරන ප්‍රතිපත්ති හා තීරණගැනීමේ දුර්වලතාව හේතු කොටගෙන සැලකිය යුතු විනාශයක් අත්පත් කරගෙන ඇත.
මෙම විනාශයේ තරම ඉතා දරුණුය. තරුණ පරම්පරාව තුළ ක්‍රමය ගැන විශ්වාසයක් නැත. ඉගෙන ගන්නා දරුවන් පමණක් නොව අධ්‍යාපනය අතර මගදී මඟ හැරෙන දරුවෝ ද අවස්ථා සඳහා විදේශ රටවලට පිටත්ව යමින් සිටිති. වටිනා තරුණන්ගෙන් ධෛර්යවන්ත පිරිසක් අභ්‍යන්තර කැරලි හා ත්‍රස්තවාදය විසින් බිලිගත් පසු මෙම වටයේ දී රටින් බැහැරට යැවීම සුදුසු තත්ත්වයක් නොවේ. ලෝකයේ වෙනත් රටක් දියුණු කිරීම සඳහා ශ්‍රමය වැයකර එයින් උපයාගන්නා වැටුප ශ්‍රී ලංකාවට ලැබෙන්නට සැලැස්වීම විනිමය උපයන මාර්ගයක් බවට හරවා ගත යුතු නැත.
ණය ගෙවන්නට විදේශ විනිමය කොතැනින් ද යන බරපතළ ප්‍රශ්නය රට හමුවේ සාකච්ඡා කළ යුතුය. ණය ගෙවන අතර රට තුළ විනිමය අනුපාතිකය ස්ථාවරව තබා ගැනීම, උද්ධමනය, පොලී අනුපාත වැනි කරුණු කෙරෙහි තියුණු අවධානයක් අවශ්‍යය.
කර්මාන්ත හා සේවා ඇති කිරීමෙන් ඒවායේ නියැළි පරපුරක් ගොඩනැගීම අවශ්‍යය. සම්පූර්ණයෙන්ම අපනයන අභිලාෂයක් සහිත තැනකට රට පරිවර්තනය කළ යුතුවේ. ණය ගැනීම පමණක් නොව ගෙවන්නට ද හැකි ආර්ථිකයක් ගොඩනැගිය යුතුය. මහජනතාවට බදු පැනැවීමෙන් පසු ආදායම හා වියදම සමබර කරගෙන තිබේ. විදුලිය හා ඉන්ධන මිල සූත්‍රවලින් රජයේ අලාභ ආවරණය කරගෙන ඇත. එහෙත් ඒවා ණය ගෙවිය හැකි ඩොලර් නොවන බව අවධාරණය කළ යුතුය. මහජනතාවට පනවන බදුවලින් විනිමය සංචිතය තරකරගත නොහැක.
ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37 කි. දේශීය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 19. මෙම දත්ත මෙරට ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. විදේශ ණයවලින් සියයට තිස් හයක් බහු පාර්ශ්වීය සංවිධාන සඳහාය. තවත් සියයට 34 ක් ජාත්‍යන්තර සංවර්ධන බැඳුම්කර හිමියන්ට අයත් බව දැක්වේ. සියයට තිහක් ඉන්දියාව, චීනය හා ජපානය ඇතුළු රටවලටය. 2025 වසරේ දී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක ණය ගෙවා තිබේ. ණය නොගෙවන ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් පියැවිය යුතු ආසියානු නිෂ්කාශන ඒජන්සිය වෙනුවෙන් ඉන්දියාවට පියැවිය යුතුව ඇති එහෙත් ණයක් බවට හරවන ලද මුදලින් කොටසක් වශයෙන් මෙම ගෙවීම කර තිබේ. එම ණය ගෙවීම සඳහා අභ්‍යන්තරයෙන් එකතු කරගත් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් භාවිත කර ඇත. වාණිජ බැංකුවලට ලැබෙන විනිමය ඔවුන්ට තබා ගැනීමට අවසර ඇති දින ගණන සීමා කරන මහ බැංකුව පාලනය කරන ලද විනිමය අනුපාතිකයකට සන්තකයට ලබාගෙන තිබේ. මෙම වසර තුළ රුපියලේ අගය සියයට 3.3 කින් අවප්‍රමාණය වී ඇති අතර එම වාසිය ද මහ බැංකුව ලබාගැනීමෙන් පසු ණය ගෙවීමට මෙම විනිමය භාවිතකර ඇති බව වාර්තා දක්වයි. කෙසේ වෙතත් මෙම පියැවීම මෙම වසරේ ගෙවිය යුතු ණයවලින් සියයට පනස් පහකි. ඉතිරිය සඳහා තවත් ඩොලර් බිලියන 1.2 ක පමණ විදේශ විනිමය ප්‍රමාණයක් රටට අවශ්‍යය.
ගෙවිය යුතු තරම ගැන අවබෝධයකට
ප්‍රශ්න අවසන් නැත. ණය ආපසු ගෙවන එකඟතා අනුව 2028 වසරේ සිට ණය ආපසු ගෙවීමේ සැලැස්ම ක්‍රියාත්මක කළ යුතුය. එය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5-6 අතර විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත. ශ්‍රී ලංකාවේ විදේශ වත්කම් සලකා බලන පසු අද වෙන විට පවතින සම්පූර්ණ විදේශ විනිමය සංචිතයට ඉක්මවන ප්‍රමාණයකි. විදේශ විනිමය වශයෙන් ලැබෙන සංචාරක හා විදේශ රැකියාවල නියුක්ති ශ්‍රී ලාංකිකයන් එවන සම්පූර්ණ මුදල හා සමානය. තවත් අනුමානයකින් සඳහන් කළහොත් මෙරට අපනයන ආදායමෙන් අඩක් පමණ වේ.
විදේශ විනිමය උත්පාදනය කරගත හැකි අලුත් ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබේ. ඉදිරි මාස විසි හතර තුළ ණය ගෙවන අතර රටට අවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් සංචිත ගොඩ නගා ගැනීම බරපතළ කාරණයක් බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.
බිලියන තිස් හයක අපනයනය ඉලක්කයක්
වසර 2030 වන විට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 36 දක්වා වැඩි කරගැනීමට ආණ්ඩුව ඉලක්ක කරයි. දැනට පවතින අපනයන ආදායම මාස 48ක් තුළ දෙගුණ කරගත යුතුවේ. මාස 48ක් දක්වා විහිදුන ජාතන්තර මූල්‍ය අරමුදලේ සැලැස්ම හරි අඩක් අවසන් කර ඇත. කාලය වේගයෙන් ගතවේ. අපනයන ආදායම දෙගුණ කර ගැනීම සඳහා වේගවත් දැවැන්ත සැලැස්මක් අවශ්‍යය.
තේ අපනයනයෙන් රටට ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ වේ. ගිනස් වාර්තා තබන නමුත් මෙරට තේ අස්වැන්න වැඩිකර ගැනීමට හෝ ලෝක වෙළෙඳ පොළේ පවතින ඉල්ලුම කරා ගමන් කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට නැත. රබර්, පොල් හෝ සුළු අපනයන භෝගවලින් පවා ආදායම දෙගුණ කරගැනීම අතිශය දුෂ්කරය. ඉතිහාසයේ පළමු වතාවට මෙරට මෘදුකාංග හා තොරතුරු තාක්ෂණ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියනයක සීමාවට පැමිණ ඇත. තාක්ෂණය ඉහළින් පවතින රටවල් සමග තරගකර මෙම ආදායම දෙගුණ තෙගුණ කරගැනීම පහසු නැති අතර එම ප්‍රතිශත තුළ පවා ඇමරිකානු ඩොලර් බිලියන තිස් හයක් යනු දුෂ්කර ඉලක්කයකි.
පුරුදු ආකෘතිය වෙනස්කර අලුත් මුහුණුවරකින් අපනයන අංශ දියුණු කරන සැලැස්මක් අවශ්‍ය කෙරේ. විදේශ ආයෝජනවලට ඉඩ දිය යුතු අතර ඒවා අපනයනය සඳහා කරන ආයෝජන බවට තීරණය කිරීම අවශ්‍යය. විදේශ ආයෝජන අවශ්‍යම වකවානුවක ආණ්ඩුවේ තීරණ ඉතා අවදානම් සහගත බව සඳහන් කළ හැකිය. රටට ලැබෙන ආයෝජන පවා අවහිර වී තිබේ. එවැනි පසුබිමක් තිබිය දී විදේශ ණය ගෙවීම ගැටලුකාරීවීම වැළැක්විය නොහැක.
ආපසු හැරෙන රටාවක විදේශ ආයෝජන
ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ඉදිරිපත් වූ ඔස්ට්‍රේලියානු ඛනිජ තෙල් ව්‍යාපාරය එය අත්හැර දමා තිබේ. රට තුළ තරගකාරිත්වයකට ඉඩ නැති බව ඔවුන් පෙන්වා දී තිබේ. අදානි විදුලිය ව්‍යාපෘතිය නතර කළේය. එය ආර්ථිකය ඉතාම දුෂ්කර අවධියක ඉන්දීය රජය මැදිහත් වී අනුමත කරන ලද ව්‍යාපෘතියකි. පෝට් සිටි ව්‍යාපෘතියේ ආයෝජන වේගවත් නැත. ඉඩම් පැවැරීම හා යටිතල පහසුකම් සපයන නමුත් ආයෝජන අංශ දුර්මුඛ වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ බදු සහන අඩු කිරීමේ ක්‍රියාවලිය ඉදිරියේ පෝට් සිටි ආයෝජන අඩු වියහැකි අවදානමක් පැන නැගී ඇත. එය අනාගතයේ දී මෙරට ආයෝජනය සඳහා ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින කණ්ඩායම්වලට අනතුරු ඇඟවීමක් විය හැකිය.
ජනාධිපති මාධ්‍ය අංශය දක්වා තිබුණ පරිදි අනුර දිසානායක ජනාධිපතිවරයාගේ සංචාරය සමග ඛනිජ තෙල් පිරිපහදුවක් සඳහා සිනොපැක් සමාගම් එකඟත්වය පළ කළේය. එය ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක ආයොජනයක් බව ප්‍රකාශ වී තිබේ. හම්බන්තොට ඉදිකරන එම පිරි පහදුවේ නිෂ්පාදනවලින් සියයට විස්සක් හෝ තිහක් අතර ප්‍රතිශතයක් රට තුළ අලෙවි කළ යුතු බවට කොන්දේසියක් චීන සමාගම ඉදිරිපත් කර ඇත. එම යෝජනාවට එකඟවුවහොත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ වෙළෙඳපොළ කොටස සීමාවෙනු ඇති අතර ඉන්දියාවට තර්ජනයකි. ඇමරිකානු බදු නැංවීම පාලනය කර එය සියයට විස්සක් දක්වා තහවුරු කරගැනීම සඳහා එරටින් ඉන්ධන ආනයනය කරන යෝජනාවක් සලකා බලමින් සිටී. චීන කොන්දේසිය අනුව ක්‍රියාත්මක කළහොත් ඇමරිකානු ඛනිජ තෙල් වෙළෙඳාම අත්හිටුවීමට සිදුවේ.
ණය ගෙවන්නට විදේශ විනිමය කොතැනින් ද යන බරපතළ ප්‍රශ්නය රට හමුවේ සාකච්ඡා කළ යුතුය. ණය ගෙවන අතර රට තුළ විනිමය අනුපාතිකය ස්ථාවරව තබා ගැනීම, උද්ධමනය, පොලී අනුපාත වැනි කරුණු කෙරෙහි තියුණු අවධානයක් අවශ්‍යය. වසර 2028 තෙක් අතට ලැබෙන විනිමය ප්‍රමාණයෙන් ගිතෙලින් ආහාරයට ගෙන කිරෙන් අත සෝදාගෙන ජීවත් විය හැකිය. ක්‍රමයෙන් වර්ධනය විය හැකි අන්ධකාරය ඉතා තීරණාත්මක සාධකයකි.
සාරා කන්දෙගොඩ