ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විධායක නියෝගවලින් ආනයන සඳහා අත්තනෝමතික ලෙස තීරු බදු පනවමින් ලෝකයේ සෙසු රටවල් සමග දේශපාලන වශයෙන් කේවල් කිරීම සඳහා උපාංගයක් නිර්මාණය කරනු ලැබීය. ඇමරිකාව විසින්ම ප්‍රචලිත කරන ලද ලෝක වෙෙළඳ සංවිධානයේ මූලික මූලධර්මයනට පටහැණිව එනම් විවිධ රටවල් සඳහා විවිධ බදු අනුපාත පනවමින් සිදු කළ එම ක්‍රියාවලිය, දින 90කට කල් දමමින් තවදුරටත් කේවල් කිරීම සඳහා අවකාශය නිර්මාණය කරනු ලැබීය. ඒ අනුව පළමු වටයේදී ශ්‍රී ලංකාවට පැනවූ සියයට44ක බදු ප්‍රමාණය සියයට 30 දක්වා අඩු කිරීම මගින් යම් කොන්දේසිවලට එකඟ වන්නේ නම් තවදුරටත් අඩු කරගත හැකි බවට මනෝභාවයක් නිර්මාණය කරනු ලැබීය.
ඉන්පසුව ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරයා ගේ නායකත්වයෙන් කේවල් කිරීමේ හෙවත් යටත්වීමේ ක්‍රියාවලියක් ආරම්භ වූ අතර, එම කණ්ඩායම ඩොනල්ට් ට්‍රම්ප් ගේ කොන්දේසිවලට එකඟවීම නිසා අදාළ බදු ප්‍රමාණය සියයට 20 දක්වා අඩු කළ බව ප්‍රකාශයට පත්විය. එම පිරිස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකළ සාකච්ඡාවල දී යටත්වීම ප්‍රගුණ කළ බව රහසක් නොවේ. ඒ අනුව ජූලි මස 31 වැනි දින නිකුත් කළ විධායක නියෝගය මගින් ඊට පෙර නිකුත් කළ අංක 14257 දරන නියෝගය සංශෝධනය කෙරිණි. ඊට අනුව ඇමුණුමේ දක්වා ඇති රටක් වන ශ්‍රී ලංකාව, ඇමරිකානු රජය සමග ආර්ථික වෙෙළඳ සහ ආරක්ෂක ගිවිසුම් ඇති කර ගැනීමට එකඟ වූ බැවින් එසේ බඳු ප්‍රතිශතය අඩු කරන බව නිවේදනය කර ඇත.
එසේ වුවත් ශ්‍රී ලංකාවේ නියෝජිතයන් විසින් තමා එකඟ වූ වෙෙළඳ ගිවිසුමට සහ ආරක්ෂක ගිවිසුමට අදාළ කොන්දේසි මොනවා දැයි රටට එළිදරව් කළේ නැත. නමුත් පුවත්පත් මගින් වෙළෙඳාමට අදාළ යම් කොන්දේසි එළිදරව් කර තිබුණි. ඊට අනුව කාර්මික නිෂ්පාදන 1161 සහ කෘෂිකාර්මික නිෂ්පාදන 42ක ලැයිස්තුවක් සඳහා බදු සහන ලබාදීමට ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සහ ඇමරිකානු නියෝජිතයන් එකඟ වී ඇත. එහිදී ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට අයත් භාණ්ඩ සඳහා පූර්ණ බදු සහනයක් ලබාදිය යුතු වුවත්, ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට ඇමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩලය විසින් පනවා ඇති බදු ප්‍රමාණයන් ගෙවිය යුතු වේ. ඇමෙරිකාවේ විවිධ නීති මගින් නියම කර ඇති බදු වර්ග පැනවීමේ බලය කොංග්‍රස් මණ්ඩලය සතු වේ. ජනාධිපතිවරයා විධායක නියෝග මගින් වෙනත් විශේෂ බදු පැනවීමේ දී සහ ඉවත් කිරීමේදී හෝ අඩු කිරීමේ දී කොංග්‍රස් මණ්ඩලය විසින් පනවා ඇති බදු වෙනස්කම්වලට භාජනය නොවේ.
ඒ අනුව අදාළ වෙළෙඳ ගිවිසුම් එකඟතාව මගින් ශ්‍රී ලංකාවට වඩා වාසිදායක තත්ත්වයක් ඇමරිකානු ආර්ථිකයට ලැබේ. අවසානයේ දී ශ්‍රී ලංකාවට කාර්මික නිෂ්පාදන1161 සඳහා බදු සහන ලැබුණ ද ඇමරිකාවට කාර්මික නිෂ්පාදන 2000ක ප්‍රමාණයකට බදු සහන ලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පුවත්පත් වාර්තා මගින් පැහැදිලි වේ. ඇමරිකානු වාර්තාවලට අනුව එම ක්‍රියාවලියේ අවසානයේ අරමුණ දැනට ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස පවතින වෙෙළඳ පරතරය ඇමරිකාවට වාසිදායක වන ලෙස අඩු කිරීමය. ඒ අනුව එම ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාව විසින් ඇමරිකාවට ලබා දී ඇති බදු සහනවලට අමතරව ඇමරිකානු ඩොලර් බිලියන 500ක වටිනා බොරතෙල් සහ ඩොලර් මිලියන 300 ක් වටිනා එල්.පී.ජී. ගෑස් මිල දී ගැනීමට ද ශ්‍රී ලංකාවේ නියෝජිතයන් එකඟ වී ඇත.
දැනට පවතින තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් සියයට 25ක් ඇමරිකාව සමග වෙෙළඳාම මගින් ලැබෙන අතර, ශ්‍රී ලංකාවට එම වෙෙළඳාම මගින් සියයට 88 වෙළඳ අතිරික්තයක් ලැබෙයි. නමුත් නව එකඟතාවන්ට අනුව ශ්‍රී ලංකාවට වාසිදායක එම තත්ත්වය බරපතළ ලෙස අවාසිදායක ලෙස වෙනස් වන බව ඉතා පැහැදිලිය. ඊට අමතරව ඇමරිකානු කාර්මික භාණ්ඩ සහ ඇමරිකාව හරහා අපනයනය කෙරෙන වෙනත් රටවල භාණ්ඩවලට පුළුල් බදු සහන ලබාදීම නිසා ශ්‍රී ලංකාවේ දේශීය කාර්මික නිෂ්පාදනවල තරගකාරීත්වය අභියෝගයට ලක්වන බවට කිසිදු සැකයක් නැත. එහි අවසාන ප්‍රතිඵලය දැනටමත් බිඳ වැටෙමින් පවතින ශ්‍රී ලංකාවේ නිෂ්පාදන පද්ධතිය තවදුරටත් බිඳ වැටීම බව ඉතා පැහැදිලිය.
එම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීමේ ක්‍රියාවලියට සමගාමීව ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කෙරෙන භාණ්ඩ වලින් ලැබෙන ආදායම පහළ වැටෙන බව ඉතා පැහැදිලිය. ජාත්‍යන්තර වෙෙළඳාම පිළිබඳ විශේෂඥයන්ගේ මතය අනුව දැනට පවතින ඇමෙරිකානු ඩොලර් බිලියන 3,000ක පමණ වන අපනයන ආදායම සියයට 50 කින් අඩුවිය හැක. ඊට අමතරව “ට්‍රම්ප් බදු” මගින් ඇඟලුම් කර්මාන්තයට ඇති කරන බලපෑම සමනය වනු ඇතැයි මතයක් පැවතිය ද දැනට පවතින සියයට 13 බද්ද මත සියයට 20නව බද්ද පැනවෙන බැවින් ඇඟලුම් අපනයනයෙන් ලැබෙන ආදායම ඩොලර් මිලියන 275 පමණ සිට ඩොලර් මිලියන 100 දක්වා පහළ වැටෙන තත්ත්වයක් ඇතිවිය හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති. ඒ අනුව ට්‍රම්ප් බද්ද මගින් සිදුකළ කේවල් කිරීමේ ක්‍රියාවලියට ගොදුරුවීම හෙවත් යටත්වීම නිසා ශ්‍රී ලංකාවට ඉතා කෙටි කාලයක දී බරපතළ ආර්ථික වන්දියක් ගෙවීමට සිදුවන බව ඉතා පැහැදිලිය.
නමුත් එම කේවල් කිරීම තුළ ආරක්ෂක ගිවිසුමට එකඟතාව ලබාදීම ඊට වඩා ඉතා බරපතළ වේ. විශේෂයෙන්ම එය ආරක්ෂක හෙවත් Defence ගිවිසුමක් වන බැවින් ඉතා පැහැදිලිවම ඒ මගින් ඇමරිකාවේ ආරක්ෂක හමුදාවලට අදාළව යුදමය ක්‍රියාන්විතයකට පහසුකම් සැලසීමට සිදුවේ. යම් පිරිස් “ආරක්ෂක සහ ආරක්ෂණ” ගිවිසුම් අතර වෙනස එසේ නැතහොත් Defence සහ Security ගිවිසුම් අතර වෙනස තේරුම් නොගැනීම නිසා එම යටත් වීමේ ක්‍රියාවලිය අවතක්සේරු කිරීමේ ඉඩක් ඇත. ආරක්ෂණ ගිවිසුම් මගින් අපරාධ මැඩලීම, මත්ද්‍රව්‍ය මැඩලීම හෝ සාගර කලාපයේ ආරක්ෂක කටයුතුවලට සහාය දීම ආදියට සහයෝගය ලබාදීම අපේක්ෂා කෙරේ. එහෙත් ඇමරිකානු වාර්තා අනුව ශ්‍රී ලංකාවට එකඟතාව පළකිරීමට සිදුවන්නේ ආරක්ෂක හෙවත් Defense ගිවිසුමකටය.
එහි දී වැදගත් වන්නේ ශ්‍රී ලංකාව දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය සමඟACSA නමින් ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර තිබිය දී නව එකඟතාව කුමක් ද යන්නය. මීට පෙර 2016 දී විස්තීරණ ගිවිසුමක් ලෙස නව කොන්දේසි යටතේ අත්සන් කළ ගිවිසුම මගින් ඇමරිකාවේ ආරක්ෂක හමුදා වලට ශ්‍රී ලංකාවේ එකඟතාවය සහිතව වරායවල් සහ ගුවන් තොටුපළ පාවිච්චි කිරීම මෙන්ම සැපයුම් සහ සේවා ලබාගැනීම සඳහා ප්‍රතිපාදන සලසා ඇත. එසේ තිබිය දී නව එකඟතාවක අවශ්‍යතාව කුමක්දැයි සිහිබුද්ධිය සහිත සෑම රටවැසියෙකුම කල්පනා කළ යුතුවේ. එම රහස කුමක්දැයි එළිවන්නේACSA ගිවිසුමට පසුවSOFA නමින් බල ගැන්වීමට නියමිත ගිවිසුමට අදාළ ඇමුණුම අනුමත කරන ලෙස ශ්‍රී ලංකාවේ රජයට දිගින් දිගටම බලපෑම් එල්ල වූයේ කුමක් නිසාදැයි සොයා බැලීමේ දීය. මේ වන විට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ ද ආරම්භයේ සිටම ඒ සඳහා උනන්දු වූ බව රහසක් නොවේ.
දැනට පවතින තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් සියයට 25ක් ඇමරිකාව සමග වෙෙළඳාම මගින් ලැබෙන අතර, ශ්‍රී ලංකාවට එම වෙෙළඳාම මගින් සියයට 88 වෙෙළඳ අතිරික්තයක් ලැබෙයි. නමුත් නව එකඟතාවන්ට අනුව ශ්‍රී ලංකාවට වාසිදායක එම තත්ත්වය බරපතළ ලෙස අවාසිදායක ලෙස වෙනස් වන බව ඉතා පැහැදිලි ය.
නේටෝ සංවිධානයට අයත් රටවල් ඇතුළුව විවිධ රටවල් සමග විවිධ ආකාරයටSOFA ගිවිසුම් අත්සන් කිරීමට ඇමෙරිකානු රජය දීර්ඝ කාලීනව උනන්දුව දක්වා ඇත. දැනට එවැනි ගිවිසුම් 100 ක් පමණ තිබෙන බව ඇමරිකානු වාර්තාවලින්ම එළිදරව් වේ. එම ගිවිසුම් මගින් ඇමෙරිකානු හමුදාවට පූර්ව අවසරයකින් තොරව රටවල් තුළට ඇතුළුවීමට සහ සේවා ලබාගැනීමට අවස්ථාව ලැබේ. යුද්ධය පැවති සමයේදී ශ්‍රී ලංකාව SOFA මූලික ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් පුහුණුකිරීමේ කටයුතු සඳහා ඇමරිකානු හමුදා නිලධාරීන් ගෙන්වාගැනීමට අවශ්‍ය නීතිමය ආවරණය ලබාදීම සඳහාය. නමුත් ඉන්පසුව ඊට පෙර පිටු 8කට සීමාවූ ACSA ගිවිසුම පිටු 83ක් දක්වා විස්තීරණ කොන්දේසි සහිතව අත්සන් කිරීමට සමගාමීවSOFA ගිවිසුම පුළුල් කිරීම සඳහා ඇමෙරිකානු රජය විසින්“ඇමුණුම බී”යනුවෙන් ලේඛනයක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව නව ගිවිසුමක් අත්සන් කිරීමේ අවශ්‍යතාවක් නොමැති අතර ඇමරිකානු රජයට අවශ්‍ය වන්නේ ඒ සඳහා එකඟතාව ලබාගැනීම පමණි.
එම “ඇමුණුම බී” ලේඛනයේ කොන්දේසි 15ක් තිබෙන අතර, ඉන් 13 ඇමරිකානු හමුදාවල අවශ්‍යතාවන් සඳහා ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ රජය “ට්‍රම්ප් බදු” සාකච්ඡා ක්‍රියාවලිය තුළ ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත විදේශ අමාත්‍යාංශයේ නිලධාරියකු විසින් අදාළ “ඇමුණුම” පිළිගන්නා බවට ලිපියක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යැවීමට එකඟ වී ඇත්නම් සිදුවන්නේ කුමක්දැයි රටේ පොදු ජනතාව දැනගත යුතුය. වර්තමාන ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් 7ක්, විශේෂයෙන්ම ඉතා බරපතළ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළ තත්ත්වයක් යටතේ එම ලියුම් කැබැල්ල යවා අදාළ ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට දොස් පැවරීමේ තත්ත්වයක් ඇති නොවේ යැයි බලාපොරොත්තු වීම රටේ අනාගතය පැත්තෙන් ගත්විට ඉතා භයානක වරදකි.
විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙකු විසින් එම ලියුම් කැබැල්ල යැවීමෙන් පසුව සිදුවන්නේ කුමක්දැයි මහජනයා වික්ෂිප්ත වනු ඇත. එතැන් සිට ඇමරිකාවේ ඕනෑම ආරක්ෂක හමුදාවක සාමාජිකයකුට හෝ එම හමුදාවට සේවා සපයන සමාගමක නිලධාරියෙකුට පූර්ව දැනුම් දීමකින් තොරව ඕනෑම තොටුපළකින් ශ්‍රී ලංකාවට ඇතුළු විය හැක. ඔවුන්ට මුහුදින්, ගොඩබිමින් හෝ ගුවනින් රටේ ඕනෑම තැනකට සහ සාගර කලාපය තුළ ගමන් කළ හැක. ඔවුන්ට ආයුධ සන්නද්ධව හෝ එසේ නොමැතිව මෙන්ම නිලඇඳුම් සහිතව හෝ එසේ නොමැතිව රට තුළ ගමන් කළ හැක. ඔවුන්ගේ වාහන හෝ ගමන්මලු පරීක්ෂා කළ නොහැකි අතර ඔවුන්ට රට තුළ ඕනෑම තැනක කඳවුරු බැඳිය හැක. නමුත් ලෝකයේ වෙනත් ඕනෑම රටකට අදාළSOFA ගිවිසුම්වල සඳහන් වන්නේ යම් නිශ්චිත ප්‍රදේශයක කඳවුරු බැඳීමය. එහෙත් ශ්‍රී ලංකාවේ ගිවිසුමට අනුව ඕනෑම ස්ථානයක් කඳවුරු බැඳීමේ අයිතිය ලබාදීම විශේෂ තත්ත්වයකි. ඊට අමතරව එම හමුදා සාමාජිකයන් අපරාධ වරදක් සිදුකළ විට නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි අතර ඒ පිළිබඳව ඇමරිකානු තානාපතිට වාර්තා කළ යුතුය. ඒ සියල්ල අනුව ට්‍රම්ප්ගේ බදු සහනය ඉතා කෙටි කලකදී රටට එරෙහිව පුපුරා යා හැකි දේශපාලන කාල බෝම්බයක් බව පිළිගැනීමට සිදුවේ.
එවැනි තත්ත්වයක් තුළ බදු සහන ලබා ගැනීම සඳහා ආණ්ඩුවේ කණ්ඩායම් විසින් ඇති කර ගන්නා ආරක්ෂක ගිවිසුම් කොන්දේසිවල බරපතළකම කෙතරම්දැයි පැහැදිලි වේ. නමුත් ආණ්ඩුව ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමක් සහ රටේ ජාතික ආරක්ෂාව තරමටම බරපතළ දත්ත ස්වෛරීභාවය අනතුරට ලක්වන ගිවිසුම් අත්සන් කිරීමේදී ක්‍රියා කළ අත්තනෝමතික ආකාරය අනුව එම දෙවන වරද සිදුකිරීමේ වැඩි සම්භාවිතාවයක් තිබෙන බව පිළිගැනීමට සිදුවේ. නමුත් එය වැළැක්වීම සඳහා දේශපාලන ක්‍රියාමාර්ග හැර වෙනත් විකල්ප නොමැති බව ද දැන් පැහැදිලි වී ඇත. විශේෂයෙන්ම එවැනි දේශපාලන තීන්දුවක් වැළැක්වීම සඳහා රටේ නීති පද්ධතිය යොදාගැනීමේ දුෂ්කරතාවයක් දැකගත හැක.
ඊට හේතුව, ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම් 7ක් පාර්ලිමේන්තුවට හෝ මහජනයාට දැන ගැනීමට ඉඩ නොතබා අත්සන් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පසුගිය 2025.08.04 දින නිෂ්ප්‍රභවීමය. එම පෙත්සමට එරෙහිව නීතිපතිවරයා විසින් ලිඛිතව ඉදිරිපත් කළ ලේඛනයට අනුව මූලික විරෝධතාවලට අමතරව ආරක්ෂක ගිවිසුම සහ ඩිජිටල්කරණ ගිවිසුමට අදාළව කරුණු එළිදරව් කිරීම නොකළ යුතු බවට ඉන්දියානු රජයේ ඉල්ලීමක් තිබෙන බව ද සඳහන් විය. එම ඉල්ලීමට ගරු නොකිරීම මගින් රජ්‍යයන් අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් ඇතිවිය හැකි බැවින් අදාළ ගිවිසුම අධිකරණයට පමණක් ඉදිරිපත් කළ හැකි බව නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරයා විසින් සඳහන් කරනු ලැබිණ. ඒ මගින් මහජන පරමාධිපත්‍යයට අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන උල්ලංඝනය වන බවට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් විසින් දීර්ඝ වශයෙන් කරුණු දැක්වූව ද අදාළ පෙත්සම් නිශ්ප්‍රභ විය.
එවැනි තත්ත්වයක් තුළ විශේෂයෙන්ම ඉන්දියානු ගිවිසුම්වලට අදාළව විපක්ෂ බලවේග බියසුලු නිවට ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළ ඇමරිකානු ගිවිසුම්වලට අදාළව එම හැසිරීම නැවත ප්‍රතිනිර්මාණය වීමේ වැඩි ඉඩක් ඇත. ඒ නිසා එම තත්ත්වය වැළැක්විය හැක්කේ ආණ්ඩු පක්ෂයේ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමය සහ භූමිකාවට ගරු කරන එම පක්ෂයේ සාමාජිකයන්ගේ මැදිහත්වීම සහ මාලිමාවට ඡන්දය ප්‍රකාශය කළ 69 ලක්ෂය අතර සිටින අතිබහුතරයක් වූ රටට ආදරය කරන, රටේ ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය සහ ඓතිහාසික සභ්‍යත්ව උරුමය ආරක්ෂා කිරීම සඳහා මනෝභාවයක් සහිත මිනිසුන්ගේ මැදිහත්වීම මත බවට ලියා තැබිය යුතුය.